Dear Santa



















Santa
Last Christmas you gave me
A lovely bedtime story book
I'm sorry Santa, I didn't read that
Until this Christmas

Santa
I want my Ammi to read
Those stories to me
But I don't understand Santa
Why my Ammi didn't read
Those Stories until this Christmas

Santa
My Thaththi says
Ammi can't read stories now
Because now she lives with angels
Is it true Santa?
I thought I am my Ammi's
One and only little angel

Santa
I remember once my Ammi told me
Santa gives presents
For all the little angels on Christmas
Is it true Santa?
Do you have so much presents?

Santa
I don't need any presents this Christmas
Can you give my present to those angels
Who's keeping my Ammi away from me
And please ask them to give my Ammi
Back to Ammi's little angel

Santa
I promise you, I'll be a good girl
I won't ask my Ammi to read
Two bedtime stories to me
I'll sleep with just one story
But Santa, I want only my Ammi
To read that story to me.


Muthu Paba
2006

විරහ දුක


වෙනසක වෙනස

Image and video hosting by TinyPic

සිඳී ගිය අතු ඉති අතර
තවමත් වේය
තුරු පතක් දෙකක්;
හේමන්තයට
සමුදෙන්න නොහැකිව,
වැරෙන් පණ නළ
අල්ලා සිටින.

බැලු බැලූ අන් අත
පොළොවට හාදු දෙන
රත්රන් ය;
තුරු හිසෙන් වෙන්ව ගොස්
සිසිරයට,
දෙ-අතම දිගු කරන.


මුතු පබා
2011.11.25

මම පාන සෙනෙහස


ආදරයක මහිම



මලින් මලට පිරි ඉතිරුණ
මතක මාවතේ
සෙනෙහෙ සුවඳ මං විඳිනව
තාමත් රහසේ

තුරුළු වෙලා බදාන උන්
තුරුලිය ගොමු සෙවණේ
මතකද විහඟුන් ඔච්චම්
කරලා පියැඹුවේ

තොල්පෙති දඟකාර ලෙසට
එකට පැටළුනේ
මතකද මුදු සිත සුළං
අප තව ළං කළේ

පපුතලයට තුරුළු වෙලා
ඔය උණුසුම වින්දේ
නුඹෙ ඒ සෙනෙහස දෙනවද
හැමදාමත් සසරේ


මුතු පබා
2006.08.27


ආදරයේ සොඳුරුතම වින්දනයට බනින්න නම් එපා....!!


අනේ බබෝ..


සඳ සාවිය



ගව් ගාණක් දුර සිටියත්
මගෙන් වෙන්ව නුඹ ලොවේ
සඳ සාවිය මමයි සදා
නුඹෙ ලස්සන හීන ලෝකේ

නෙතු අබියස මා නැතුවට
නුඹට පෙනෙන හැකි ලෙසේ
මිණිකැට පොඩි තරු බලන්න
නුඹට පෙනෙයි මම එහේ


මුතු පබා
2007

Licht



Mag de maan
nog ietsje
groter worden
totdat we stroom krijgen
in ons dorp


Oorspronkelijke titel "Eliya" van "Koombiya"

Vertaald door: Eranga Perera
07.10.2011

හොයන්නට සත්වයෙක්..

හැමදාම කවි කතන්දර, කතන්දර කවි, කවි කතන්දරම බ්ලොග් බිමේ පැල කරන නිසා වෙනසකටත් එක්ක පොඩි වෙනසක් කරන්න හිතුණා. 

මීට පහළින් තියෙන පින්තූරයේ ඉන්නවා සතෙක්.. (මොන වගේ සතෙක්ද කියල නම් කියන්නෙ නැහැ හැබැයි..) බලන්න ඔයාලටත් ඒ සතාව හොයන්න පුළුවන්ද කියලා.. සතාව හොයන්න ගන්න කළින් වෙලාව බලන්න. උත්තරය හොයාගන්න කොච්චර වෙලාවක් ගියාද කියලා ඊටපස්සෙ කියන්න. හ්ම්.... තව එකක්; අනික් අයගෙ අදහස් කියවන්න කළින් උත්තරය හොයන්න බැලුවනම් තමයි ගොඩක් හොඳ. බලමු කාගේ ඇස්ද හොඳට පේන්නෙ කියලා. 
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මල් ඔටුන්න

නංගියේ....


දේදුන්න අයිති කාටද?




රෝස කැලේ රෝස කුමාරියෝ දවසක් දේදුන්නට අයිතිවාසිකම් කිය කියා රන්ඩු වෙන්න පටන් ගත්තා.

"දේදුන්න පටන් ගන්නෙ රතු පාටින්. ඔය කාටවත් වඩා ඒක නිසා දේදුන්නට වැඩි අයිතියක් තියෙන්නෙ මට...." රතු රෝසි ආඩම්බරෙන් කීවා.

"වැඩි අයිතියක්....? ඒ කොහොමද එහෙම වෙන්නෙ...?" දම් රෝසි තර්ක කරන්න පටන් ගත්තා. "දේදුන්න පටන් ගන්නෙ රතු පාටින් වුණාට, ඉවර වෙන්නෙ දම් පාටින්.... ඒ නිසා දේදුන්න ගැන වැඩි අයිතියක් ඔයාට කොහෙත්ම දෙන්න බෑ... ඔයාට එහෙම අයිතියක් තියෙනවනම්, ඒ අයිතියම මටත් තියෙනවා.."

"මුල අග ඔයාලා දෙන්න වුණාට, දේදුන්නෙ මැද සරසන අයගෙන් එක්කෙනෙක් තමා මම.." කහ රෝසිත් කතාවට හවුල් වුණා. "මුලක් අගක් තිබ්බට වැඩක්ද.. මැදක් නැත්නම්....?" කහ රෝසි අත්දෙකෙන් මුහුණ වසාගෙන හිනාවෙන්න පටන් ගත්තා.

"ඔව්.. ඔව්.. ඒ ක ඇත්ත..." තැඹිලි රෝසි, කහ රෝසිගේ පැත්ත ගත්තා. "දේදුන්න මැද සරසන අපිටත් ඔයාලට වගේම දේදුන්න අයිතියි."

ඒ කතාව ඇහුණ දම් රෝසිටයි, රතු රෝසිටයි හොඳටම තරහ ගියා.

"අනේ.. ! ඇයි ඔයාලා තරහ ගන්නෙ.. දේදුන්න පායන්නෙ ඈත අහසේ.. ඒක අපි හැමෝටම අයිතියි.. රණ්ඩු වෙලා පලක් තියෙනවද..? අපි හැමෝම දේදුන්න දිහා බලලා සන්තෝස වෙමු.." හැමෝගෙම කතා අහන් හිටපු සුදු රෝසි කරුණාවෙන් කීවා.

"අනේ මේ.... ඔයා කට වහගෙන ඉන්න, මට තවත් කේන්ති යවන්නෙ නැතුව.." රතු රෝසි, සුදු රෝසිට සැර වුණා. "එනව මෙතන අපිට ඔවදන් දෙන්න.. දේදුන්නට කවුරු අයිතිවාසිකම් කීවත්, ඔයාට එහෙම කියන්න කිසිම අයිතියක් කොහෙත්ම නැහැ. මොකද දේදුන්නෙ සුදු පාටක් ගෑවිලාවත් නැහැ.."

රතු රෝසිගෙ නපුරු වචන වලට සුදු රෝසිගෙ හිත හොඳටෝම රිදුණා. සුදු රෝසි එයාගෙ පෙති ටික පොහොට්ටුවක් හැඩේට හකුලගෙන හොඳටම අඬන්න පටන් ගත්තා.

රෝස කුමාරියන්ගේ කතා අහන් හිටපු, රෝස කැලේ කොළ පාට තුරු වැල් වලට සුදු රෝසි ගැන ගොඩක් දුක හිතුණා. "ඉතින් කේන්ති යනවනම් හොඳයිනේ, කේන්ති ගෙන්න ගන්නෙ නැතුව.." එයාලා හිනා වෙවී රතු රෝසිට විහිළු කරන්න පටන් ගත්තා. ඒ කතාවට තව තවත් කේන්තියෙන් ඔරව ගත්තු රතු රෝසි අත්දෙක බැඳගෙන ගස්සල අහක බලා ගත්තා.

