මී දුවගෙ විවාහය

ගොඩක් පොහොසත්, එ් වුණාට ආදරයෙන්, එකමුතුව ජීවත් වුණ මී පවුලක් හිටියා. මේ පවුලෙ එකම මී දියණිය හොඳ ගති ගුණ වලින් ගොඩක් පොහොසත්. එ්ක නිසා මී අම්මයි, මී තාත්තයි එයාලගෙ එකම දියණිය ගැන ගොඩක් ආඩම්බර වෙනවා.

දවසක් මී තාත්තා, මී අම්මට කීවා, "අපිට ඕනේ අපේ දුව මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා එක්ක අතිනත ගන්නවා දකින්න නෙමෙයිද?" 



මී අම්මා උත්තර දුන්නා, "උසස්ම කෙනා හොඳම කෙනා එහෙනම් ඉර වෙන්න ඕනෑ. ඉර අහසෙ මුදුනෙ ඉඳන් මුළු ලෝකෙම එළිය කරනවා.."

ඉතින් දවසක් මී අම්මයි, මී තාත්තයි ඉර මුණගැහෙන්න ගියා.

"ඉර, අපි ආවෙ වැදගත් දෙයක් ඔයා එක්ක කතා කරන්න. ඔයාට පුළුවන්ද අපිට ටිකක් ඇහුම්කන් දෙන්න.. මේ ලෝකෙ ඉන්න උසස්ම පුද්ගලයා ඔයයි. ඔයා කැමතිද අපේ දුව එක්ක විවාහ වෙන්න. අපේ දුව ගුණ යහපත්කම් වලින් පිරිපුන් අවංක කෙනෙක්. අපිට ඕනෙ එයාට මේ ලෝකෙ ඉන්න උසස්ම මනමාලයාව හොයල දෙන්න.."

ඉර උත්තර දුන්නා. "හ්ම්..... මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා මම නෙමෙයි. එ් තමා වලාකුළ. මම කොච්චර මහන්සි වෙලා මුළු ලෝකෙම එළිය කරත් වැඩක් නෑ. වලාකුළක් ආව ගමන් මාව ඉබේටම හැංඟනවා.."

ඉරගෙන් වෙන්වුණ මී අම්මයි, මී තාත්තයි වලාකුළ හම්බෙන්න යන්න පිටත් වුණා.



"වලාකුළ, අපිට දැනගන්න ලැබුණා මේ ලෝකෙ ඉන්න උසස්ම පුද්ගලයා ඔයා කියලා.. එ්කයි අපි ආවෙ ඔයාගෙන් අහන්න, අපේ එකම දුවව මනමාලියක් විදිහට බාරගන්න කැමතිද කියලා.."


"අනේ නෑ.. ! මම නෙමෙයි මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා.." වලාකුළ උත්තර දුන්නා. "මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා තමා සුළඟ.. මට පුළුවන් මුළු අහසම වසාගෙන පැතිරෙන්න. එ්ත් පුංචි හරි හුළඟක් හැමුවොත් මගෙ සලකුණක්වත් ඉතුරු නොවී මාව ඈතටම ගහගෙන යනවා.."

වලාකුළෙන් සමුගත්ත මී අම්මයි, මී තාත්තයි ඊළඟට ගියා සුළඟ හම්බවෙන්න.

"සුළඟ. අපිට ආරංචි වුණා මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා ඔයා කියලා. ඔයා කැමතිද අපේ එකම දියණියගෙ අත ගන්න.. ?" 



"බොහොම ස්තූතියි, ඔයාලගේ කාරුණික ඉල්ලීමට.." සුළඟ උත්තර දුන්නා. "එත් මට වඩා උසස් කෙනෙක් මේ ලෝකෙ ඉන්නවනෙ.."

"කවුද එ්?" මී අම්මයි, මී තාත්තයි ඇහුවා.

"එ් තමයි බිත්තිය. මම කොච්චර වේගෙන් හැමුවත් මට බෑනෙ එයාව විනාශ කරන්න.."

මී අම්මයි, මී තාත්තයි බිත්තිය හම්බවෙන්න ගියා.


"බිත්තිය කරුණාකරලා අපේ දියණිය ඔයාගෙ මනමාලි විදිහට බාරගන්න.. අපිට ඕනෙ අපේ එකම දියණිය මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා එක්ක විවාහ වෙලා සන්තෝසෙන් ඉන්නවා දකින්න.."

