මතක


















මතක මතකැති
හිතක් ළඟ ඇති
මතකයට හිතැති
හිතක් නොමවෙති

මෝදු වෙනකොට දුක













හුඟක්ම හුඟක් රෑ වෙනකොට
වැහි වළාකුළු
පේන්නෙ නම් නෑ.
හැබැයි එහෙමයි කියල
වහින වැස්සෙන්
අඩුවකුත් නම් නෑ!

2015.12.25

ආදරණීය මම්මා














දුක කියන්නේ මොකද්ද කියල අපි දැනන් හිටියට දුකක නියම වේදනාත්මක දුක දැනෙන්නේ අපි එ්කට මූණ දුන්නට පස්සෙයි. එ් වේදනාව මමත් මගේ පවුලේ අයත් මේ ටිකේ නොඅඩුව විඳිනවා. එ් අපේ ආදරණීය ආච්චි අම්මා අපෙන් ගතින් සමුගෙන වෙන් වුණ නිසයි. ආච්චි අම්මා වුණාට අපි පොඩි කාලේ ඉඳන්ම ඇයව ඇමතුවෙ මම්මා යනුවෙන්. එ් අපේ අම්මත්, ලොකු අම්මත්, මාමත් ඇයව අමතපු ආකාරය පොඩි කාලයෙ සිටම කන වැකුණ නිසා වෙන්නැති. අද මම්මා අපි අතර නෑ. ඇය අරඹයා මේ ලිපිය ලියන මේ දැණුත් මගේ ඇස් වලට කඳු උනනවා ඇය නැති ශෝකය නිසාවෙන්.

ඉපදුන හැමෝම අවසානයේ නැති වෙනවා කියන ධර්මය මම අනන්තවත් අහල තියෙනවා. එ්ත් අර සමහරක් අය කියන්නේ 'කියනවා වගේ ලේසි නෑ විඳිනකොට' කියලා. අන්න එ් කතාව නම් ඇත්තටම ඇත්ත. මම්මා නැති වේදනාව ඇත්තටම ගැඹුරු වේදනාවක්ම තමා.

කට වචනෙට මිනිස්සු කීවට 'ගතින් නැතත් හිතින් ළඟ ඉන්නවනෙ' කියලා -- හිතින් වගේම ගතිනුත් අපි ආදරය කරන අය හැමදාමට අප ළඟ ඉන්නවනම් කොච්චරද කියල මට හිතෙවා. ආදරණියයන් ඈත්වෙනකොට ඔවුන්ගේ මතකයන් අපිව බදාගන්නවා. මතකයන් ලස්සනයි. එ්ත් දුක..

අපි-- අක්කියි මමයි නංගියි පුංචි කාලයේ ඉව්ව ප‍්‍රථම සෙල්ලම් බතේ මතකයන් පවා තියෙන්නෙ මම්මත් එක්ක. කුස්සිය පැත්තෙ මිදුලෙ ගල් තුනකින් පොඩි ලිපක් හදලා ඉව්ව ඒ සුදු බතේ මතක චිත‍්‍රයන් දැනුත් මගේ මනසේ ඇඳෙනවා. මම එදා හිතන් හිටියේ අපි උයන්නේ වැලිබත් කියලා. මට මතකයි මම මම්මගෙන් ඇහුවා 'මම ඕකට තව වැලි ටිකක් දාන්නද' කියත්. අද එ් සිද්දීන් සුන්දර මතක වුණාට ඇස් තෙත් කරන්නට සමත් තියුණු මතකයන්.