"හරියට හරි.." සුදු රෝසිගෙ අතක හිටිය රෝස කොළයක් තුරුවැල් වලට උත්තර දුන්නා... "ඔය හැම පාට රෝසියෙක් වගේම අපේ කොළ පාටත් දේදුන්නෙ තියෙනවා කියලා මතක තියාගත්තනම් හොඳයි..." රෝස කොළය හඬන සුදු රෝසිගේ ඔළුව අත ගාන ගමන් කීවා.

"මේ.. මේ.. බලන්නකො ටිකක් මං දිහා..." එහාට මෙහාට ගමන් කරන පුළුං වළාකුළු නරඹමින් හිටිය විල හැමෝටම කතා කළා. "මම ලස්සනට නිල් කැටේට පිරිල නේද.. අහසෙ නිලත් එයාලගේ හැඩ බලන්නෙ විල් දියෙන්.." විල කීවේ දේදුන්නට තමාටත් අයිතියක් තියෙන වග නොකියා කියමිනි.

"දැන් මෙතැනට අඩු ඉන්ඩිගෝ විතරයි.." විල අද්දර පැතලි කළු ගලක් උඩ අව්ව තපමින් හිටිය ඉබ්බෙක් එසේ කියාගෙන විල් දියට බැස්සේ, තවත් මේ කතාවට ඇහුම්කන් දෙන්න කැමැත්තක් නැතුවාක් මෙනි.

"ඉන්ඩිගෝ.. අමුතු නමක්නේ..." තැඹිලි රෝසි ඇස් නටව නටවා හිනාවෙන්න පටන් ගත්තා.

"හැමෝටම ලස්සන පාටක් ලැබිල තියෙද්දිත්, මෙයාලා බොරුවට රණ්ඩු වෙවී හිත් රිදව ගන්නවා.." කාටවත් කිසිම දෙයක් නොකීවත් කතාව සාවදානයෙන් අහන් හිටපු සුළඟ තමාටම කියා ගත්තා.. "මෙයාලා මෙහෙම නම් මම කොහොම හිත රිදව ගන්න ඕනැද... මොකෝ මට එකම පාටක්වත් තියෙනව කියලද...." එහෙම සිතූ සුළඟ, සර සර හඬින් සීතලට හමන්නට පටන් ගෙන එන්න එන්නම සිය වේගය වැඩි කළා.

සුළං සැරට හිරුගේ උණුසුම් රැස් දහර නිවෙන්නට වුණා. අහසේ නිල් පාටත් හිමින් හිමින් මැකුණා. මුළු පරිසරයම අඳුරකින් වැහෙන්න පටන් ගන්නවාත් එක්කම වැස්සක් වහින්න පටන් ගත්තා.

ටික වෙලාවකට පස්සේ, වළාකුළකට මුවාවෙලා සිය දිගු රැස් කළඹ බොහොම අමාරුවෙන් සඟවගෙන උන් හිරුදේවි, වැස්ස අඩු වුණා ද බලන්න වැහි වළාකුළු අතරින් යන්තමට ඔළුව දැම්මා. දේදුන්නක් අහසේ කොණක ඉඳලා මැවෙන අයුරු හිරුදේවි එතකොට දැක්කා. පාට හතම පැහැදිලිව පේන්න දේදුන්න අහස පුරා සිත්තම් වුණා.

දේදුන්න දුටු සුළඟ ඉක්මණින් අහසට පියාඹලා රෝස කැලේ කතන්දරේ දේදුන්නට කීවා. ඒක ඇහුව දේදුන්න රවුමක් හැඬේට කැරකි කැරකී සුදුපාට දියසුළියක් මෙන් වේගයෙන් පොළොවට පාත් වෙන්න පටන් ගත්තා. සුදු පාටට හයියෙන් කැරකි කැරකී පහළට එන දේදුන්න දුටු රතු රෝසිට ලැජ්ජා හිතුණා. එයා කාටත් හොරෙන් සුදු රෝසි දිහා බැලූවා. පහළට ආපු දේදුන්න රෝස කැලේ හරි මැද උඩ නතර වෙලා එක පාරටම මල් වෙඩිල්ලක් වාගෙ පිපිරුවා. දේදුනු පාට, තරු කුඩු වගේ මුළු රෝස කැලය පුරාම ලස්සනට විසිරුණා. රෝස මල් විතරක් පිපුණු රෝස කැලේ, ලෝකෙ තියෙන හැම පාටකින්ම එක එක වර්ගයේ නොයෙක් මල් පිපෙන්න පටන් ගත්තා. එදායින් පස්සෙ රෝස කැලේ කවුරුත් දේදුන්න දිහා බලලා සතුටු වුණා මිස, දේදුන්නට අයිතිවාසිකම් කියන්න නම් ගියේ නැහැ.


මුතු පබා
2011.08.16

කතන්දරය බූන්දිය හරහා කියවන්නට: දේදුන්න අයිති කාටද?

Gedicht



Om dit gedicht aan jou te vertellen
heb ik gewacht
tot dat de lente komt

Ach! als ik had geweten
dat mijn tijd zou stoppen
in de winter....!!


Oorspronkelijke titel "Kaviya" van "Jagath J Edirisinghe"

Vertaald door: Eranga Perera
25.03.2010

Ik



Niet moeilijk
Niet makkelijk
Als je mij
Goed begrijpt
Dan ben ik
Op m’n best


Eranga Perera
2007

ආ.... එහෙමද!?


තිත්තැත්ත



තවත් ඍතුවකට පසු - [හදවතට පාඩමක්]



ඉතින් ඊට පස්සෙ
ඍතුව පුරාවටම
මුකුලිත නොවූ පුශ්පයන් දෙස
හැරීවත් නොබැලුවෙමි.

රැගෙන යා හැකි කැකුළු පමණක්
හිමින් සීරුවේ,
තෝරා බේරා ගතිමි.
නේත‍්‍රා මංජරියෙන්
දිය දෝතක් ගෙන,
එකැකුළු සීරුවෙන් බහාලූවෙමි.
පැහැය රසවිඳ තව ටිකක්
යළිදු නොම එන ඍතුවට සමුදුනිමි.

දැන් ඉතින්,
එළිය මැද හිඳ අඳුර නොසයන්නට
හදවතට තරවටු කරමි.
සිහිල් මද පවනතරට එබෙන
රන් කෙඳි දහර සමගින්,
හිමින් සීරුවේ හාද වෙමි.

ඔබ මොබ සරන,
කුරුලු කිචි බිචි හඬට
දෙසවන දිග හරිමි.
අහස් කුස සිසාරා ගිජුලිහිණින් ද
පියා සලන බව පසක් කරගමි.

නෙක මල් මකරන්ද සුවඳ
හදවතින් උරා බොමි.
සුවඳ මල් වල පවා 
නටු අග කටු බව,
හදවතට කියා දෙමි.

කඳු හිස් මුදුනේ හැප්පී පාව යන
වළාකුළු හට,
රහසින්ම මුමුණමි.
මුදු මොලොක් දේ මිසක
මහා පර්වත ලේසියෙන්,
වේදනා නොවිඳින බව
හැඳින ගමි.

නිල්ල පිරි වන ලැහැබෙ
විසල් තුරු නරඹමි.
ස්නේහයේ මුල සවි ශක්ති කළ
අතු රිකිලි ලදළු සාරවත් බව
මඇසින්ම දැක ගමි.

නිශායම ගගනතෙ
වර්ණ අතරින් පතර,
දෙනෙත දුවවමි.
සඳ පවා දිලිහෙන්නෙ
ණයට ගත් හිරු රැසින් බව
හදවත පුස්තකයෙ ලියා ගමි.

අලුත් සිහිනයක් මවාගමි.
පින්සල කඳුළින්ම පොඟවා
හිමින් සීරුවේ ජීවිතය,
සිත්තම් කරමි.

කවුරු ගන්නට පැමිණියත්
එසිත්තම,
මහද වර්ණයන් දකින
ඇසකට මිසෙක
අන් කාටවත් නොදෙන්නෙමි.


