නෑනා මස්සිනා


ඝන මීදුමය..

Image and video hosting by TinyPic

ඝන මීදුමය
අහසවත්,
නොපෙනෙන තරමට.
සීතලට
බයවෙච්ච තැන
හිටි තැනම ගල් ගැහුණ.


මුතු පබා
2012.11.13

The Commitment


තටුලද ස්වප්නය



වළදාපු ස්වප්නයකට
තටු ඇවිත්
හදකුටියෙ පියාඹයි
ඒ අතට මේ අතට
දෙනෙත මුලාකර
රැගෙන යන්නට තැත් දරයි
මීදුම් හදමඩල
භයංකර ආදර නිම්නයට

පහන් කරවමි හදවත අවදියෙන්
දෙනෙත කවුළුව නොපියවා
සෙනෙහසක් නොලදුවත් සැපකි
කරුණාවක තෙතක් නැති
මායා ස්වප්නයකින්
තරු දෙනෙත
ලුණු දියෙන් නොපුරවා


මුතු පබා
2007.02.11

සුළඟක් කුමකටද..



සුළඟක් කුමකටද
කැමති
අකමැති වුව,
කොළ හැලෙන
වාරයට

මුතු පබා
2012.10.14

The Kiss



හේමන්තයට පෙර

Image and video hosting by TinyPic

හෙමින් ගෙවෙනා
ගිම්හානය
දැක දැකත්
කෙසේ නම්
සිනාසෙමි
පමා වී පිපෙනා
ඉර මලට..?


මුතු පබා
2012.08.26

අලුත ගෙනා මනමාලි


හොඳින් බැලුවොතින් පෙනෙන තරු

Image and video hosting by TinyPic

එකවරක් බැලූ පමණින්ම නොපෙනෙන
සිඟිති තාරකා කොතරම්
රෑඹරේ දිලෙනවාද?

තිමිර සළුව ඉරාගෙන එබෙන
සඳළිය තරම් නොවුණත්
දිලි දිලී නිවෙමින්
ඒ තරු මවන රටාවන්
සඳ තරම්ම ලස්සන නැද්ද?

සඳ පැහැදිලිය
බැලූ පමණින්ම දිස්වේ
ලස්සනද උපරිමය

ඒත්,
සඳ දිහා නොව
හොඳින් බැලුවොතින් පමණක් පෙනෙන
පුංචිම පුංචි ඒ තරු දෙස බලා
සැනසෙන හිත් කොච්චරක් නම් ඇතිද?

පුදුමය නම්
ඒ සිඟිති තරු පිපෙන්නෙත්
ඝන කළුවර අහසෙ වීමයි.


මුතු පබා
2012.08.06

අසිරිය

Image and video hosting by TinyPic

වැහි සුළංකෝඩය
දරා ඉවසමින්
බිම බලන් හිඳිනා
රෝස කැකුළකි

හඬනවාදැයි
හිනැහෙනවාදැයි
කාටවත්
නොතේරෙන


මුතු පබා
2012.08.05

(ලංකාවිත්ති - 2012 සැප්තැම්බර් කලාපය)

ආදරණීය ගස




එක්තරා කැලෑවක බොහොම විශාල ගහක් තිබුණා. අහල පහල ගමක හිටපු පුංචි දරුවෙක් මේ ගහ එක්ක මිතුරු වෙලා හිටියා. ගහ ළමයාට බොහොම ආදරෙයි. දරුවාත් ගහට ආදරෙයි. දරුවා හැමදාම ගහ ළඟට එනවා. ඇවිත් ගහේ කොළවලින් ඔටුන්නක් හදාගෙන කැලේ රජ්ජුරුවෝ වෙලා සෙල්ලම් කරනවා. සමහරවෙලාවට ගහ මුදුනට නගිනවා. ගහේ අතුවල එල්ලී පැද්දෙමින් විනෝද වෙනවා. මහන්සි වුනාම ගහ පාමුල හෙවණට වෙලා නිදා ගන්නවා. මේ විදිහට දෙන්නා බොහොම මිතුරුකමින් ආදරෙන් කාලය ගත කළා.

ඒත් කාලයක් යනකොට උස් මහත් වුණ දරුවා ගස ළඟට යෑම එන්න එන්න ම අඩු කළා. ඒ නිසා ගහ හිටියෙ ගොඩක් දුකෙන්. දවසක් දරුවා නැවතත් ගහ ළඟට ආවා. ගහ ඔහුට කතා කළා....

"එන්න ළමයා.. ඇවිත් මගේ අතු ඉති එක්ක සෙල්ලම් කරන්න.. මගේ පළතුරු කන්න.. පොඞ්ඩක් මගේ සෙවණේ ඉඳන් ගිමන් නිවාගෙන සතුටු වෙන්න...."

