සිහින සිත්තම






















අමාවක රැයක් නොවුණද සඳළිය බිඳක්වත් නොතිබූ තදඳුරු රැයකි එය. තරුපති සැඟවුණද ගගනත ඟගුල සරසන්න, තාරකා කුමුදු නම් අඩුවක් නොමැතිවම විකසිත වී තිබුණි. නමුත් හිත මිතුරු සඳ නැති දුක දනවන්නටදෝ අහස් ඟංගාව, සිහින් මල්වැස්සකින් සිය දුක කියන්නට අමතක නොකළේය.

විසල් විලකට යාබදව යායට වැවී තිබූ උණගස් වලින් ගහන පරිසරයේ, හුදෙකලා සක්මනක නියැලී සිටි ඔහුගේ හිත සහ මනස, අහිමි කිරිලියකගේ මතක රුවින් සහ හඞින් පෑරී තිබුණි. ආවර්ජනාව සිතට මනසට පමණක් නොව කයට ද වෙහෙසක් ගෙන ආ පසු ඔහු පොළොවට බර දී වාඩිවුණි. එසේ ඔහු හෝරා කිහිපයක්ම ගතකරන්නට ඇත.

තමන්ට අහිමි වූ ඒ කිරිල්ලිය කවුද, කින්ද මන්ද යන්න වාගේම, ඇය ඔහුට අහිමි වූයේ කෙසේද යන්නත් ඔහුට තවමත් අපහැදිලිය. පැහැදිලි එකම දේ පස් හෝ සය වසරක් පුරාවටම කිරිල්ලිය සිහින් අත්තටු රාවයකින් තම සිත හා මනස, අවදියෙන් තැබූ බව පමණෙකි. ඒ කාලය පුරාවටම ජනිත සෑම රාත‍්‍රියකදීම ඔහු, ඇය ගැන සිතුවේය. නොකඩවා නොනවත්වා සිතුවේය. අදටත් සිතන්නේය.

හිරිපොද වැස්ස නිසාත් සුළඟට හාදව උණගස් වයන උස් හඞ රාවය නිසාත් අන් හඬක් නොඇසෙන තරම් වුවද, කවුරුන් හෝ උණගස් පිටුපසින් තමන් පසු කර ගමන් කරනවා ඔහුට ඇසුණි. හඬ පැමිණි දෙසට දෙනෙත යැවූ ඔහු ලා තරු එළිය මැදින් දුටූයේ, මිහිදුම් සළුවකින් මැසුවා සේ අයස්කාන්ත ගවුමකින් සැරසුණු, දිගු වරලස විදාහල තරුණියකි.

ඔහු පසුකර මදක් දුර ගිය ඇය ගසකට පිට දී නතර වුණි. පිණි කඳුළෙන් බොඳ වූ ඇගේ නෙතු පියුම්, පොද වැස්සෙන් නැහැවුණු සුදු සහ රෝස, ඕළු නෙළුම් පොහොට්ටු ද, හරිතදම් නිල්මහනෙල් පෙහොට්ටු වලින් ද පිරී තිබූ විලට උඩින් පෙනෙනා, නිළඹරේ සිර වී තිබුණි. අහසේ උල්පතකින් මතුවෙන උල්කාශ්ම රැසක් කොහේදෝ ඈතකට කඩා වැටෙයි. සිත කඩා වැටුණා සේ ඇය ඒ දෙස බලාගෙන බොහෝ දුර කල්පනා ලොවකය.

හඬ නොනැගෙන සේ ප‍්‍රවේසමට ඈට පිටුපසින් ඇය ළඟට සේන්දු වුණ ඔහු.... "උල්කාපාතයක් අල්ලන්නද බලන් ඉන්නේ.. ?" යි, ඇසුවේය.

මුළු ජීවිත කාලය පුරාවටම දැන උන් ආදරණීය කට හඬක් සිය සවන්පත් සිප ගත්තා සේ ඇය, ඉමහත් පුදුමයෙන් පිටුපස හැරී බැලුවාය. දෙනෙතට දෙනෙත හමුවූ ඒ ඉසිඹුවේ එකදු වදනක්වත් මුවින් මුවට හුවමාරු නොවීය. දිලිසෙන ඇගේ තරුනෙත් පතුලටම කිමිදුන ඔහුට දැනුණේ, කල්ප කාලයක් ඒ නිමේශය විඳගන්නට තමන් පෙරුම් පිරූ බවකි. උණගස් වාදනය ඔවුන්ට නෑසිණි. ඔහුගේ සිප වැළඳ ගැනීම් හමුවේ නිහඬ නොවූ ඇය ද, තරයේ ඔහුව බදා වැළඳ ගෙන ඒ පපුතුරට තුරුල් වූයේ, එහි ජීවත් වන එකම ආත්මය තමන් විතරක්මදැයි සොයන්නාක් මෙනි. මල්වැස්සේ දුඃඛීත සිහින් රාවය ඔවුන්ට ඇසුණේ ආශිර්වාදයේ ගීතිකාවක් ලෙසටය.


මුතු පබා
2011.04.18

කතන්දරය බූන්දිය හරහා කියවන්නට: සිහින සිත්තම

2 Response to "සිහින සිත්තම"

  1. - නිල් අහස - says:
    July 2, 2011 at 6:50 AM

    වෙනසකටත් එක්ක..මේ ඇරඹුම...හොදයි.
    ඒ වගේම සිත් ගන්නා විදිහට ලියලා තියෙනවා.
    කලබල නොවී ලියන්න..මුතූ.

    ආසාවෙන්... කියවන්න... බලන් ඉන්නවා.

  2. ``` Outsider``` says:
    July 2, 2011 at 9:14 AM

    සිහින සිත්තමක්ම තමයි..

Post a Comment

Show Emoticons