මුතු පබා
2011.08.02

(නො)පායන හිරු(ට)


කලුගලක කවිය

රෝස සිහිනය



ජීවන උයන්තෙර එකළු කරලන්න
මගේ - රෝස සිහිනය
දිනිඳු හා විකසිතව
මා මුවගින් ගිලිහිච්ච
සිනහ කැන්, නැවත මට ගෙන එන්න

ඉමක් කොනක් නැති
සිහින කන්දරාව
දූවිල්ලක් වූවත් කම් නැත
රෝස සිහිනයේ
ජීවත් වෙන්නට එකම එක
ඉඳුවර සිහිනයක් මට ගෙන දෙන්න

සිදංගනාවියක් අප්සරාවියක්
නොවෙමි මම
අත්තටු පණ නැති
පාට සේදුණු සමනලියක්මි
මගේ - රෝස සිහිනයේ
දේදුන්නෙන් පාට ඇබිත්තක්
ඉල්ලගෙන, මගේ අත්තටු
මදක් හෝ සරසන්න

”ජීවිතය ගීතයකි”
එයට රිද්මයකින් පණ පොවන්නට
කවියක් වූ මගේ - රෝස සිහිනය
හදවතේ යළිදු පිබිදෙන්න


මුතු පබා
2007.03.03

(ලක්බිම.මංජුසාව.කවි - 2009.07.12)

තනි තරුව



පැතුම් මිලින කර මා හැර ගිය නුඹ
යළි කවදා මා හමුවන්නේ
සංසාරේ තව එක දවසක් හෝ
හමුවී මා සිත සනසන්නේ

කඳුළු ගීත මා අද ගොතනා
ඔබ වෙනුවෙන් මේ ලියැවෙන්නේ
එන්න එක වරක් මා හමුවට ඔබ
ඔබ නැතිවනෙ සිත ලතැවෙන්නේ

තනි තරුවක් මා ඈත අහසෙ අද
සුසුම් හෙළා ඉකිබිඳින හොරෙන්
සඳට මුළු හිතින් පෙම්කළ වරදට
ලොවම එරෙහි වී මටම ඉතින්


මුතු පබා
2007

කඳුළු බිංඳුව


වැටෙන්නට වෙර දරන
පිණි කඳුළු කැටයකට
පෙම් කරමි මම අදින
කවර දා නොසිතූ විලස


මුතු පබා
2005.12.06

නුඹයි මගෙ ජීවිතේ



මල්මාලි මගෙ පුංචි
නුඹට මම ආදරෙන්
නෙලුවානෙ මල් මිටක්
දොවාලා සෙනෙහසින්
මල් මදිය පවසන්න
මගෙ සිතේ ආදරේ
දන්නවාද රත්තරං
නුඹයි මගෙ ජීවිතේ


මුතු පබා
2006.07.22

මිලින සිත



(සන්නස.පහන්වැට - 2008.පෙබරවාරි කලාපය)

නොඉවසිල්ල



කෑලි කැපිය හැකි තරම්
කට්ට කළුවරේ
බංකර නිවහනට වී
සිටිමි මම සෝදිසියෙන්....
විටෙකින් ඇසෙයි පා හඬක්
සතුරෙක් ද, මිතුරෙක් ද?
නොදනිමි....
ගිනි අවිය තව තවත්
ඉබේ දෑතට හිරවෙද්දි
සීතල පස් ගෝනි අතරින්
දෙනෙත පා කරවමි කළුවරට
නැත....
කිසිත් නැත කිසිවෙක් නැත
සෙබල මිතුරන්ගේ
හුස්ම පොදක ජීවය දකින්න....
හිරුදේවි නැගෙනකල්
ජනිත වෙන නොඉවසිල්ල මිස
බයක් නම් අහලකවත් නැත


මුතු පබා
2007.03.10

(ලංකාවිත්ති - 2008.ඔක්තෝබර් කලාපය)

සිහින සිත්තම






















අමාවක රැයක් නොවුණද සඳළිය බිඳක්වත් නොතිබූ තදඳුරු රැයකි එය. තරුපති සැඟවුණද ගගනත ඟගුල සරසන්න, තාරකා කුමුදු නම් අඩුවක් නොමැතිවම විකසිත වී තිබුණි. නමුත් හිත මිතුරු සඳ නැති දුක දනවන්නටදෝ අහස් ඟංගාව, සිහින් මල්වැස්සකින් සිය දුක කියන්නට අමතක නොකළේය.

විසල් විලකට යාබදව යායට වැවී තිබූ උණගස් වලින් ගහන පරිසරයේ, හුදෙකලා සක්මනක නියැලී සිටි ඔහුගේ හිත සහ මනස, අහිමි කිරිලියකගේ මතක රුවින් සහ හඞින් පෑරී තිබුණි. ආවර්ජනාව සිතට මනසට පමණක් නොව කයට ද වෙහෙසක් ගෙන ආ පසු ඔහු පොළොවට බර දී වාඩිවුණි. එසේ ඔහු හෝරා කිහිපයක්ම ගතකරන්නට ඇත.

තමන්ට අහිමි වූ ඒ කිරිල්ලිය කවුද, කින්ද මන්ද යන්න වාගේම, ඇය ඔහුට අහිමි වූයේ කෙසේද යන්නත් ඔහුට තවමත් අපහැදිලිය. පැහැදිලි එකම දේ පස් හෝ සය වසරක් පුරාවටම කිරිල්ලිය සිහින් අත්තටු රාවයකින් තම සිත හා මනස, අවදියෙන් තැබූ බව පමණෙකි. ඒ කාලය පුරාවටම ජනිත සෑම රාත‍්‍රියකදීම ඔහු, ඇය ගැන සිතුවේය. නොකඩවා නොනවත්වා සිතුවේය. අදටත් සිතන්නේය.

හිරිපොද වැස්ස නිසාත් සුළඟට හාදව උණගස් වයන උස් හඞ රාවය නිසාත් අන් හඬක් නොඇසෙන තරම් වුවද, කවුරුන් හෝ උණගස් පිටුපසින් තමන් පසු කර ගමන් කරනවා ඔහුට ඇසුණි. හඬ පැමිණි දෙසට දෙනෙත යැවූ ඔහු ලා තරු එළිය මැදින් දුටූයේ, මිහිදුම් සළුවකින් මැසුවා සේ අයස්කාන්ත ගවුමකින් සැරසුණු, දිගු වරලස විදාහල තරුණියකි.

ඔහු පසුකර මදක් දුර ගිය ඇය ගසකට පිට දී නතර වුණි. පිණි කඳුළෙන් බොඳ වූ ඇගේ නෙතු පියුම්, පොද වැස්සෙන් නැහැවුණු සුදු සහ රෝස, ඕළු නෙළුම් පොහොට්ටු ද, හරිතදම් නිල්මහනෙල් පෙහොට්ටු වලින් ද පිරී තිබූ විලට උඩින් පෙනෙනා, නිළඹරේ සිර වී තිබුණි. අහසේ උල්පතකින් මතුවෙන උල්කාශ්ම රැසක් කොහේදෝ ඈතකට කඩා වැටෙයි. සිත කඩා වැටුණා සේ ඇය ඒ දෙස බලාගෙන බොහෝ දුර කල්පනා ලොවකය.

හඬ නොනැගෙන සේ ප‍්‍රවේසමට ඈට පිටුපසින් ඇය ළඟට සේන්දු වුණ ඔහු.... "උල්කාපාතයක් අල්ලන්නද බලන් ඉන්නේ.. ?" යි, ඇසුවේය.

මුළු ජීවිත කාලය පුරාවටම දැන උන් ආදරණීය කට හඬක් සිය සවන්පත් සිප ගත්තා සේ ඇය, ඉමහත් පුදුමයෙන් පිටුපස හැරී බැලුවාය. දෙනෙතට දෙනෙත හමුවූ ඒ ඉසිඹුවේ එකදු වදනක්වත් මුවින් මුවට හුවමාරු නොවීය. දිලිසෙන ඇගේ තරුනෙත් පතුලටම කිමිදුන ඔහුට දැනුණේ, කල්ප කාලයක් ඒ නිමේශය විඳගන්නට තමන් පෙරුම් පිරූ බවකි. උණගස් වාදනය ඔවුන්ට නෑසිණි. ඔහුගේ සිප වැළඳ ගැනීම් හමුවේ නිහඬ නොවූ ඇය ද, තරයේ ඔහුව බදා වැළඳ ගෙන ඒ පපුතුරට තුරුල් වූයේ, එහි ජීවත් වන එකම ආත්මය තමන් විතරක්මදැයි සොයන්නාක් මෙනි. මල්වැස්සේ දුඃඛීත සිහින් රාවය ඔවුන්ට ඇසුණේ ආශිර්වාදයේ ගීතිකාවක් ලෙසටය.