"මම දැන් ලොකු ළමයෙක්.. ඒ නිසා ගස් උඩ නගින්න බැහැ.. මට ඕනෑ සල්ලි වලින් සෙල්ලම් බඩු අරන් විනෝද වෙන්නයි.. ඔයාට පුළුවන්ද මට සල්ලි ටිකක් දෙන්න.." දරුවා ගහෙන් ඇහුවා.


"මං ගාව සල්ලි නම් නැහැ.. ඒත් ඔයාට පුළුවන් නගරයට මගේ පළතුරු ගෙනිහින් විකුණන්න.. ඒවයෙන් ලැබෙන මුදලින් ඔයාට සතුටු වෙන්න පුළුවන්.." ගහ උත්තර දුන්නා.

පළතුරු කඩා එකතු කරගත් ළමයා ආයෙමත් යන්න ගියා. සෑහෙන කාලයක් යනකල් ම ගහට ආයෙමත් දරුවා දකින්නට ලැබුණෙ නෑ. ඒ නිසා ගහ හිටියෙ බොහොම කණගාටුවෙන්.

ඊට කාලෙකට පස්සෙ දරුවා නැවතත් ගහ ළඟට ආවා. ගහ සන්තෝසෙන් ඉපිලෙමින් ඔහුට කතා කළා.

"එන්න දරුවා.. ඇවිත් මගේ අතු ඉති එක්ක සෙල්ලම් කරල ටිකක් විනෝද වෙන්න.. මගේ පළතුරු කඩාගෙන කන්න.. මගේ සෙවණේ වාඩිවෙලා ගිමන් නිවා ගන්න.."

"මම දැන් ගස් නගින්න ලොකු වැඩියි.." දරුවා ගහට කීවා.. "මට ඕනෑ අව්වෙන් වැස්සෙන් බේරිල ඉන්න ගෙයක්.. දරුවො හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඕනෙ මට.. නමුත් ඔක්කොටම කලින් ගෙයක් හදාගන්න ඕනෙ.. ඔයාට පුළුවන්ද මට ගෙයක් දෙන්න..?"

"මං ගාව ගෙයක් නෑ.." ගස උත්තර දුන්නා. "කැලෑවයි මගේ ගෙදර.. ඒත් ඔයාට පුළුවන් මගේ අතු ඉති ප‍්‍රයෝජනයට අරන් ගෙයක් හදාගන්න.. ඊට පස්සෙ හැමදාම සන්තෝසෙන් ඉන්න.."

ගහේ අතු ඉති කපා ගත් දරුවා ආපහු යන්න ගියා. ගහ සතුටින් හිටියා.

නැවතත් සෑහෙන කාලයක් යනතුරු ගහට ඔහුව දකින්න ලැබුණෙ නෑ. ඒ නිසා ගහ කාලය ගත කළේ ගොඩක් දුකෙන්. ඊට කාලාන්තරයකට පස්සෙ දරුවා ආයෙමත් ගහ ළඟට ආවා. ඔහුව දුටු ගහ කොයිතරම් සතුටට පත්වුණාද කියනව නම්, ගහට කතා කරගන්නට පවා බැරි වුණා..

"එන්න ළමයා.. ඇවිත් සෙල්ලම් කරන්න.." ඉහ වහා ගිය සතුට දරාගෙන ගහ ළමයාට කතා කළා.

"මම දැන් ගොඩක් වයසයි.. සෙල්ලම් කරන්න තරම් මට හිතක් නෑ.." ඔහු ගසට කීවා. "මට මෙහෙන් දුර ඈතට යන්න බෝට්ටුවක් ඕනේ.. ඔයාට පුළුවන්ද මට බෝට්ටුවක් දෙන්න.... ?"

"මගේ කඳ කපාගෙන එයින් බෝට්ටුවක් හදාගන්න ළමයා.. ඒ බෝට්ටුවෙන් ඔයාට පුළුවන් දුර ඈතට ගිහින් සතුටින් ජීවත් වෙන්න.." ගහ උත්තර දුන්නා.

ගහේ කඳ කපා ඉන් බෝට්ටුවක් සාදාගත් ඔහු දුර ඈතට යන්නට ගියා. ගහට දුකක් දැණුනත් එය හංගගෙන සතුටින් කල් ගෙව්වා.

ඉන් සෑහෙන කාලයකට පස්සෙ දරුවා නැවතත් ගස අද්දරට ආවා.

"මට සමාවෙන්න ළමයා.. මා ළඟ දැන් දෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ.. අඩුම තරමින් එකම එක පළතුරක්වත්.."