"අනේ! අනේ! මී අම්මෙ.. මී තාත්තෙ.. ඔය දෙන්නට ගොඩක් වැරදිලා.." බිත්තිය උත්තර දුන්නා. "මේ බලන්න මං දිහා.. ඔයාලා එකමුතුවෙලා කරන වැඩ නිසා මාව හිල් වලින් පිරිලා.. මේ ලෝකෙ ඉන්න උසස්ම අය මීයො වෙන්න ඕනෙ"

"ඇත්තටම ඔය දේ මීට කලින් අපිට හිතුනෙ නෑනේ.." 


බිත්තියෙන් සමුගත්ත මී අම්මයි, මී තාත්තයි යන්න ගියෙ සිනාසෙමින්.

"බලන් යද්දි මේ ලෝකෙ උසස්ම අය අපිනෙ. අපි අපේ දුවව එහා ගෙදර මී පුතාට යෝජනා කරමු.. දෙන්නට දෙන්න කැමති වුණොත් එයාලා ජීවිත කාලෙටම සන්තෝසෙන් ඉඳීවි.."


ටික දවසකට පස්සෙ මී මනමාලියි, මී මනමාලයයි විවාහ වුණා. දවස් තුනක් තිබ්බ විවාහ උත්සවයෙන් පස්සෙ අලුත් ජෝඩුව අලුත් ගෙදරකට ගිහිල්ලා ගොඩක් සන්තෝසෙන් කල් ගෙව්වා.


[ජපන් ජන කතාවක් ඇසුරිනි.]

පරිවර්තනය: මුතු පබා

කතන්දරය බූන්දිය හරහා කියවන්නට: මී දුවගෙ විවාහය

එතකොටවත්..

 




















විනිවිද පෙනෙන
නුඹ සිත,
නොපෙනුණා සේ
හිඳිමි මම.

බලාපොරොත්තු
සාගරයක් කැටිවුණ
පහනක් නිතර,
දැල්වෙයි බුදුගෙයි
දිවා රෑ දෙක



2014.11.15

දොස් නගන්නේ කාටද?


එළඹෙන්නත් ප‍්‍රථම
සැඳෑ කළ,
හේමන්තය ගෙන එද්දි
අඳුර..

දොස් නගන්නේ කාටද
ඉරටද? හඳටද?



2015.11.15

නිදහස් කරනවද මසිත


කඳු තරම්
ගොඩ නම් ගැහෙයි
සොබා සිරි සර
වචන,
එකදු කවක්වත්
නොලිය
ණ.

සබද
නිදහස් කරනවද
මසිත,
අවසරයක් නැතිවම
සිතැඟි සේ
සිර කෙරුව?



2015.11.15

වෑයම



















යන්නමයි
වැර වෑයම
මද සුළඟටත්
ඈතටම ගසාගෙන

ඉතින් කොහොමද
සූළි සුළඟක්
ආවොතින්

දෑතක් ඇතිවෙයිද
නික්මී නොගොස්
වෑයමින්
නැවතෙන්න

2014.08.16 

(සන්නස.පහන් වැට - 2014 ඔක්තෝබර් කලාපය) 

සෝබන හිනහව
























දුරු කර අඳුර
පායද්දි දිමයුර අඹර
බලාඉන්නේ තරුරද

ඇබිති එළි බිංඳුවක්
ණයට හෝ ඉල්ලගෙන
සෝබනේට දිලිසෙන්න



2014.08.16

හිත් රිදුමකට පසු

























සන්නස.පහන් වැට - 2014 සැප්තැම්බර් කලාපය
ලක්බිම.මංජුසාව - 2016.08.21


කඩා වැටෙනා ප‍්‍රාර්ථනා




කඳුළට බැඳි පෙම
















පතනා පැතුම්  මියැදෙන විට වසන්තයේ
උණුසුම් සිහින වැලපෙන විට සිත් අහසේ
සිහිනෙන්වත් නුඹ පෙනෙන්නෙ නැති දිවියේ
කඳුළට බඳිමි පෙම් සැමදා හොර රහසේ

 
2005.12.05

ආයු බෝ වේවා!