මුතු පබා
2011.04.18

කතන්දරය බූන්දිය හරහා කියවන්නට: සිහින සිත්තම

ඉස්සර දවසක..



ඉස්සර දවසක ඟංතෙර අද්දර
අත් පටලා අපි පියමැන්නා
අද ඒ මතකය සිතින් තුරුළු කර
තනියම කුමරුණි විඳවන්නා

තුරුලිය මල්ගොමු සුළඟට යාවී
අප හට සැනසිලි සුව දුන්නා
අද ඒ මතකය හදවත අවුලා
නෙතු පොඩි මාගේ හඬවන්නා

තරුමල් යායට දෑසම යොමලා
සහසක් පැතුමන් අප පැතුවා
අද ඒ පැතුමන් ඉටු නොම වන බව
දැන දැන මගෙ සිත ලතවෙන්නා

තනියට මගෙ සිත අද්දර සිටි නුඹ
වෙන සිතකට අද තනි රකිනා
ඒ බව දැක දැක තාමත් මගෙ සිත
නුඹටම සඳවත පෙම් කරනා


මුතු පබා
2007

I Didn't Know..


ඒ දෑස


























රෝහණ දක්වා ගමන් ගැනීම සඳහා දුම්රියේ අසුනක වාඩි වී සිටි මට, ගැහැණු ළමයෙක් මා උන් මැදිරියට ගොඩ වෙනවා ඇසුණි. ඇයව දුම්රිය මැදිරියට ඇරලවූ අය ඇගේ දෙමව්පියන් යැයි මට සිතුණ අතර, ඇගේ සංසුන් බව නිසා ඔවුන් තැවුල් සිතෙන් පසුවන බවද මට වැටහුණි. ඈ සමග සිටි කාන්තාව ඇගේ ගමන් මළු තබන ස්ථානය ගැනත්, කවුළුවට නැඹුරු නොවී ගමන් කරන්නටත්, නොදන්නා මිනිසුන් හා කතාවට නොවැටී ඉන්නාකාරයත් සවිස්තරාත්මකව ඇයට පහදා දෙන්නට විය.

ඔවුන් ඇගෙන් සමුගන්නවාත් සමගම දුම්රිය ඉදිරියට ඇද්දුවේය. ඒ මොහොතේ මා දෑස සම්පූර්ණයෙන්ම අන්ධ වී තිබූ නිසාත්, මාගේ දෘෂ්ඨි කෝණයට අසුවන්නේ මද එළියක් සහ අඳුර පමණක්ම නිසාත්, ඇගේ හැඩරුව කෙසේ ද යන්න පැහැදිලි කිරීමට මම අපොහොසත් වුවද, ඈ පැළඳ සිටියේ නම් සෙරෙප්පු යුගලක් බව ඇගේ විළුඹ එහි ගැටෙනාකාරයෙන් මට තේරුණි.

ඒ හැඩරුවේ කොයියම්ම දෙයක් හෝ පසක් කරගැනීමට මට සෑහෙන වෙලාවක් වැය කරන්නට සිදුවෙනවා නියතයි. ඇතැම් විට කිසිසේත්ම එය සිතා ගන්නට ද මට නොහැකි වෙනවා ඇත. ඒ කෙසේ හෝ වේවා ඇගේ කටහඬට ද, සෙරෙප්පු යුගල නැගූ හඬට ද මම බොහෝ සේ ප‍්‍රිය කළෙමි.

"ඔයා දිගටම යන්නෙ ධේරා ද?" මම ඇසීමි.

මා අසුන්ගෙන සිටින්නට ඇත්තේ අඳුරු ස්ථානයක විය යුතුය. මගේ පැනයෙන් මදක් හඬ නැගෙන සේ ගැස්සී තැති ගත් ඇය, මට පිළිතුරු දෙන්නට විය.

"මම දැනගෙන හිටියෙ නෑ මෙතැන තවත් කෙනෙක් හිටිය විත්තිය."

"කොහොමත් ගොඩක් හොඳට ඇස් පේන අය තමුන් ඉදිරියේ තියෙන දේ දැකගන්න අසමත් වෙනවා.. ඒ අයට ගැඹුරට හිතන්න කරන්න ගොඩක් දේවල් තියෙන නිසා වෙන්නැති එහෙම වෙන්නෙ.... නමුත් අන්ධ අයට එහෙම නැතිනම් සුළු වශයෙන් ඇස් පේන අයට හිතන්න තියෙන්නෙ, අනෙක් අය කියන කරන දෑ වලින් තෝරා බේරාගත් කොටස් විතරයි.. මමත් ඔයාව දැක්කෙ නෑ. ඒත් ඔයා ඇතුළට එනව නම් මට ඇහුණා.." මම ඇයට කීවෙමි.

මා අන්ධයෙක් බව ඇයට අවබෝධ නොවෙන සේ මට හැසිරිය හැකිදැයි මම කල්පනා කළෙමි. තව තවත් හරි බරි ගැහී අසුනට බර වුණ මා හට දෙවනුව සිතුණේ, එය එතරම් මහා ලොකු දෙයක් නොවේ කියාය.

"මම සහරන්පූර් වලින් බහිනවා.. මාව ගන්න මගේ නැන්දා එහාට එනවා.." ඇය කීවාය.

"එහෙනම් මම වැඩිය කුළුපග නොවෙන එක නුවණට හුරුයි.. සාමාන්‍යයෙන් නැන්දලා ටිකක් සැරයි නේ.." මම උත්තර දුනිමි.

"මම යන්නෙ ධේරා.. ඊටපස්සෙ මුස්සූරි.."

"අනේ! ඔයා කොච්චර වාසනාවන්තද.. ? මටත් මුස්සූරි යන්න ඇත්නම්.. මම ගොඩක් ආසයි එහෙ කඳු වලට.. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසෙදි.."

"ඔව්.. මේ තමයි හොඳම කාලෙ.." මතකයන් අවදි කරගත් මා ඈට කීවෙමි. "කඳු වැහෙන තරමටම පිපුණු කැලෑ ඬේලියා මල්.. පැහැපත් ඉර එළිය.. එතකොට රෑට පුළුවන් ගිනි උඳුනක් ළඟට වෙලා බ්‍රැන්ඞි ටිකක් රස විඳින්න.. ගොඩක් විදේශකයින් පවා මේ කාලෙට නැති නිසා, පාර තොටවල් වුණත් නිස්කලංකයි.. හුදෙකලාවයි.. ඒක නිසා ඔක්තෝබර් තමා හොඳම කාලය.."

ඇය නිහඬ වූවාය. මවදන් ඇගේ හිත තුළට කිඳා බැස්සදෝයි මට සිතෙන්නට විය. නැතහොත් මම මෝඩ සිහින මවන්නෙකැයි ඇය සිතනවා විය යුතුය. එසේ වේ නම් මා වැරැද්දක් කොට ඇත.

"දැන් එළිය මොන වගේද.. ?" මම ඇසීමි.

එපැන ඇය ගාණකට නොගත්තාය. මම අන්ධයෙක් බව ඇයට දැනටමත් වැටහී ඇත්දැයි මසිත වූ කනස්සල්ල, ඇගේ ඊළඟ ප‍්‍රශ්නයෙන් වහා දුරු විය.

"ඇයි ඔයා ජනේලෙන් එළිය බලන් නැත්තෙ.. ?"

ඉඳගෙන උන් තැනින් කවුළුව අසලට ඇදී ගිය මම එහි දාරයට බරවීමි. කවුළුව තිබුණේ විවෘතවය. මා එයින් පිටත බැලූයේ භූමි දර්ශන හොඳින් අධ්‍යනය කරන බවක් ඇයට පෙනෙනාකාරයටය. හති දමමින් දුවන ඇන්ජිමේ හඬත්, ඝෝෂාකාරීව නැගෙන රෝද වල හඬත් මට පැහැදිලිව ඇසුණි. මගේ මනසේ දෙනෙතට පිටත දසුන් මැවී පෙනෙන්නට විය.

