බක්මහ අසිරිය
ළහිරු කිරණ හොරෙන් හොරෙන්
තුරුවැල් අතරින් පායන
ලස්සන මගෙ මිදුල පුරා
විලම්භීත රටා මවන
බුලත් හුරුළු අතේ දරන්
අම්මට තාත්තට වඳින්න
ආච්චිට සීයට වැඳලා
නව වසරට පා නගන්න
එරබදු ගහ මුදුනේ සිට
කොහා ගයන ගී අහන්න
පුංචි ළමයි දිව ඇවිදින්
නගන සිනා බලාගන්න
හිසතෙල් ගානා නැකතට
අහල පහල නෑයෝ සමග
ඔච්චම් කර හිනා වෙවී
ගමේ සාදු ළඟට යන්න
අඹ ගහ යට සෙවණැල්ලේ
පැදුරක් ගෙනැවිත් එලාන
රන්චු පිටින් වාඩිවෙලා
ඔළිඳ කෙළින හැටි බලන්න
රතිඤ්ඤා ගහ උඩ තියලා
පත්තු කරල දිව යන්නට
කන් වහගෙන හරි හරියට
ඒ දෙස හොරහෙන් බලන්න
කුඹුක් ගස් වලින් වට වුණ
වෙල අයිනේ පිරුණු ළිඳට
කාසි දෙක තුනක් දමලා
කළ පුරවලා දිය අදින්න
නොමැත නමුත් වාසනාව
සමරන්නට අවුරුදු මෙම
ටියුලිප් මල් ලන්තෙ ඉඳන්
ලියනෙමි කවි දුක නිසාම
මුතු පබා
2006.04.14
(ලංකාවිත්ති - 2009.අපි්රයෙල් කලාපය)
April 15, 2011 at 4:44 AM
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
April 15, 2011 at 5:51 AM
සුභ අලුත් අවුරුද්දක්ම වේවා...
April 15, 2011 at 2:05 PM
කතන්දරකාරයා..
ලියනා සෑම අකුරම මතු කියවන්න
ඇතොත් කාලේ මෙහෙටත් ගොඩවෙන්න
සැඟවුණු බලය හැම අකුරක පෙන්නන්න
ගොතා ගියපු කව් මාලෙට තුති! මෙන්න
සේපාලි.. ඔබටත් එසේම වේවා..! :)