කූඹියා සහ තණකොළපෙත්තා




















ගිම්හානයේ අපූරු දවසක තණකොළපෙත්තෙක් පිට්ටනියක තාලෙට පැන පැන හිටියා. බොහොම අමාරුවෙන් ධාන්‍ය වර්ගයක් උසුලගෙන ආ කූඹියෙක්, තණකොළපෙත්තට ආචාර කරමින් ඒ අසලින්ම කූඹි ගුලට යන්න ගියා.

තණකොළපෙත්තා කූඹියාට ආරාධනා කරා, එයත් එක්ක ඉඳගෙන කතා කරන්න එන්න කියලා. ඒ ත් කූඹියා ”මම සීත කාලයට ගන්න කෑම එකතු කරනවා.... ඇයි ඔයත් ඒ දේම නොකරන්නෙ....” කියා අසමින්, තණකොළපෙත්තගේ ආරාධනාව කරුණාවෙන් ප්‍රතික්ෂේප කරා.

” අයියෝ ! ඇයි සීත කාලය ගැන දැන් ඉඳලම ලතවෙන්නෙ? අපිට දැන් කෑම ඇතිවෙන්න තියෙනවනේ....” කියලා තණකොළපෙත්තා කූඹියාට කීවා. ඒ ත් කූඹියා නතර නොවී ධාන්‍ය බර උසුලගෙනම, එයාගෙ පාරෙ දිගටම යන්න ගියා.


















අන්තිමට සීත කාලය උදා වුණාම, තණකොළපෙත්තට බඩගින්නේ මැරෙන තරමටම අමාරු වුණා. එතකොට එයා දැක්කා කූඹි, එයාලගේ ගබඩාවෙ තැන්පත් කරපු ධාන්‍ය බෙදාහරින විදිහ. 

ඉතින් තණකොළපෙත්තා තේරුම් ගත්තා අවශ්‍යතාව දැනෙන දවස් වලට, පෙර සිටම සුදානමින් සිටීම නුවණට හුරුවග.



පරිවර්තනය: මුතු පබා 


කතන්දරය බූන්දිය හරහා කියවන්නට: කූඹියා සහ තණකොළපෙත්තා

වෙනස(ක්)



එතැන මෙතැන
දෙතැන
මෙදින
එදින තිබුණ
හිත්,
එක තැන.


2012.01.29

අනංසි සහ නුවණ


අනංසි කියන්නෙ ගුරුවරයෙක්. මේ ගුරුවරයා දවසක් කල්පනා කරා එයාට වඩා දක්ෂ කෙනෙක් මේ ලෝකෙ හිටියොත්, එයාට මොනවා වෙයිද කියලා. මොකද අනංසි කැමති වුණේ නෑ එයාට වඩා දක්ෂ කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා දකින්න. ඒකනිසා අනංසි හිතුවා, මුළු ලෝකෙම තියෙන නුවණ කොහොම හරි එයාගෙ අතට ගන්න ඕනැ කියලා.

ඉතින් ඔන්න අනංසි ලෝකෙ වටේම ගියා නුවණ හොයාගෙන. අනංසිට විවිධ පැති වලින් විශේෂ නුවණක් තියෙන ගොඩක් මිනිස්සු හම්බවුණා. ඒත් ඒ හැමෝම අනංසි ගේ නුවණට පරාද වුණා. අනංසි එයාට මුණගැහෙන මිනිස්සු එක්ක ගොඩක් හොඳින් සුහදව කතා කරලා, කොහොම හරි එයාලගේ නුවණ, එයා අතේ තිබුණ ලබු වර්ගයකින් හැදුව කූඩෙට දාලා වැහුවා.

ලෝකෙ වටේ ගිහින් ගෙදර ආව අනංසි ඊළගට හිතුවෙ, නුවණ පිරිල තියෙන මේ කූඩෙ හංඟන්න පුළුවන් තැනක් ගැන. අනංසිට කල්පනා වුණා, එයාගෙ ගෙදර ළඟම තියෙන කොට්ට පුළුං ගහේ කූඩෙ හැංඟුවොත් හොඳයි කියලා.