"දැක්කද.... අපි ඉඳගෙන යද්දි ගස් කොළන් හරියට නිකන් පාවෙනව වගේ නේද.. ?" මම උද්යෝගයෙන් පැවසුවෙමි.

"ඒක ඉතින් හැම වෙලේම එහෙමනේ.. සත්තු එහෙම පේන්නෙ නැද්ද.. ?"

"නෑ.." ධේරා කිට්ටුව වනාන්තරයේ කිසිම සතෙක් නැති බව කලින් තියාම දැන සිටි මම, සැකයකින් තොරව ඇගේ ඒ පැනයට පිළිතුරු දුන්නෙමි.

කවුළුවෙන් මෑත් වුණ මා ඈට මුහුණලා හිඳ ගත්තෙමි. මද වේලාවක් අපි නිහඬව සිටියෙමු.

"ඔයාට තියෙන්නෙ සිත්ගන්නා සුළු මූණක්.."

සැලෙන හදවතින් මම ඇයට පැවසුවත්, ඈට ඒ වෙනස නොදැණුණි. චාටුබස් වලට විරුද්ධ විය හැක්කේ ගෑණු ළමයින් සුළු කොටසකටය. ඇය සිනාසෙන්නට විය. ලගන්නා සුළු සිනාවකි එය.

"මට තියෙන්නෙ සිත්ගන්නා සුළු මූණක් කියල අහන්නත් ආසයි. මොකද හැමෝම කියන්නෙ මට ලස්සන මූණක් තියෙනව කියලා.. ඒ කතාව අහලම මට එපා වෙලා තියෙන්නෙ.."

හ්ම්.. එහෙනම් මම හිතුවත් හරි…. ඒ කියන්නෙ ඇයට තියෙන්නෙ ලස්සන මූණක් යැයි සිතූ මම, හයියෙන්: "සිත්ගන්නා සුළු කියන්නෙත් ඉතින් ලස්සන වෙන්න පුළුවන්" යැයි, ඇයට කීවෙමි.

"ඔයා ගොඩක් ප‍්‍රියමනාප තරුණයෙක්.." ඇය කීවාය. "ඒත් ඇයි ඔයා ඔච්චර බරපතළ විදිහට හිතන්නෙ.... ?"

ඒ කියමනට මට සිනාසෙන්නට සිතුණි. නමුත් සිනාසෙන්නට සිතීමෙන් පවා මට ඇතිවනුයේ කරදරකාරී හැඟුමක් සහ හුදෙකලාවක් පමණි.

"ටිකෙන් ටික ඔයා බහින තැනත් ළං වෙනවා..." මම කීවෙමි. 

"හොඳ වෙලාවට මේ ගමන කෙටි ගමනක්.. මට පැය දෙක තුනකට වඩා කෝච්චියේ ඉඳගෙන යන්න බෑ….." ඇය කීවාය.

නමුත් මම නම් කොව්චර දුරක් වුව යෑමට සැදී පැහැදී සිටියෙමි. ඒ ඇගේ කටහඬට සවන්දීමටමය. කන්දකින් ආරම්භ වී ගලායන ඇල දොළකින් මතුවෙන හඬක් වගේය ඇගේ කටහඬ. දුම්රියෙන් වෙන්වුණු වහාම ඈට මේ ක්ෂණික හමුවීම අමතක වනු ඇත. නමුත් ගමනානත්තය දක්වාත්, ඉන්පසු ටික කලක් යනතුරුත් මේ හමුවීම මගේ මනසේ රැඳී තියෙනු නොඅනුමානයි.

දුම්රිය නලාව වේගයෙන් නද දුන්නේය. එහි රෝද වල රිද්මයද කෙමෙන් කෙමෙන් වෙනස් වන්නට විය. අසුනින් නැගිට ගත් ඇය ඇගේ ගමන් මළු එක්කාසු කරන්නට පටන් ගත්තාය. මම ඇගේ කොණ්ඩය කෙසේ ඇත්දැයි සිතන්නට වීමි. එය එකට ගැට ගසා ඇත්ද.. නැතහොත් ගොතා ඇති ද.. සමහරවිට එය උරපතු දක්වා කඩා හැලෙන සේ ලිහා ඇත. එසේත් නැතිනම් ඇය කොණ්ඩය කොටට කපා ඇත්ද....

දුම්රිය හිමින් සීරුවේ වේදිකාවට ඇද්දුවේය. පිටතිත් දොරටු පාලකවරුන්ගේ සහ වෙළෙන්දන්ගේ හඬවල් ඇසෙන්නට වූ අතර, කෝච්චි පෙට්ටියේ දොර අසලින් කාන්තාවකගේ උස් කටහඬක් මතුවිය. ඒ ඇගේ නැන්දා විය යුතුය.

"සුබ ගමන්...." ඇය කීවාය.

ඇය සිටගෙන උන්නේ මට ඉතා කිට්ටුවෙන්ය. කොතරම් කිට්ටුවෙන් ද කියතොත් ඇගේ හිසෙන් විහිදෙන, අත්කර ගන්නට බැරි ඒ සුවඳ පවා මට දැනෙන්නට විය. දෑත දිගුකර ඒ හිසකෙස් අල්ලන්නට සිත් වූවත්, ඇය මා අසලින් වෙන්ව ගියාය. ඇගේ සුවඳ පමණක් ඈ උන් තැනම රැඳී පැවතුණි.

දොරටුව අසලින් කලබගෑනියක් ඇති විය. දුම්රිය මැදිරියට ගොඩවෙමින් සිටි මගියෙක් ගොත ගසමින් සමාව අයදිනවා මට ඇසුණි. එවිට දොරටුව තදින් වැසුණේ මුළු ලෝකයම වසාගෙනය. මම මගේ අසුනට නැවත බර වුණෙමි. දුම්රියේ ගාඩ්වරයාගේ තියුණු විසිල් හඬ මතුවිය. ඒත් සමගම අපි ඉදිරියට යන්නට පටන් ගත්තෙමු. නැවත වතාවක් අලුත් මගියෙක් සමග කරන්නට මට සෙල්ලමක් විය. දුම්රිය සිය වේගය එක්රැස් කරගත්තේය. එහි රෝද සුපුරුදු ගීතය ගෙනයන්නට වූ අතර කෝච්චි පෙට්ටි කෙඳිරිගාමින් පැද්දෙන්නට විය. කවුළුව සොයාගත් මම ඒ අසලින් වාඩි වූයේ මට අඳුරක් වූ එළියට මූහුණලා ය. පිටත බොහෝ දෑ සිදුවෙමින් තිබුණි. ඒ මොනාදැයි යන්න සිතීම පවා රසබර සෙල්ලමකි.

කෝච්චි පෙට්ටියට ගොඩ වූ මගියා මගේ කල්පනා ලොව බින්ඳේය.

"ඔයා ගොඩක් කලකිරෙන්න ඇති නේද....?" ඔහු කීවේය. "දැන් බැස්ස කෙනා වගේ මම නම් සුහද කෙනෙක් නෙමෙයි.." ඔහු තවදුරටත් පැවසුවේය.

"ඒ ගෑණු ළමයා හරි කරුණාවන්තයි.." මම පැවසුවෙමි. "කරුණාකරලා මට කියනවද එයාගෙ කොණ්ඩය තිබුණෙ දිගටද කොටටද කියලා..?"

"මට මතක නෑ.." ඔහු ව්‍යාකූල හඬකින් පැවසුවේය. "එයාගෙ ඇස් වලටයි මගේ අවධානය යොමු වුණෙ.. කොණ්ඩයට නෙමෙයි.. ඒ ගෑණු ළමයට තිබුණෙ හරිම ලස්සන ඇස් දෙකක්.. කොච්චර ලස්සන වුණත් ඒ ඇස් වලින් එයාට කිසිම ප‍්‍රයෝජනයක් නෑ.. ඒ ළමයා අන්ධයි.. සම්පූර්ණයෙන් අන්ධයි.. ඇයි.. ඔයාට ඒ වගක් තේරුණේ නැද්ද.. ?"


["Ruskin Bond | රුස්කින් බොන්ඩ්" ගේ "The Eyes Have It" කතාවේ පරිවර්තනය.]