මම්මගෙ අඩුව පුරවන්න මේ ලෝකෙ කිසි කෙනෙක්ට බෑ. ඇගෙන් අපි ඉගෙන ගත් දේ බොහෝයි

අපි පුංචි කාලයේ මම්මා අපිට ළමාසාරි අන්ඳවගෙන දහම් පාසැල් යනවා. පාසැලේ්දී, දහම් පාසැලේදී වගේම මහ ගෙදර පැවැත්වූ මොන්ටිසූරියේදීත් ඇගෙන් අකුරු කරපු, හොඳ නරක, ගුණ ධර්ම උගත් දරු දැරියන් ඕනෑ තරම්. ගමේ සියල්ලෝම පාහේ මම්මව ඇමතුවෙ ටීචර් කියලා. මට මතකයි මම්මව පන්සැල් එක්කන් ගිය එක වතාවකදී, එදා පන්සලට ඇවිත් උන්න මැදිවියේ දෙතුන් දෙනෙක් 'ආනේ මේ ටීචර්නෙ' කියාගෙන ඇවිත් මම්මව දෙපැත්තනේ වත්තම් කරන් බුදු මැදුරට එක්කන් ගියා. එදා මට දැණුනෙ කියාගන්න බැරි තරම් ආඩම්බරයක්. මම්මා ඇස් ලොකු කරන් එ් කීපදෙනා දිහා බැලුව විදිහ, මම්මගෙ මූණේ එ් වෙලාවෙ තිබ්බ පුදුමසහගත හිනාව මට දැනුත් හොඳට මතකයි. අවුරුදු 90 කට කිට්ටු කරලා හිටිය ටීචර්ව දැකලා එ් ළමයින්ගේ හිතේ ඉපදුණු බැතිබර බව කොච්චරද..

ගමේ තිබ්බ මගුල් ගෙවල් වලටත් මම්මව නැතුවම බැරි චරිතයක් වුණා. එ් ගමේ ජයමංගල ගීත කණ්ඩායම පුරුදු පුහුණු කරෙත් මම්මා නිසයි. එ් දවස්වල කණ්ඩායමේ හිටිය බාලම කෙනා මම. ජයමංගල ගාථාවන් මතකයෙන් නිවැරදිව කීවත් මට අමතක වුණු එකම දේ තමා ගාථාවන් අවසානයේ ආචාර පවත්වන්න දෑත ඔසවලා වඳින එක. ඉතින් මම්මා මගේ ළ හිටිය අක්ක කෙනෙක්ට කියල තිබුණා වඳින්න දෑත රවුමට ඔසවලා ගද්දි මගේ අතට පොඩි තට්ටුවක් දාන්න. එ් මතකයන් ඔස්සේ අද මම්මව තට්ටු වෙන්නෙ හදවතේ ගැඹුරුම තැනට.

ගමනට වගේම ගෙදරටත් මම්මා ඇන්ඳේ ඔසරියම තමා. මගේ මනසට මේ දැනුත් මම්මා මහ ගෙදර එහා මෙහා ගිය විදිහ මැවී පේනවා. හවසට මල් කඩලා බුදු කාමරේ මම්මා පංසිල් ගත්ත විදිහ. මිදුලෙ කොනේ ජම්බෝල ගහ ළ හදලා තිබ්බ පහන් කණුවේ පහන පත්තු කරලා මම්මා වැඳන් ඉන්නවා මට මේ දැනුත් මැවිල පේනවා. එ් මතකයන් කොච්චර සුන්දරද. එ්ත් එ්වා මතක් වෙන වාරයක් වාරයක් පාසා හිත දැවෙනවා. නෙතු හැඬෙවා.