"පළතුරු හපන්න මගේ දත් දැන් ශක්තිමත් නෑ.." ඔහු පිළිතුරු දුන්නා.

"මගේ අතු ඉතිත් සියල්ලම නැතිවෙලා. ඒ නිසා ඒවයේ එල්ලෙමින් පැද්දෙමින් ඔයාට හිතේ හැටියට සෙල්ලම් කරන්න විදිහකුත් නෑ.."

"මම දැන් ගොඩක් වයසට ගිහින්.. ඒ නිසා අතු ඉති වල එල්ලෙන්න පැද්දෙන්න බෑ.." ඔහු කීවා.

"මගේ කඳවත් ඉතුරු වෙලා නෑ.. ඒ නිසා ගහ උඩට ටිකක් වත් නගින්නත් ඔයාට පුළුවන්කමක් නෑ.."

"ගස් නගින්න තරම් හැකියාවක් මට දැන් නැහැ.. මට ගොඩක් මහන්සියි.."

"අදත් මට මොනව හරි දෙයක් ඔය ළමයට දෙන්න තිබ්බ නම්.. මට සමාවෙන්න දරුවා.. මගේ ගස් කොටය ඇරෙන්න වෙන කිසිම දෙයක් මං ගාව දැන්ඉතුරු වී නැහැ.."

"මට කිසිම දෙයක් ඕනෙ නෑ. කොහේ හරි නිස්කලංක තැනක ඉඳගෙන ගිමන් නිවාගන්න තිබ්බොත් විතරක් හොඳටෝ ම ඇති.." ඔහු කීවා.

තමාට හැකි තරමින් ගස් කොටය කෙළින් කරගත් ගස ඔහුට කතා කළා.

"එන්න ළමයා.. පරණ වුණ මගේ ගස් කොටය උඩින් ඇවිත් වාඩි වෙලා ගිමන් නිවා ගන්න...." ගස ඔහුට හැමදාම කළා වගේ ආදරයෙන් කතා කළා.




["Shel Silverstein | ෂෙල් සිල්වස්ටයින්" ගේ "The Giving Tree" කතාවේ පරිවර්තනය.]

පරිවර්තනය : මුතු පබා


මෙම කතන්දරය ඇසුරෙන් ෂෙල් සිල්වස්ටයින් ලියන ලද බොබී බෙයාර් විසින් ගයන ගීතය.



කතන්දරය බූන්දිය හරහා කියවන්නට: ආදරණීය ගස

ආඩම්බර හිරු සහ කැමරා ඇස



ගැබ්බර ආකාසෙ
තැනක් පාදගත්
නුඹමිණි,
සියවට මේකුළු
රිදී නූලකින්
හැඩ දමමින්
සිටියහ.

නෙත්කළු දසුන
කැමරා නෙතට
හසුකර ගන්න
සිතා,
යළි ඒ දෙස
බැලුවෙමි.

හිස්මුදුනේ
සිහින් දාරයක්
පමණක් ,
ශේෂ කොට ඈ
සිය මුළු වතම
වළා රෙද්දෙන්
වසාගෙන!

වසා බැරි නම්
ඔතා ගන්නැයි
සිතූ මම
ඈ නොදැක්කා
සේ,
අනෙක් පස අහස
පින්තූරු කෙරුවෙමි.


මුතු පබා
2012.07.28

දරණු නොහැකිව



බිඳෙන් බිඳ
හාදු දෙන වැහිපොද

සෙව්වන්දියක්
පෙත්තෙන් පෙත්ත
පෙති බිම හෙළයි


මුතු පබා
2012.07.27

එළිය

නොකීවයි කියන්නෙපා

ඇගයීම



නොදන්නා
වල්පැලත්
සමහරක් අයට
මල්පැල



මුතු පබා
2012.07.11


දුවණියේ....



නිමිත්ත: රණබිම රාජකාරියට යන්න යන පියාගේ දෙපා බදාගෙන, සිඟිති දියණියක් මග අවුරයි.

දුවණියේ....

මගේ සතුට උණ්ඩිකර
පැත්තකින් තබමි.
කිරිලියක සේ නුඹට
ආකාශ ගංඟාවේ
පතුලටම කිමිදෙන්න,
නිදහස් නිවහල් දේශයකට
සටන් වදිමි....

අව්ගිනි වැහි හීතලට සිනාසෙමි.
දුඃඛීත වේදනා හදවතට
පොහොර කොට,
අවසාන හුස්මපොද තෙක්
නුඹේ උරුමය රැකදෙන්න
ශපත වෙමි....