පරිවර්තනය : මුතු පබා

(රිවිර.රිවි දහර.කඩඉම - 2011.04.24)

නිදනා මා පුතු පැටියා


රැහැයියනේ ෂ් ෂ්
සද්ද එපා පුතු නිදනවා
කවඩි සිනා පුංචි මුවේ
පිරීල ඉතිරී යනවා

කඩුපුල් මලෙ බලාගෙනයි
පෙති ඇරෙද්දි පුතු ඇහැරෙයි
අතඟැලි ටික මිටි මොළවා
මගේ පුතා දොයියනවා

කිරි සුවඳට ඉව වැටිලා
කුමුදු මලුත් නැළවෙනවා
අම්බිලියා හා එක්වෙලා
මගේ පුතුගෙ රුව කියනවා

සුරංගනාවියෝ ඇවිදින්
මගේ පුතුව හිනස්සනවා
හීනෙන් හිනැහෙන මා පුතු
අම්මට තව තුරුළු වෙනවා


මුතු පබා
2006.09.22

සිහින කුමරුට



පිණිබිඳුවක් වුණොතින් මට දෙනවද අවසර
ඔබෙ සෙනෙහේ මල්පෙති මත රටා මවන්නට
ඉන්නා තැනකින් කුමරුනි එනවද හනිකට
පිණිබිඳුවට ඉන්නට බෑ ඔබ නැති මේ ලොව

පවනැල්ලක් වුණොතින් මට දෙනවද අවසර
ඔබෙ දාහය නිවාලන්න මුදුව හමන්නට
ඉන්නා තැනකින් කුමරුනි එනවද හනිකට
පවනැල්ලට ඉන්නට බෑ ඔබ නැති මේ ලොව

දේදුන්නක් වුණොතින් මට දෙනවද අවසර
ඔබෙ සෙනෙහේ හද අරණට වසන්තය ගෙනෙන්න
ඉන්නා තැනකින් කුමරුනි එනවද හනිකට
දේදුන්නට ඉවසිලි නෑ ඔබ ලොව පායන්න


මුතු පබා
2006

I am Still Waiting....



Alone here with my memories
under the golden sunset
I wonder if you miss me
as much as I miss you!
sometimes it hurts when I realize
that you left me with nothing but
full of sad memories

I really gave you my everything
but you treated me like nothing
every time when I remember
how much you hurt me and my feelings
I just think that you never loved me

All I remember....
that I loved you very much
and I still love you like crazy
you are my whole world
you are my everything
I just can't stay without you

I am still waiting for you
to start a new life
which makes both of us happy
just tell me you'll be mine
becasue I need you
with all my heart..!


Muthu Paba
2006

සුදු මහත්තයෝ



අහන්න එපා
මම කොච්චරක් ආදරේද කියලා
අහන්න එපා
ඇයි මම මෙච්චරක් ආදරේද කියලත්

දෙයියනේ....
ඔය උණුසුමට තුරුළු වෙලා
ආදරය විඳගන්න තියෙන
ඒ සොඳුරු වෙලාවෙන්,
ඩින්ගිත්තක්වත් මගෙන් 
උදුර ගන්නත් එපා....

මට ආදරය විඳගන්න
මට ආදරය කරන්න
විතරක්ම ඉඩ දෙන්න
සුදු මහත්තයෝ....


මුතු පබා
2006.07.21

ගිලෙන ලංකා






























 

2008.07

වෙසක් ආසිරි..!



2006


Graphic design by: Ramano

I Love You!



Sometimes Even Though..

ආදරේ නම්..



ළඟට එන්න තවත් එන්න
මා දෑතින් අල්ල ගන්න
මා නෙතු දෙස බලාන දැන්
මට ආදරෙ ඇයි කියන්න

ළඟට එන්න තවත් එන්න
මා දෑතින් අල්ල ගන්න
නළලත හාදුවක් තියලා
මට ආදරෙ යැයි කියන්න

ළඟට එන්න තවත් එන්න
ඔය දෑතින් මා බදාගන්න
තුරුළු වෙලා ඔබේ සෙනේ
විඳගන්නට ඉඩක් දෙන්න

ළඟට එන්න තවත් එන්න
ඔය දෑතට මා ජීවෙ දෙන්න
සංසාරේ කෙදිනකවත්
එපා මාව තනි කරන්න


මුතු පබා
2007.05.16

නටබුන්


තරුමල් හාදුව



සෙංකඩගල අහස දිහා බලාගෙන ඉන්න ආසා හිතෙන තරමට තරුකැට ගොඩාරියක් පායලා. ඒ පුංචි තාරකා ගණන් කරන්න හදන පෙම් යුවලක් වගේ අදත් අපි උන්නෙ, මල් වලින් පිරුණ ඇහැළ ගහ යට තැනූ පුංචි බංකුවට බරවෙලා.

”එක හඳයි තරු ගොඩයි....” මං රහසින් වගේ මිමිණුවා.

”ඒ උනත් හඳ ආදරේ එක තරුවටයි....” කියලා, එයත් නොපමාවම උත්තර දුන්නා.

මං ඉතින් එයාගෙ උත්තරේ දන්න නිසා ඒ මොන තරුවද කියල අහන්නෙ නැතිව..

 ”හොඳයි කියන්න බලන්න පහන් තරුවද ලස්සන මම ද ?” කියලා.. එයාට තව තවත් ළංවෙන ගමන් ඇහුවා.

කවදාවත් නැති විදිහට මං දිහායි, පහන් තරුව පායන්න හිතලවත් නැති තරු පිරුණ රෑ අහස දිහායි, මාරුවෙන් මාරුවට බලපු එයා..

”හ්ම්.. හ්..ම්.... ඔයා නම් නෙමෙයි” කියලා අමුතුම විදිහකට කීවා.

ඒ වචන ඇහිලා හිතේ ඇති වුණ දුක ඇස් දෙකට කියලා, ඇස් වලින් කඳුළු උතුරන්නට කළින් මං එතැනින් එන්න ආවා.

අඩි දෙක තුනක්වත් ඉදිරියට යන්න නොදී එයත් ඉක්මණට ඇවිදින් මාව බදාගෙන තුරුළු කරගත්තා. ඊටපස්සෙ එයාගෙ දෝතින්ම මගේ මූණ ඒ මූණ පැත්තට හරවගෙන....

”ඔයා නම් නෙමෙයි කියල කීවෙ, ඔයාට වඩා පහන් තරුව ලස්සන නිසා නෙමෙයි මැණික... පහන් තරුවටත් වඩා මේ ඇස් දෙක ලස්සන නිසා.... මේ මූණ මේ තරම් හැඩවෙලා තියෙන්නෙ මේ ලස්සන ඇස් දෙක නිසා..... කෝ ඉතින් මගේ කෙල්ල මට මේ ටික කියල ඉවර කරන්න දුන්නෙ නෑනේ” කියල, පුංචි තරුමල් හාදු දෙකක් කඳුළින් බොඳවුණ මගේ ඇස් දෙපියන මත තිබ්බා.

හඳහාමි ගස් අතු ඉති අතරින් හැංඟිලා ඒ හාදු රසවිඳී කියලද දන්නෙ නෑ, කොහෙන්දෝ ආව පුළුන් වළාකුලක් හඳහාමිව වසාගත්තා.


මුතු පබා
2006.10

බක්මහ අසිරිය
























ළහිරු කිරණ හොරෙන් හොරෙන්
තුරුවැල් අතරින් පායන
ලස්සන මගෙ මිදුල පුරා
විලම්භීත රටා මවන

බුලත් හුරුළු අතේ දරන්
අම්මට තාත්තට වඳින්න
ආච්චිට සීයට වැඳලා
නව වසරට පා නගන්න

එරබදු ගහ මුදුනේ සිට
කොහා ගයන ගී අහන්න
පුංචි ළමයි දිව ඇවිදින්
නගන සිනා බලාගන්න

හිසතෙල් ගානා නැකතට
අහල පහල නෑයෝ සමග
ඔච්චම් කර හිනා වෙවී
ගමේ සාදු ළඟට යන්න

අඹ ගහ යට සෙවණැල්ලේ
පැදුරක් ගෙනැවිත් එලාන
රන්චු පිටින් වාඩිවෙලා
ඔළිඳ කෙළින හැටි බලන්න

රතිඤ්ඤා ගහ උඩ තියලා
පත්තු කරල දිව යන්නට
කන් වහගෙන හරි හරියට
ඒ දෙස හොරහෙන් බලන්න

කුඹුක් ගස් වලින් වට වුණ
වෙල අයිනේ පිරුණු ළිඳට
කාසි දෙක තුනක් දමලා
කළ පුරවලා දිය අදින්න

නොමැත නමුත් වාසනාව
සමරන්නට අවුරුදු මෙම
ටියුලිප් මල් ලන්තෙ ඉඳන්
ලියනෙමි කවි දුක නිසාම


මුතු පබා
2006.04.14


(ලංකාවිත්ති - 2009.අපි‍්‍රයෙල් කලාපය)

සුවඳ ඇති මල්


When You Realize
























Someday when you realize
How much I loved you
You will be really sorry
To lose me from your life!
And that day when you realize
You want to come to my life again,
I will be gone far away from you....


