තවත් ඍතුවකට පසු - [හදවතට පාඩමක්]

ඉතින් ඊට පස්සෙ
ඍතුව පුරාවටම
මුකුලිත නොවූ පුශ්පයන් දෙස
හැරීවත් නොබැලුවෙමි.
රැගෙන යා හැකි කැකුළු පමණක්
හිමින් සීරුවේ,
තෝරා බේරා ගතිමි.
නේත්රා මංජරියෙන්
දිය දෝතක් ගෙන,
එකැකුළු සීරුවෙන් බහාලූවෙමි.
පැහැය රසවිඳ තව ටිකක්
යළිදු නොම එන ඍතුවට සමුදුනිමි.
දැන් ඉතින්,
එළිය මැද හිඳ අඳුර නොසයන්නට
හදවතට තරවටු කරමි.
සිහිල් මද පවනතරට එබෙන
රන් කෙඳි දහර සමගින්,
හිමින් සීරුවේ හාද වෙමි.
ඔබ මොබ සරන,
කුරුලු කිචි බිචි හඬට
දෙසවන දිග හරිමි.
අහස් කුස සිසාරා ගිජුලිහිණින් ද
පියා සලන බව පසක් කරගමි.
නෙක මල් මකරන්ද සුවඳ
හදවතින් උරා බොමි.
සුවඳ මල් වල පවා
නටු අග කටු බව,
හදවතට කියා දෙමි.
කඳු හිස් මුදුනේ හැප්පී පාව යන
වළාකුළු හට,
රහසින්ම මුමුණමි.
මුදු මොලොක් දේ මිසක
මහා පර්වත ලේසියෙන්,
වේදනා නොවිඳින බව
හැඳින ගමි.
නිල්ල පිරි වන ලැහැබෙ
විසල් තුරු නරඹමි.
ස්නේහයේ මුල සවි ශක්ති කළ
අතු රිකිලි ලදළු සාරවත් බව
මඇසින්ම දැක ගමි.
නිශායම ගගනතෙ
වර්ණ අතරින් පතර,
දෙනෙත දුවවමි.
සඳ පවා දිලිහෙන්නෙ
ණයට ගත් හිරු රැසින් බව
හදවත පුස්තකයෙ ලියා ගමි.
අලුත් සිහිනයක් මවාගමි.
පින්සල කඳුළින්ම පොඟවා
හිමින් සීරුවේ ජීවිතය,
සිත්තම් කරමි.
කවුරු ගන්නට පැමිණියත්
එසිත්තම,
මහද වර්ණයන් දකින
ඇසකට මිසෙක
අන් කාටවත් නොදෙන්නෙමි.
මුතු පබා
2011.08.02
September 27, 2011 at 9:44 PM
ලස්සන කවි පෙලක්... හරිම අපූරුයි...
September 28, 2011 at 9:10 AM
අම්මෝ කවියෙ දිග :)
දිග වුණත් අගෙයි..
September 29, 2011 at 3:38 PM
අපූරුයි යාළු
September 29, 2011 at 5:08 PM
හැමදාම වගේ...අදත් ලස්සන කවි...පෙලක්.
September 29, 2011 at 6:36 PM
ස්තූතියි යාළුවනේ..!!
Outsider - කවිය ටිකක් දිගට ලියවුණා තමා.. හදවතට දුන් පාඩමක් නොවැ :)