සිඟිති ඉඳුවර නෙතු එළිය
මනසේ කැටයම් කරගමි.
එයින් බිඳ බිඳ එළියට ගෙන
ජීවිතයට වැර දෙමි,
කාන්සිය නිවා ගමි.

*ලොව හොඳම දේ දරුවන්ටයි!
දුවණියේ....
ඉතින් මා යා යුතුම වේ
නිදහස් නිවහල් හෙට දිනක්
නුඹට තනන්නට....


මුතු පබා
2008.03.28


*ලොව හොඳම දේ දරුවන්ටයි - ලෙනින් 

හිරුට පැනයක්




ගිම්හානයේත්
*හාගල් වැස්ස!


හිරු
කවද පායයිද
හිත පුරාවට



මුතු පබා
2012.07.06


*අයිස් කැට/හිම කැට වැස්ස


සිදු රළ හා ආදර තනුව



(සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ දැවටිලා.... - සිංදුවක කොටසක්)

සාගරේ තරම්
ආදරෙයි කියන්න
කාටත් පුළුවන්
ඒත්
සාගරේ
සිත්තම් කරන්න
හැමෝටම බැහැ



මුතු පබා
2012.07.04

දතයුතු මුතු


මල්, මිනිසා සහ ගතිගුණ

සුළඟට තරවටුවක්



නවත්තනවද
ඔය හැමිල්ල
ගස්කොළන් වුණත්
කොච්චරක් නම්
නටන්නද!?


මුතු පබා
2012.06.30

නොදැන ගිය ගමන



කයියක් ගහගෙන
සාන්තව දාන්තව
එක පෙළට
පාව ආ
මී දුම,
වේගයෙන්
දිව ආ
සුළඟට එකතුව
සුළඟ සමගම

පැන දුවන



මුතු පබා
2012.06.17

කුරුමිණි Circus

පූසගෙ අඳෝනාව

අසම සම

අලුත් සිහින



අබල දුබල
සිතුවිලි
අතරින් පතර
සුපිපිණු

හසරැලිය

දෙනෙතක

නොවැරදුණු
ලුණුදිය කැට
රිසි සේ

රස විඳින


මුතු පබා
2012.06.15

සැබෑ දුක

තත්පරෙන් තත්පරය

වැහි කුරුලු සාදය

















හිරි හැර ලද
වැහි පොදෙන්
නිදිගැට ඇරගත්
කුරුල්ලෝ


අත්තෙන් අත්ත
හැරදා

බිමටැවිත්,
පියාපත් විදා
නටති


බල බලා හාත්පස
ගයති
කැඳවති
තවත්
බටිති මලිති


නිත්තෙන් ගයන
ගීත නවතා


ගයති වැස්සට
නැවත නැවතත්
නැවත නැවතත්

ප‍්‍රශංසා
තුති ගී


මුතු පබා
2012.06.06

(ලංකාවිත්ති - 2012 ජූලි කලාපය)


නොවිසා බැරිම තැන


බල්ලගෙ අහිංසක සිතුවිල්ල

අමුතුය මේ වසත් සම



පතපු වසන්තයට
වඩා,
ලබපු වසන්තය
සුමිහිරිය


සහස්රැස් කියා දෙන
කතන්දරයකි සු-වි-ශා-ල
ඊයෙට වඩා අද
මේ දැන්ම නරඹන්න


පැතුම් සඵල වූ නිසා
තුටින් දඟලන ළා දළුය
තුරුබඳ අතු ඉති වලට
කන්කරච්චලයක්ම වී


සුපිපෙන්න තරග කරනා
ඇබිත්තක් ඇස් ඇරපු
කැකුළුය,
බටිති මලිතියන් අවුස්සා තබන


සක්මනේ යන
නල රැල්ලෙත් එතී එන්නේ,
නම නොදන්නා මල්හි මන
සුසුවඳ සුසුවය.

ඇසුණත් නොඇසුණු
වස්සාන ගීතයමය

බලන බලනාත
පුරුදු වෙනසකි දෙනෙතට
නුපුරුදුය හිතට
වෙනස දනවන අරුම පුදුමය


රමණීය ලොව,
කවදටත් වඩා පැහැසරය!
මිහිර නැති වුණත්
කිම ඉතින්,
සුමිහිරිය හැම තැනම!
අමුතුය මේ වසත් සම!



මුතු පබා
2012.05.27

ඉවසිල්ල



රඟ දෙයි
මල්වෙඩි
අඳුරහසෙ
මහ හඬින්
නද දෙමින්


රිදෙයි
අහසට
එසැර


එහෙත්
නොකියයි
කිසිත්


විඳියි
එහි කැටි

කෙටි වු
ආයුෂ



මුතු පබා
2011.12.31