Muthu Paba
2005

සුපෙම් ප‍්‍රාර්ථනාව



මොහොතකටවත් නොපිබිදෙන
කවි සිතක බර දරාගෙන
තනිකම සුවඳ ළඟ
මම තවම නුඹ හොයනවා

ජීවිතේ සුමිහිරිම ගීතය
තවත් දුර දෝ සිතෙනවා

අගුළු ලෑ හිතක ගින්දර
ඉවුරු බිඳගෙන ගලායන විට
සුපෙම් සිහිනෙක පැතුම් දේදුනු
නොපායයිදෝ සිතෙනවා

ජීවිතේ මුදු සුමුදු ගීතය
තවත් දුර දෝ සිතෙනවා

කඳුළු විල මැද තවම මුකුලිත
නුවූ සෙනේ සියපත පියුම
මේකුළට වැහි සහස්රැස් හට
ඉත සිතින් තනි රකිනවා

ජීවිතේ අපෙ සිනහ සිහිනය
තවත් දුර දෝ සිතෙනවා

ගිගුම් දෙන සැඩ සුළඟ මැද වුව
හදේ ගැඹුරුම පතුලට නිතින
තනි රැකූ රතු රෝස සුවඳක්
හදින් හදකට යවනවා

සුපෙම් සඳවත නුඹට මම
ස්නේහයෙන් පැතුමක් පතනවා


මුතු පබා
2011.03.23

කියාදෙන්න අම්මේ මට



කියාදෙන්න කියාදෙන්න අම්මෙ අම්මෙ මට
ටක්ගාලා ලොකු වෙන්නට කොච්චර කල් යයිද
අම්ම වගේ සාරි ඇඳල පාසල් යන්නට
කියාදෙන්න අනෙ අම්මේ හනිකට ලොකු වෙන්න

කියාදෙන්න කියාදෙන්න අම්මෙ අම්මෙ මට
පුංචි ළමයි ලොකු වෙන්නට කොචිචරකල් යයිද
අම්ම වගේ ළමුනට නැටුම් කියලා දෙන්න
අනෙ අම්මේ මට ඕනෑ විගහට ලොකු වෙන්න

කියාදෙන්න කියාදෙන්න අම්මෙ අම්මෙ මට
ටක්ගාලා මාවත් ලොකු වෙයිද කියා ලොව
අම්ම වගේ තාලෙට බෙර පදේ ගහන්න
අනෙ අම්මේ කියාදෙන්න හනිකට ලොකු වෙන්න

කියාදෙන්න කියාදෙන්න අම්මෙ අම්මෙ මට
ලොකු වෙන්නට මම මොනවා කියල කරන්නද
අම්ම වගේ දක්ෂ නැටුම් ගුරුවරියක් වෙන්න
හරි ආසයි මට අම්මේ විගහට ලොකු වෙන්න


මුතු පබා
2006

තනියට නොතනිය



දහසකුත් දනන් මැද
හිතක්,
තනියම විඳින
හුදෙක් කලාව


මුතු පබා
2011.02.22

ළඟ එන වසන්තය



වෙනදාට වැඩියෙන්
හිරු,
රැස් කළඹ
විහිදනා අපූරුව


මුතු පබා
2011.02.22

විහඟ මතකය



බාරයක් ඔප්පු කිරීම සඳහා පෝය දිනක පවුලේ දෙතුන් දෙනෙක් සමඟ කළුතර බෝධියට පැමිණි අරුණෝද, උඩ මළුවේ කළු ගං කුමරියට මුහුණලා රෝද පුටුවට වී සිටී. මේ අරුණෝද වසර නමයකට පසු කළුතර ආ ප්‍රථම වතාවයි. රෝද පුටුව නිසා සෙනඟ මැදින් විහාර ගෙට යෑම අපහසු වූවාටත් වඩා, වැලි මළුවට වී තනියම සිටීමට අරුණෝද ප්‍රිය කළේය.

පුංචි පුංචි අහස් කුසුම් කෝටියක් දැල්වෙන රාත්‍රි අහසේ අරුණෝද ගේ දෙනෙත සිරවිය. තරුකැට නිවී දිලී පත්තුවෙන්නෙ ”අරුණෝද ඔයා තනිවෙලා නැහැ” යි කියන්නට මෙනි. අරුණෝද ගේ සිත කෙමෙන් අතීතයට ඇදෙන්නට විය.

”මචං අහස බලාගෙන භාවනා කරාට කමක් නෑ, රහත් වෙන්න නම් එපා.”

තුවක්කුව කරේ එල්ලගෙන පමණක් නොව එය දෑතින්ම අල්ලගෙන සිටි විහඟ රහසින් වගේ කතා කළේ, උතුරුකරයේ ගස් ගල් වලටත් කන් තියෙන නිසා විය යුතුය.

”නෑ බං.. මට පවනිව මතක් වුණා.” අරුණෝදත් හිමින් උත්තර දෙන්නට විය.

අරුණෝද සහ විහඟ එකම පාසැලේ එකම පන්තියේ අකුරු කරපු මිතුරන් විය. පාසැලෙන් ඉවත් වී වසර කිහිපයකට පසු දෙදෙනාටම උතුරු නුවර එකම සටන් බිමක සේවය කරන්නට සිදුවූයේ දෛවයේ හාස්කමකට මෙනි. අරුණෝදට පවනිව මුණ ගැසුනේ ඊට වසරකට විතර පෙරය. ඉඩ ලද විටක කෙසේ හෝ පවනිට ලියුමක් ලීවත්, ගමේ යන තුරුම සමහර වෙලාවට එය තැපැල් කිරීමට අවස්ථාව නොලැබේ.

”මං දන්නවා මචං.. මටත් හැම වෙලේම මගේ කෙල්ලව මතක් වෙනවා.”

අරුණෝදට ද තම මිතුරා ගැන සියුම් දුකක් ඇති වුණත්, වදනකින් හෝ එය නොපෙන් වීමට ප්‍රවේසම් විය. විහඟ - නාමලී ආදර සම්බන්ධය ඇති වුණේ සාමාන්‍යපෙළ පන්තියේදි බව අරුණෝදට හොඳට මතකය. හමුදාවට බැඳෙනකොටත් විහඟ නාමලී හා විවාහ වී අවසානය. හමුදාවට බැඳෙන්නට එපා කියා නාමලී ඇඬුවාය. වැලපුණාය. නොකා නොබී දවස් ගෙව්වාය. ඒ මොනවා කරත් විහඟ ගේ සිත වෙනස් නොවන වග දුටු විට, දුක සඟවා සිනාසුණාය.

”අපෙ අම්මා නාමලීට ගොඩක් ආදරෙයි බං.. ඒක මගේ හිතට ලොකු සැනසිල්ලක්”

රට වෙනුවෙන් දිවි පුද දෙන්න දෙදිනකට කළින් තම ආදරණීය මිතුරා කී සැටි අරුණෝදට සිහිවෙයි. ඒ වෙලේම තම කලිසම් සාක්කුවට අත යැවූ අරුණෝද තම දයාබර පෙම්වතියගේ ඡායාරූපයක් එළියට ගත්තේය.

”විහඟ.. විහඟ.. විහඟ..” මොහොතකට අතීත ලොවින් පියවි ලොවට පැමිණි අරුණෝද තම මිත්‍රයාගේ නම තෙවරක්ම හිතින් මිමිණුවේය.