ඊටපස්සෙ ලණුවක ආධාරයෙන් කූඩෙ බෙල්ලෙ එල්ල ගත්ත අනංසි, ගහට නගින්න පටන් ගත්තා. ඒත් බෙල්ලෙ එල්ල ගත්ත කූඩෙ, ගහට නගින අතරවාරයේදී, අනංසිගෙ බඩ උඩ එහාට මෙහාට පැද්දෙන්න පටන් ගත්ත නිසා, අනංසිට ගහට නගින්න අපහසු වුණා. ඒකනිසා ගහේ මැද්දට ආව අනංසිව ඒ හැම වෙලේම ගහෙන් බිමට ලිස්සලා වැටුණා.


ඉතින් ගහේ මුලට වෙලා ගහ උඩටම නගින්න පුළුවන් විදිහක් ගැන, කල්පනා කරමින් හිටිය අනංසිට, එයාගේ සත්හැවිරිදි පුතා කතා කරලා මෙහෙම ඇහුවා....

”ඇයි තාත්තා ඔය කූඩෙ පිටේ එල්ල ගන්නෙ නැත්තෙ ? එහෙම එල්ල ගත්ත නම් තාත්තට විනාඩියෙන් ගහට නගින්න පුළුවන්නෙ ? ”

ඒ කතාව ඇහුණ අනංසි එයාගේ පුංචි පුතා දිහා පුදුමයෙන් බලලා මෙහෙම කීවා....


”මම මුළු ලෝකෙම වටේ ගියත් මගේ පුතාට මට වැඩිය මොළේ තියෙනවා.”

ඊටපස්සෙ අනංසි එයාගෙ බෙල්ලෙ එල්ලල තිබුණ නුවණින් පිරි කූඩෙ ගලවලා, තරහෙන් ඈතට විසික් කරා. බිමට වැටුණ කූඩෙ කෑලි වලට කැඩිලා ඒක ඇතුලෙ තිබුණ නුවණ ලෝකෙ වටේටම ඉගිලිලා ගියා.

දෙමව්පියන්ගෙ ගතිගුණ, හැකියාවන් වගේම නුවණත් දරුවන්ට පිහිටන බව අනංසිට අමතක වුණත්, ඔන්න පොඩිත්තනේ ඔයාලනම් ඒ බව අමතක කරන්න එපා. 



පරිවර්තනය: මුතු පබා

කතන්දරය බූන්දිය හරහා කියවන්නට: අනංසි සහ නුවණ 


දන්නවද..


එක ලපයා වාසනා

වසන්නතය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි, පුංචිම පුංචි හරිත දම් ලපළු අතු ඉති වලින් මතු වෙද්දි, සුදු පාට ලස්සන ඬේසි මල් තණකොළ අතරින් පතර පීදෙද්දි, පුංචිම පුංචි කුරුමිණියො අවදි වෙනවා. උන් කෑම හොයන්නට කොළ අතරින් පතර එහෙට මෙහෙට යනවා. එහෙමත් නැතිනම් සෙල්ලම් කරනවා. 

ඒත් එක කුරුමිණියෙක් විතරක් කොළයක් උඩට වී, හෙල්ලෙන්නෙවත් නැතුව නින්ද ගියා සේ ඉන්නවා. ඒත් ළං වෙලා හොඳ හැටි බැලුවොතින් නම් පෙනෙයි, පුංචි ඇස් ඇරිලා තියෙන ආකාරය. මිතුරු කුරුමිණියෝ සන්තෝසෙන් ඉපිලෙමින් හැංඟිමුත්තො කරනායුරු බලන් ඉන්නාකාරය.  

"අයියෝ! මට එක ලපයක් තියෙන නිසා මෙයාලා විහිළු කරනවා...." කුරුමිණියෝ රංචුවක් එකතුවෙලා කණපිට හරවපු ඒ කුරුමිණියා, බොහොම අමාරුවෙන් කෙලින් වෙන ගමන් දුකෙන් කියන්නට වුණා. 

"එක ලපයා අවාසනා.. එක ලපයා අවාසනා
හා.. හා.... හී.. හී..... හූ.. හූ...."


කුරුමිණි රංචුව එක ලපයක් තියෙන කුරුමිණියාට ඇහෙන්න හයියෙන් කවට ගීත කියන්න පටන් ගත්තා. ළඟට එන ලප හයක් තියෙන කුරුමිණියෙක් එක ලපයාව වේගයෙන් තල්ලු කරන්නෙ, කකුල් උඩට විහිදෙන ලෙස බිමට වැටෙන්නයි.  
ආයෙමත් කෙලින් වෙන එක ලපයා පුංචි අත්තටු විහිදගෙන, විහිළු තහළු කරන කුරුමිණියන්ගෙන් ඈතට පියාඹනවා.