අදට හරියට මම්මා අපෙන් සමුගෙන දවස් 7ක් වෙනවා. මම්මව තව එකම එක වාරයක් හෝ හැබැහින් දැක ගන්න තිබ්බ නම් කොච්චරද කියල හිතෙන වාර ගණන අන්නතයි. අප‍්‍රමාණයි. නොරට විසීම කරුමයකටත් එහා ගිය කරුමයක් බව දැනෙන්නේ මේ වගේ අවස්තාවන්වලදී තමා. ආදරණියයන්ව අඩුම ගණනේ ඔවුන්ගේ අවසාන මොහොතෙදිවත් දැක බලා ගන්න වාසනාවක් නැති වෙනකොටයි. මම්මා අපෙන් සමුගත් පුවත මහ පාන්දරයාමෙ ලොකු මල්ලි දුරකථනයෙන් මට කියනකොට මට ඉස්සෙල්ලාම කියවුණේ 'අයියෝ' කියන වචනයයි. එතකොට හිතට කඩාගෙන බිඳගෙන ආව දුක නම් අදටත් අඩුවක් නෑ. මම්මා ගතින් අපි ළ නැති හිස් අඩුව හැමදාම අපි අතරෙ තියෙනවා සහතිකයි. එ්ත් අයියෝ.. එ්කට මොනා නම් කියල කරන්නද.. ඉකිය, කඳුළ හිර කරන් මතකයන් අවදිකර හූල්ලනවා ඇරෙන්න. හදවතින් ඇයට නමස්කාර කරනවා ඇරෙන්න.

ආදරණීය මම්මේ අපි ඔබට හැමදාමත් ආදරෙයි. ආදරණීය ඔබට නිවන් සුව අත්වේවා..!!



හිඩැස


















පෝයට නම් ඉතින්
මල් ගසුත් 
හිස් වෙනවා


2015.08.24

යන්න බලාගෙන එනකොට

















ඔබ
ගියත් නොගියත්-
මම හැමදාම
එක තැන 
බව,
දැන දැනම

ඔබ 
එන්නේම ආයෙත්
යන්න බලාගෙන.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අනේ! මන්ද,
දුකක් නම් ඇත්තේම නැද්ද?!?


2015.08.15

මී පැටියයි වලස් රජුයි























කැලෑවෙ මැද රවුම් කළුගලක් උඩ, පුංචිම පුංචි මී පැටියෙක් හිටගෙන ඉන්නවා. පුළුවන් තරම් අහසට ඔළුව දික්කරපු මේ පුංචි මී පැටියා "අද ඉඳන් මම තමයි රජ්ජුරුවෝ" යි, කෑ ගහල කීවා.

ටික වෙලාවකට පස්සෙ එතැනට පැන පැන ආපු හාවා ගල් ගිලල වගේ මී පැටියා දිහා බලාගෙන ඉන්න ගත්තා. 

"ආයුබෝවන්ඩ, මී පැටියො. ඔයා දන්නව නේද ඔය කළු ගල රජ්ජුරුවන්ගෙ කියල? එ්ක දැනගෙනත් මොනවද ඔයා ඔතැන ඉඳන් කරන්නෙ?"

"මම මේ රජ්ජුරුවො එනකල් මෙතැන ඉඳන් මගේ නියපොතු සුද්ද කරනවා. රජ්ජුරුවො ආවම මම කියන්නයි ඉන්නෙ, අද ඉඳන් මේ කැලෑවෙ රජ්ජුරුවො මමයි" කියලා.

මී පැටියා මෝඩයෙක් කියල හිතුව හාවා ඉක්මණින් පැන පැන එයාගෙ හා ගුලට ගියා.

ටික වෙලවකට පස්සෙ කකුල් අද්ද අද්දා එතැනට ආව ඉත්තෑවත් මී පැටියා දිහා පුදුමයෙන් බලන් ඉන්නවා. 


"ආයුබෝවන්ඩ, මී පැටියො. රජ්ජුරුවන්ගෙ කළු ගල උඩ ඉඳගෙන ඉන්න ගියොත් ඔයාට පස්සෙ ගොඩක් කරදර වලට මූණ දෙන්න වෙයි. ඊටත් මොනවද ඔයා ඔතැන ඉඳගෙන කරන්නෙ හැබෑට?"

"ආ... මමද.. මම මේ මෙතැන ඉඳන් මගෙ නියපොතු සුද්ද කරනවා. රජ්ජුරුවො ආවාම මම කියන්නයි ඉන්නෙ අද ඉඳන් කැලෑවෙ රජ්ජුරුවො මමයි" කියලා. 

