වසන්තය ආවා ගියා



ඉරට හොරෙන් හඳට හොරෙන්
ඇවිදින් නුඹ මගේ ළඟට
මටත් නොකිය හොරෙන් ගිහින්
පෑල දොරින් දුර ඈතට

රෝස ලපලු නැලවි නැලවි
හිනැහෙනවා අරුණැල්ලට
ලා හිරු කැන් නැති බව මට
කියයි සුළඟ වැදී ගතට

පිණි බිංඳුත් දිලිසි දිලිසි
සරසනවා නීල පලස
මට අහිමි වු වසන්තයේ
හත් පාටත් උදුර ගෙනම

බටිති මලිති සූටික්කියො
ගී ගයන්නෙ උජාරුවට
උන්ගෙ විහ
ගීත වලට
දුක දැනෙනා බව දැන දැන

සුවඳ මලට හාදු දෙන්න
සමනළයින් ළං වෙනකොට
සුවඳ මගෙන් හංඟනවා
නේක කැකුළු නක්කලේට

මී මැස්සන් පැණි මවනවා
දෙබරෙ ඇතුළෙ වෙවී දබර
සරදම් දෙයි ගුමු ගාමින්
අහිමි මගේ වසන්තයට


මුතු පබා
2007.08.07


(ලංකාවිත්ති - 2010 පෙබරවාරි කලාපය)

නිදහස

ගල් ගැහුණ
සිසිර පිණිබිඳු
ලහිරු කිරණට
සෙමින් දියවෙන


මුතු පබා

2009.12.14

හසරැල්ලක පුංචි රහස

සල්ලාල බඹරු

ඒ මල
මළ පසු
මේ මල
මත රැඟුම්

මුතු පබා

2007.10.26

(නො)දුටු පෙම්වත

නුඹ
මල්වෙඩිල්ලකි
නේක වර්ණයන්
සිතඹරට එකතු කර
සැනෙකින් නිහඩවෙන


මුතු පබා
2008.12.14

පසුපස ඒම



මම
සිදු රළ පෙළ වෙමි
විටෙක සැඩ වුවත්
දුව දුවාවිත්
නුඹ දෙපා
සිප ගන්න....

නුඹ
සෙල්ලක්කාර ජීවියෙකි
මාව පාගා
ඈ - ත් - ව - න
යළි ළගටවිත්
කවටකම් පා
දි -- ව -- ය -- න

මුතු පබා

කියන් මේකුළ....

නිරුවත් අතු ඉති අතර
ගිමන් හරිනා සුදු වළාකුල
මාත් එක්කං පාව යනවද ?
මා උපන් මගේ බිම වෙත

හැල්මෙ දුවනා ලොවක් මැද මම
තනිවුණු සෙයක් දැනෙයි නිතරම

සහස් ගව්දුර ගතින් සිර වී
මනස වැලපෙන විටක තනියම
සිසිර සෘතුවෙ සීත පරදන
කඳුළු ඇද හැලෙයි අනෝරා වැසි ලෙස

සුවඳ සිරිලක දැනෙන ඉසිඹුව
මවන සිත්තම් නිමක් නෑ හද
වැවක රන් දිය තුරක කළඑළි
කුඹුරු අද්දර කැඩුනු පාරේ
සිතින් ඔකඳව මාද යනෙනා විලස

ඉතින් මේකුළ කියන් හනිකට
මාද අරගෙන දැන්ම යනවද
?


මුතු පබා 
2008