දස මසක් කුස දරා ලොවට බිහි කළ තම සිඟිති පුතුගේ.... දුක සැප බෙදා ගනිමින් මැරෙන තුරුම එකට ඉන්නට දිවුරුම් දුන් තම දයාබර සැමියාගේ විහඟ රාවය සදහටම නිහඩ වී යද්දී, සිතේ පිළිසිදෙන මහමෙරක් දුක වේදනාව කැටිවුණ විලාපයෙන් එදා මහ පොළොව දෙදුරුම් නොකෑම අරුණෝදට අද පුදුමයකි.

”එක අතකට පොළොව උණත් කොච්චර අඳෝනා විලාප අහන්නද..” අරුණෝදට සිතිණි.

”දැන් නාමලී මොනා කරනවා ඇත්ද..” නාමලීගේ හැඩරුව මනසින් මවාගන්නට උත්සුක වෙමින් අරුණෝද සිතුවේය.

විහඟ ගේ අවසන් කටයුතු සිදු කෙරුණ දා නාමලී විලාප දෙමින් හැඬූ ආකාරය අරුණෝද ගේ දෙසවන පතුලේ දැනුදු රැව්දෙන්නාක් මෙන් ඇසෙන්නට විය. ඇයට කීප විටක්ම කලාන්තය දමනවා, තම අනෙකුත් මිතුරු සෙබළුන් හා සිටිය ද අරුණෝද දුටුවේය.

විහඟ ගේ දේහය මිහිදන් කළේ ඔවුන්ගේ ගෙදර ඉස්සරහ විශාල මිදුලේ වම් පැත්තෙනි. ගොක්කොළ වලින් සරසා තිබූ බිම් ප‍්‍රදේශය පුරා, ගස් අතු ඉති අතරින් යන්තමට බේරුන පඬුපැහැ මලානික හිරු එළිය පැතිරී තිබුණේ ද ශෝකය දනවන්නට මෙනි.

තම දයාබර සැමියාගේ අවසන් ගමනට පස් පිඩක් වත් දැමීමට නාමලීට සිහියක් නොවීය. දෙතුන් දෙනෙකුගේ වාරුවෙන් සිටගෙන උන් ඇගේ දෙනෙත් පියවී තිබුණේ, හඬා වෙහෙසට පත් වී ඇති නිසාද නැතහොත් අවසාන ගමන යන තම ආදරණීය සැමියාගේ ශරීරය සැඟවූ හිත්පිත් නැති මිනී පෙට්ටිය පොළවට යට කරනවා බලා සිටීමට නොහැකි වුණ නිසාද....

”පව් අහිංසකී” අරුණෝද ට සිතිණි.

රාජකාරිය නිසා විහඟ ගේ තුන් මාසයේ දානයට සහභාගි වෙන්නට අරුණෝදට කළුතර යා නොහැකි වුණත්, අවුරුද්දේ දානයට එකතු වීමට නිවාඩුවක් ගත හැකි විය. ඒ අරුණෝද නාමලීව දුටු අවසාන අවස්ථාවයි. ඊට මාස හය හතකට පසු රණබිම හටගත් සටනකින් අරුණෝද ගේ වම් පාදය අහිමි විය.

”සමහර විට දැන් නාමලී වෙන කෙනෙක්ව බැඳලා බබාලත් ඇති. ඇවිදගන්න විතරක් බැරිවුණ තමාව නොසලකා තම දයාබර පෙම්වතියව සිටි පවනිට වෙනතක් බලාගන්නට හැකි වුණා නම්, මනුස්සයා නැතිවෙච්ච ගෑණියෙක්ට කෙහොම කරන්න බැරිද....” අරුණෝද හිතින් තර්ක කළේය.

”බලන් යනකොට ගෑණු ඔක්කොම එකයි.”

කාලාන්තරයකට පසු සිය දෙනෙත තෙත් වුණේ පවනිව සිහිවීමෙන්ද, නැති නම් තම සොඳුරු මිත‍්‍රයා සිහිවීමෙන්ද කියා අරුණෝදට නොවැටහිණි. වටහාගන්නට ද මනස වෙහෙසවන්න නොසිතූ ඔහු දකුණතේ මහපට ඇඟිල්ලෙනුත් දබර ඇඟිල්ලෙනුත් දෙනෙත පොඩිකර නැවතත් කළු ගං කුමරිය දෙසට ඇස් යොමු කළේ, තමා උන් දිහාවට බැතිමතුන් කීපදෙනෙක් එනු දුටු නිසාය.

රන් තැටියක් වන් පෝය හඳ කළු ගඟේ වැතිරී ගිමන් හරියි. පුරහඳේ රන් කිරණ කළු ගඟ පුරාවටම ලෝබකමක් නැතිව විසිරී ඇත. අතීත ආවර්ජනා කළු ගං කුමරිය හා බෙදාගන්නට අරුණෝදට තව වෙලා නොලැබුණි.

”අරුණෝද

කටහඬ පැමිණි දිහාව බැලුව අරුණෝද පුදුමෙනුත් පුදුමයට පත්විය. තමා ඉදිරියට පැමිණි රුව දෙස අරුණෝද බැලුවේ අදහාගන්නටවත් බැරි ලෙසය.

නාමලී.... අරුණෝද ගේ මුවින් ඇය නාමය ඉබේ පිටවිය.

නාමලී ගේ දෙනෙත තම දෙපා වෙත යොමු වෙනවා දුටු අරුණෝද ගේ දෑස පොළවට බර විය.

”සාමය කල් ගියා... කකුලක් අපතෙ ගියා.... අරුණෝද කීවේ සිනා සෙමින්ය.

”එහෙම කියන්න එපා.... කකුලක් නැති වෙලා හරි පවනිට අරුණෝදව ඉතුරු වුණා. ඒත් මට.. මට ඉතුරු වුණේ විහඟ මතකයන් විතරමයි.

අරුණෝදට තමා ගැනම ලැජ්ජා සිතුණි. මොහොතකට පෙර තමා වැරදියට හිතුවේ මැය ගැන නොවේ ද.. ඇය විසින් දෙතුන් වතාවක් පමණක් දැක ඇති තමාගේ පෙම්වතියව සිටි පවනි ගේ නම පවා මතක ඇති මැය ගැනම නොවෙද.. තම සදාදරණීය සැමියාගේ ආදරණීය මතක සුවඳින් හිත සනසවාගෙන, නා මලක් ලෙස අහිංසකව ලොවට සිනාසෙමින් තාමත් තනිකඩව ජීවත් වෙන මැය ගැනම නොවෙද.. තමා ගැන හිතේ හටගත් ලැජ්ජාව කෙමෙන් පිළිකුලට හැරෙනවා අරුණෝදට දැනෙන්නට විය.

”කෝ පවනි?

දෙදෙනා අතර වූ නිල නොවන කෙටි නිහඬතාවය බිඳ හෙළමින් නාමලී ඇසූ පැනයට අරුණෝද යළිත් නිහඬ විය. කිවයුත්තේ කකුලක් අහිමි වුණ තමාව අතැර පවනි වෙන කෙනෙක් සමඟ ගිය බවද, නැතහොත් තම කරුමයට ඇය පලි නැති බවද. එක අතකට සත්‍යයයත් එයම නොවේද.. තමා පවනිට කෙතරම් ආදරය කළත් ඇයව බලෙන් ළඟ තබා ගැනීමට තමාට වුව කිසිම අයිතියක් නැත. ඇගේ නිදහස ඇයට තිබිය යුතුය.

”රෝද පුටුවට සින්න වුණ මගේ ජීවිතෙත් එක්ක ජීවත් වෙනවට වඩා ලස්සනට, වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන් කියල එයාට හිතෙන්න ඇති.... පවනි මගේ ජීවිතේට හැමුව තාවකාලික පවනැල්ලක් විතරමයි නාමලී. මට එයාව මගේ ළඟ තියාගන්න බැරි වුණා....

අරුණෝද ගේ එවදන් වලට කිසිත් නොකී නාමලී හිමිහිට සුසුමක් පිට කළාය. ඒ සුසුමටම එකතු වුණ අරුණෝද කළු ගං කුමරිය දෙසින් හැමූ මද පවනට තම සුසුමද එක් කළේ හැඟීම් විරහිත ලෙසටය.


මුතු පබා

(සොඳුරු සර - 2008.මැයි-ජූලි කලාපය)