මී පැටියා මෝඩම මෝඩයෙක් කියල හිතුව ඉත්තෑවත් ආපහු කකුල් අද්ද අද්දා ගිහින් කොළ කන්දක් අස්සෙ හැංඟුනා.

තවත් ටික වෙලාවකට පස්සෙ එතැනට ආපු නරියා, කටට උණන කෙළ ඉවසමින් සද්ද නැතුව මී පැටියා දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා.

"ආයුබෝවන්ඩ, මී පැටියො. ඔයා දන්නෙ නැද්ද ඔය කළුගල කාගෙද කියලා? ඕකෙන් බිමට බැහැලා ආවානම් තමයි හොඳ.."

"ඇත්තද.. හිතේ ඇති මම බැහැල එයි කියල." මී පැටියා උත්තර දුන්නා. "මම මෙතැනට වෙලා නියාපොතු සුද්ද කර කර රජ්ජුරුවො එනකල්ම බලන් ඉන්නවා. රජ්ජුරුවො ආවාම මම කියන්නයි ඉන්නෙ අද ඉඳන් කැලෑවෙ රජ්ජුරුවෝ මමයි කියලා." 


නරියට හිතුනෙත් මී පැටියා මෝඩයෙක් කියලා. තරහෙන් කිපෙමින් ගිය නරියා පඳුරක් අස්සෙ හැංඟුනා.  

ටික වෙලාවකට පස්සෙ කැලෑවෙ ඇතුලෙන් භයානක දෙයක් සිද්ද වෙන සද්ද ඇහෙන්න පටන් ගත්තා. ගස් කොළන් වගේම, මහ පොළොවත් ගැහෙන්න පටන්ගත්තා. කොටින්ම කීවොත් මී පැටිය ඉඳගෙන හිටිය කළුගලත් වෙව්ලන්න පටන්ගත්තා. බය වෙච්ච මී පැටියව ඉබේටම හිටවුණා.

එ් ඇවිත් කැලෑවෙ රජ්ජුරුවො එන සද්දෙ. නපුරුම නපුරු පෙනුමක් තියෙන සද්දන්නත වලහෙක් තමයි මේ රජ්ජුරුවො. වලස් රජ්ජුරුවන්ගෙ නියපොතු, මුවහත් පිහියක් තරම් සැරයි. දත් මී පැටියටත් වඩා ලොකුයි. කටහඬ නිකන් ගොරවන අහසක් තරම් සැරයි.

කළුගල ළඟට ආපු වලස් රජු "කවුද ඉන්නෙ මගේ කළුගල උඩ?" කියලා මහ හයියෙන් බෙරිහන් දීලා ඇහුවා.

වලස්රජ ටිකක් ඉස්සරහට නැමුණා එ් කවුද කියලා හොඳහැටි බලාගන්න. කණ්ණාඩි කුට්ටම නැතිවුණ නිසා වලස්රජට ටිකක් පේනවා හොරයි.

"මී පැටියෝ, මොනවද ඔයා මගේ කළුගල උඩ ඉඳන් කරන්නෙ?" වලස්රජ ඇහුවා. 

කූඹියෙක්ට ඇහෙන තරමේ හීන් කටහඬකින් මී පැටියා: "ම... ම... මම මෙතැන මේ නිකන් ඉඳන් හිටියෙ. ඔබතුමා කවමදාවත් අහල නැති දෙයක් කියන්නයි මම හිටියෙ." එහෙම කියපු මී පැටියා විගහට කළුගලෙන් බැහැගෙන, බැහැගෙන ගිහින් වලස්රජගෙ කකුල් මැදින් දුවන්න පටන්ගත්තා.