එක ලපයාට ඕනෑ වුණේ කුරුමිණි රජ්ජුරුවන් ගාවට යන්නයි. ගිහින් අනෙක් කුරුමිණියන්ට ලප කීපයක් තියෙද්දි, තමන්ට විතරක් එක ලපයක් තියෙන්නෙ ඇයි කියල අහන්නයි. අත්තටු තෙහෙට්ටුවට පත්වුණ නිසා එක ලපයා බිමට ඇවිත් වැහුවා. කුහුල් සිතින් අවට වට පිටාව නරඹන්නට වූ එක ලපයා දුටුවේ දිග ගැඩවිල් පණුවෙක්.  

"ඔයා දන්නවද එක ලපයක් තියෙන තවත් කවුරු හරි?" කුරුමිණියා පණුවගෙන් ඇහුවා.

"මට එක ලපයක්වත් නෑ..."යි කීව පණුවා, ලස්සනට ඇකිලුණා. "බොරුනම් බලන්නකෝ...."යි කීව ඌ, පස් ඇතුලේ අතුරුදහන් වෙන විදිහ එක ලපයා පුදුමයෙන් බලන් සිටියා.


ටිකෙන් ටික ඉදිරියට ඇදුණ කුරුමිණියා ඊළඟට දුටුවේ සුදුපාට බෝලයක් උස්සගෙන යන කූඹියෙක්ව.  

"අනේ! ඔය සුදු ලපය මට දෙනවද?" එක ලපයා කූඹියාගෙන් ඇහුවා.  

"අනේ.. පුංචි යාළුවේ, මේ කූඹි බිත්තරයක්නේ...."යි කියා සිනාසුණ කූඹියා, කඩිසරව ඉස්සරහට ගියා. 

නොනැවතී ඉදිරියට ඇදුණ එක ලපයාට රෝස සුවඳ දැනෙන්නට වුණා. 

‘ඔය සුවඳ එන්නෙ රෝස මාළිගාවෙන් වෙන්න ඕනෑ.... ’එක ලපයාට සිතුණා.  

ලස්සනම ලස්සන රතුරෝස මලක් උඩයි වයසක රජතුමා ජීවත් වුණේ.. ගොඩක් ලප තිබුණ මේ රජතුමා හොඳට දන්නවා, මල්පැල වලට සාත්තු සප්පායම් කරනායුරු. රජතුමාගේ සේවක කුරුමිණියෝ ඒ සඳහා රජතුමාට උදව් පදව් කරනවා.  

කොහොමහරි කටු වලින් පිරුණ ශක්තිමත් රෝසගහ ළඟට එක ලපයා සේන්දු වුණා. විශාල රෝසකටු අතරින් පරිස්සමට එක ලපයා ගහ මුදුණට නගින්නට වුණා. අතර මගදි තවත් කුරුමිණියො රාශියක් එක ලපයාට හමුවුණා. උන් එක ලපයා දිහා පුදුමයෙන් බැලුවා.  

සෑහෙන වෙලාවකට පසු, සුවඳ හමන රතුරෝස මල ළඟට එක ලපයා පැමිණියා. 

රජතුමා ඉදිරියට පැමිණි එක ලපයා ගරු සරුව නැමී: "රජතුමනි.... ඔබතුමා දන්නවද මට විතරක් ඇයි එක ලපයක් තියෙන්නෙ කියලා..?" යි ඇසුවා.  

"එක ලපයක්? ඒක කොයි තරම් පුදුමයක්ද!?" රජතුමා සන්තෝසෙන් උදම් වැනුවා. "ඔයා විතරයි මුළු කුරුමිණි ලන්තයේම ඉන්න එක ලපයක් තියෙන කුරුමිණියා...." යි කීව රජතුමා, රෝස පඳුරේ සියලුම කුරුමිණියන්ට පෙනෙන්නට එක ලපයාව උඩට ඉස්සුවා.
  
එක ලපයාව දුටු කුරුමිණි සේවකයෝ තාලෙට ගයන්නට වුණා.  