එ්ත් මී පැටියා දුවල ගිහින් බේරෙන්න කලින් වලස්රජ එයාගෙ ගොරෝසු නපුරු අතින් මී පැටියව උස්සල ගත්තා. මී පැටියා දන්නවා ඊළඟට වෙන්න යන දේ. ඉතින් වලස්රජට තමාව ගිලගන්න ඉඩ දීලා මී පැටියා එයාගෙ ඇස් තදකරල වහගත්ත. එ්ත් බලන් ඉන්නවා, බලන් ඉන්නවා කිසිම දෙයක් වෙන්නෙ නෑ. බැරිම තැන මී පැටියා හිමින් සීරුවෙ එක ඇහැක් ඇරල බලල අනික් ඇහැත් ඇරියා. එතකොට මී පැටියා දැක්කෙ, වලස්රජු තමන් දිහා හිනාවීගෙන බලන් ඉන්න විදිහ. මී පැටියට හිතාගන්නවත් බෑ වෙන දේ ගැන. වලස්රජු හිනා වී ගෙන එයා දිහාම බලන් ඉන්නවා! 



"ඔයාට එහෙනම් රජතුමා වෙන්න ඕනේ?" වලස්රජ එයාගෙ ගෙරවිලි කටහඬින් ඇහුවා.

ඒත් බයෙන් හිටිය මී පැටියා වලස්රජුට කිසිම උත්තරයක් දුන්නෙ නෑ.

"ඔයාට රජ්ජුරුවෝ වෙන්නම ඕනෑ නම්, මෙතැන ඉඳගන්න එක හොඳයි." එහෙම කීව රජතුමා, මී පැටියව පරිස්සමින් උස්සල අරගෙන එයාග ඔළුව උඩ ඇලවෙලා තිබුණ ඔටුන්න මැදින් තිබ්බා. ඔටුන්න හයියෙන් අල්ලගත්ත මී පැටියා ඔටුන්නෙන් එළියට ඔළුව දාලා බැලුවා.

වලස්රජු ඇවිදින්න පටන්ගත්තා. රජතුමා තියන අඩියක් අඩියක් පාසා මී පැටියා ගැස්සෙනවා. එ්ත් මී පැටියා ඔටුන්න හයියෙන් අල්ලගෙන අවට වට පිටාවෙ සිරි නරඹනවා.

හිටපු ගමන් මී පැටියා හයියෙන් කෑ ගැහුවා: "නවතින්න!" වලස්රජු හිටිතැනම ගල්ගැහුනා. රජතුමා අඩිය තියන්න උඩට උස්සපු කකුලත් තාම එ් විදිහටම.

"ඔයා පඳුර උඩින් යන්න එපා. එතැන නරියා ඉන්නවා." මී පැටියා කීවා.

වලස්රජු බිමට නැමිලා බැලුවා. ඇත්ත නේන්නම්. නරියා එතැන ඇත්තටම ඉන්නවා. නරියාගෙ දිග මහත වලිගය නිසා රජතුමා නරියව අඳුන ගත්තා. වලස්රජු නරියව නොපාගා නරියට උඩින් ඉස්සරහට අඩිය තිබ්බා. 



"ස්තූතියි! මී පැටියෝ.." වලස්රජතුමා කීවා.

වලස් රජතුමයි, මී පැටියයි කැලෑවෙ ඉස්සරහටම යනවා.

"නවතින්න!" මී පැටියා ආයෙමත් කෑ ගැහුවා. වලස්රජතුමා හිටිතැනම ගල් ගැහුනා. රජතුමාගෙ කකුල තාමත් උඩට ඉස්සුව විදිහටම තියෙනවා.

"ඔය කොළගොඩ උඩින් අඩිය තියන්න එපා. එතැන ඉත්තෑවා ඉන්නවා."මී පැටියා කීවා.

වලස් රජතුමා ඉස්සරහට නැමිලා හොඳට බැලුවා. ඇත්ත නේන්නම්. ඉත්තෑවා එතැනනේ. ඉත්තෑවව නොපෑගෙන විදිහට ඉත්තෑවට උඩින් රජතුමා අඩිය තිබ්බා.

"ස්තූතියි! මී පැටියො" වලස්රජතුමා කීවා.

ඊටපස්සෙ දෙන්නම ඉස්සරහට ඇවිදගෙන ගියා.

හිටපු ගමන් මී පැටියා ආයෙමත්: "නවතින්න!" කියල බෙරිහන් දුන්නා. වලස්රජතුමා හිටිහ තැන හිටිය විදිහටම නතර වුණා.

"තවපොඩ්ඩෙන් ඔයා හාවාව පාගලා අඩිය තියනවා."

වලස් රජ්ජුරුවෝ බිමට නැමුරු වෙලා බැලුවා. ඇත්ත නේන්නම්. පෑගෙන්න ගිය නිසා තවමත් බයෙන් ගැහෙන හාවව රජතුමා දැක්කා. හිමින් සීරුවෙ හාවව උස්සල ගත්ත රජතුමා හා පැටියව පාරෙ අයිනකින් තිබ්බා. 

"ස්තූතියි! මී පැටියෝ" රජතුමා ආයෙමත් මී පැටියට ස්තූති කළා.

මී පැටියයි, වලස් රජතුමයි ආයෙත් ඉස්සරහට ඇවිදගෙන යනවා. මී පැටියා තවමත් රජතුමාගේ ඔටුන්න හයියෙන් අල්ලගෙන ඉන්නෙ.  

කැලෑවෙ වටේ රවුමක් ගියා රජතුමයි, මී පැටියයි ආයෙමත් රජතුමාගේ කළුගල ගාවට ආවා. තමන්ගෙ ඔටුන්න මැද හිටිය මී පැටියව අර පරිස්සමින් උස්සල ගත්ත වලස් රජතුමා මී පැටියව කළුගල උඩින් තිබ්බා. එ්කරලා මී පැටියා ළඟ නැමිලා මී පැටියට ආචාර කරා.

"මී පැටියෝ, අද දවසෙ ඇතුළත ඔයා මට නොසෑහෙන්න උදව් කරා. ඔයා කැමතිද මගේ රාජකීය සහායක වෙන්න?"

මී පැටියට එයා ගැන කියාගන්න බැරි තරමේ ආඩම්බරයක් දැනුණා. ඔළුව අහසට ඉස්සුව මී පැටියා "ඔව්, ඔව්.. මම කැමතියි" කියලා සතුටින් උත්තර දුන්නා. 


එකපාරටම වටින් පිටින් අත්පුඩි ඝෝෂාවක් ඇහුණා. වලස්රජතුමා පිටිපස්ස හැරිලා බැලුවා. කැලෑවෙ ඇතුළෙ ජීවත්වෙන හැම සතෙක්ම එතැන. ඉස්සරහින්ම ඉන්නෙ හාවයි, ඉත්තෑවයි, නරියයි.

"මී පැටියා අපේ වීරයා!" තුන්දෙනාම සතුට පළ කළා.

තමාට කැලෑවෙ රජ්ජුරුවො වෙන්න බැරිවුණත්, වීරයෙක් වෙන්න පුළුවන් වුණාට මී පැටියට තියෙන්නෙ කියා ගන්න බැරි තරම් සතුටක්.


කතාව: Ginette Thomas
සිතුවම්: Susan Varley
පරිවර්තනය: Muthu Paba

කතන්දරය බූන්දිය හරහා කියවන්නට: මී පැටියයි වලස් රජුයි

නෙතැඳි දසුනක්


දැල ඇඹුවො - දළඹුවන් සහ සමනළයින්

















පාට පාට
ලස්සන සමනළයින්ට 
කැමති
සමහරුන්මයි,
දළඹුවන්ට අකමැති.


2015.06.20