"එක ලපයක් එක ලපයක්
හරිම හැඩයි හරි පුදුමයි
එක ලපයා වාසනා
එක ලපයා වාසනා" 


රජතුමා සහ එක ලපයා උන් තැනට කුරුමිණියෝ ඉක්මණින් පියාඹගෙනද, තවත් සමහරෙක් කඩිසරව ඇවිදගෙනද එන්න පටන් ගත්තා. එක ලපයා ඉදිරියේ බාගෙට නැමුණු ඒ කුරුමිණියෝ කකුලක් දී එක ලපයාට සුබ පතන්නට වූණා.  

"එක ලපයක් තියෙන රතු කුරුමිණියෙක්.... හරි පුදුමයි...."උන් එකිනෙකාට මුමුණන්නට වුණා.  

විහිළු තහළු කරමින් එක ලපයාව කොන් කරපු කුරුමිණි රංචුවටත් මේ පුවත ඉක්මණින් ආරංචි වුණා. රජතුමාගේ මාළිගාවේ සැඳෑ සාදයට ඒ කුරුමිණි රංචුවට ද ආරාධනා ලැබුණත්, ලැජ්ජාව නිසා උන් මාළිගාවට ගියේ නෑ. ලැජ්ජාව කොච්චරද කියනවනම් ඒ කුරුමිණි රංචුව මුළු දවස තිස්සෙම ඇවිද්දෙ රෝස කොළයක් යට හැංඟිලායි. 

මාළිගාවේ සියලුම කුරුමිණියෝ ගී ගය ගයා රවුමට නැටුවා. එක ලපයාත් ගොඩක් සන්තෝසෙන් සහ ආඩම්බරෙන් අනෙකුත් කුරුමිණියන් හා නටන්නට ගයන්නට වූණා. ඒ විතරක් නෙමෙයි එක ලපයාව රජතුමාගේ සේවක කුරුමිණි හවුලටත් බඳව ගත්තා. රජතුමාට සේවය කිරීම ගරු නම්බුවක් විදිහටයි, කුරුමිණි ලන්තයේ හැමෝම සැලකුවේ.  

එදා ඉඳන් රතුරෝස මාළිගාව තවත් දිලිසි දිලිසි සුවඳ හමන්නට රෝසපෙති සුද්ද පවිත‍්‍ර කරන අනෙක් සේවක කුරුමිණියන්ට, එක ලපයාත් උදව් කරනවා. 
 


කතාව: Evenlien van Dort | එවලින් ෆන් දොර්ත්
සිතුවම්: Gerda Westerink |ගෙර්දා වෙස්ටරින්ක් 
පරිවර්තනය: මුතු පබා

 
කතන්දරය බූන්දිය හරහා කියවන්නට: එක ලපයා වාසනා

....

The morning dewdrops
are smiling & enjoying
in the absence
of snow angels.



2014.02.20

ඇයි නිල් අහස එච්චර දුර. .?





















හිතාගන්නවත් බැරි තරම් ගොඩක් ඉස්සර කාලෙක අහස අද වගේ ගොඩක් දුරින් තිබිල නෑ. කොටින්ම කීවොත් බංකුවක් හරි පුටුවක් හරි උඩට නැගලා, අත් අහසට ඉස්සුවොත්, අල්ලන්න පුළුවන් වෙන තරමට පහතින් තමයි අහස තිබිලා තියෙන්නෙ. 

ඉතින් ඒ කාලේ කොහොමත් පහතින් පිහිටලා තියෙන සිතිජ මායිමේ ගමක් තිබුණා. ඒ ගමේ තිබුණා පිදුරු සෙවිලි කරපු පුංචි මැටිගෙයක්. වකුටු වෙච්ච ආච්චි කෙනෙක් තමයි ඒ ගෙදර ඉඳලා තියෙන්නෙ.

ගමේ හිටිය වයසම ගෑණුකෙනත් මේ ආච්චි. සමහරවිට ඒ කාලේ මුළු ලෝකයේම හිටිය වයසම ගෑනුකෙනත් මේ ආච්චි වෙන්න පුළුවන්. කිසිම නෑදෑයෙක්වත් යාළුවෙක්වත් හිටියෙ නැති නිසා මේ ආච්චි, ඒ ගෙදර ජීවත් වෙලා තියෙන්නෙ තනියම. වෙන යන්න එන්න තැනක්වත්, කතා කරන්න කවුරුත්වත් මේ ආච්චිට තිබුණෙවත් හිටියෙවත් නෑ. ඒ නිසා මුළු දවස පුරාවටම වකුටු ආච්චි කරේ, ගෙදර වටේ කැරකි කැරකී, ගෙදර හැම අස්සක් මුල්ලක්ම පිරිසිදු කරන එක. පස් හෑරෙන්න බිම පහුරු ගාන එක. පහුරු ගාපු තැන් ආයෙමත් අතුගාන එක. එහෙමත් නැත්නම් දූවිලි පිහිදාන එක. ඒ කොණෙන් මේ කොණට, මේ කොණෙන් ඒ කොණට ආයෙ ආයෙමත්, ආයෙ ආයෙමත් අතුගාන එක. කොටින්ම කීවොත් අතුගාන්නයි, පහුරුගාන්නයි අලුත් ක‍්‍රම ගැන හිතුවා ඇරෙන්න, මේ ආච්චි කරපු වෙන කිසිම දෙයක් නැති තරම්. 

උදා වුණු එක් ගිම්හාන ඍතුවකදී; මේ මුළු ගම ම වතුර පොදක් නැතුව ලොකු පිපාසයකින් ගිලෙන්නට වුණා. බලන බලන හැම අතම දකින්න ලැබුණ එකම දේ සැර දූවිල්ල. ගස් වසාගත්ත දූවිල්ල. ගෙවල්වල, පැල්පත්වල, වහලවල් වසාගත්ත දූවිල්ල. මිනිසුන්ගේ උගුරු, ඇස් වලට වදයක් වුණු දූවිල්ල. කොටින්ම කීවොත් මුළු වාතයම දූවිල්ලෙන් වැසිලයි තිබුණෙ. මේ දුවිල්ල නිසා ගම්වාසීන් එන්න එන්නම දුර්වල වුණා. දකින දකින හැම තැනම, කවුරු හරි කෙනෙක් කහිනවා. එහෙමත් නැත්නම් කිඹුහුම් අරිනවා. අඩුම ගානේ අහසටවත් බැරිවුණා දූවිල්ලෙන් බේරිලා ඉන්න. අහස, පොළොවට ගොඩක් කිට්ටුවෙන් පිහිටල තිබුණ නිසා, හමා යන සිහින් සුළඟකට පවා; වේළිලා, කේඩෑරි වෙලා තිබුණ ගමෙන් එන දූවිලි හුළඟට, අහසත් කහින්න පටන්ගත්තා.  

වකුටු ආච්චිගෙ මැටි ගෙදරත් සම්පූර්ණයෙන්ම දූවිල්ලෙන් වැසිලයි තිබුණෙ. ඉතින් ආච්චි ඉලපතෙන් එයාගේ පුංචි පැල්පත, අතුගෑවා, අතුගෑවා, අතුගෑවා, ඉවරයක් නැතුවම අතුගෑවා. ආච්චි එයාගේ ගේ ඇතුල අතුගෑවා. ගෙදරින් පිටත අතුගෑවා. ගේ පඩිය අතුගෑවා. ගෙමිදුල අතුගෑවා. ඉතින් දූවිල්ල මැකෙනවාට වැඩිය, එන්න එන්නම දූඹුරු ගැහිච්ච වළාකුළු වෙලා පොළොවෙන්, උඩට මතු වුණා.  

ආච්චිගේ අතුගෑවිල්ල නිසා අලුතෙන් මතුවෙන දූවිල්ලට, අහස තව තවත් දුර්වල වෙන්න පටන් ගත්තා. සැර දූවිල්ල අහස් නහයට ගිය නිසා අහස කිඹුහුම් ඇරියා. ඒ ඇරියෙත් එසේ මෙසේ කිඹුහුම් නම් නෙමෙයි. මුළු ලෝකයම හෙල්ලෙන තරමේ ගිගුරුම් දෙන කිඹුහුම්. ඒ සද්දෙට බය වුණු මිනිස්සු අත්දෙකින්ම එයාලගෙ කන් වහගෙන ගෙවල් ඇතුළට දිව්වා. ඒත් වකුටු ආච්චිට විතරක් මුකුත් ඇහුණෙ නෑ. ඒ නිසා එයා දිගටම අතුගෑවා.  

ඉතින් දූවිලි සැරට අහස තවත් කිඹුහුමක් ඇරියා. උහුලගන්නම බැරිවුණ තැන අහසෙ ඇස් වලින් කඳුළු බිඳු, වේලිල තිබුණ පොළොවට වැටෙන්න ගත්තා. වකුටු ආච්චි අතු ගගා හිටිය කොටසටත් විශාල ලපයක් තරම් වැහි කඳුළක් වැටෙනකල්ම, ආච්චිට කිසි දෙයක් දැණුනෙ නෑ. අහස දිහා රවලා බලපු ආච්චි ඒ ලොකු කඳුළු බිංඳුව මැකෙනකල්ම බිම පහුරු ගෑවා. අහසින් වැටෙන කඳුළු, වකුටු ආච්චිට උහුලගන්න බැරිවුණා. කෙළින් කරගන්න පුළුවන් තරම් කොන්ඳ කෙළින් කරගත්ත ආච්චි, එයාගෙ හැරමිටිය අහසට දික්කරලා, ගෙදර පඩිය උඩ වැහි කඳුළින් තෙමන්න එපා කියලා කෑ ගැහුවා. අහසට තර්ජනය කළා.

ඒත් වකුටු ආච්චිගේ අතුගෑවිල්ල නිසා, ඇවිස්සුණු දූවිල්ලෙන් වැහිල තිබුණ අහසෙ ඇස් වලට, කඳූළු නවත්ත ගන්න බැරිවුණා. ඒ නිසා හොඳටම තරහ ගත්ත වකුටු ආච්චි, එයාගෙ ඉලපත ඇදල අරන්, අහසට හයියෙන් පහරක් ගැහුවා. එතකොට තවත් හයියෙන් කිඹුහුමක් ඇරිය අහස ටිකක් උඩට පැන්නා. ඒත් වකුටු ආච්චි එයාගෙ ඉලපතෙන් අහසට ගහන එක නතර කරන්නෙ නැතුව, තව තවත් හයියෙන්, අහසට ගහගෙන ගහගෙන ගියා.  

වකුටු ආච්චිගෙ සැර වේගවත් පහරවලුත්, විශේෂයෙන් ආච්චිගෙ ඉලපතේ රැඳිලා තිබුණ දුහුවිල්ලත්, අහසට තවත් නම් උහුලගන්න බැරි වුණා. ඒ නිසා අහස එක දිගට කැස්සා, ගිගිරුම් දිදී කිඹුහුම් ඇරියා. නොනවත්තවා හොඳටම ඇඬුවා. බැරිම තැන කාටවත්ම කවදාවත් අල්ලන්න බැරි තරම් ගොඩාක් දුර ඈතට පියාඹලා ගියා.

ඉතින් ඔන්න ඔහොමලු අහස අද අපෙන් වෙන්වෙලා ගොඩක් දුර ඈත ඉන්නෙ. සිතිජය වුණත් පොළොවට ගෑවෙන්න වගේ තිබුණට, ඒකත් ඉතින් බොරු මායාවක් බව හැමෝම දන්න ප‍්‍රසිද්ධ රහසක්නෙ.  


[බෙංගාලි ජන කතාවක් ඇසුරෙනි. ]

පරිවර්තනය: මුතු පබා  
 
කතන්දරය බූන්දිය හරහා කියවන්නට: ඇයි නිල් අහස එච්චර දුර. .?

දූවිලි මල් :S


මා'කුරු
ඔබේ නෙත 
ගැටේ දැයි 
නොදනිමි 

ඒත් 
ලියා තබනු 
රිසියෙමි 

දූවිලි අවුස්සන 
වැස්සේ කතාව 

.. 
... 
රෙද්දක් 
ඕනේ එකක් 
මට තේරෙන්නෙ නෑ
ඉතුරු ටික.

....















හොර වැඩක් කරන්නට 
හඳ බලන් ඉඳී 
වළාකුළු එනකල්
හැංඟෙන්න. 

එය දැනගත්තාම 

වාගේ, 
වළාකුළු ටැග් ගැහී; 
පා නොවී
එක තැනම.

සූරියකාන්තා

උයන් වතුවල රත්තරන් පාට සූරියකාන්තා මල් පිපෙන්නට ගොඩක් ඉස්සර කොළම කොළපාට රටක් පාලනය කරපු රජතුමෙක් හිටියා. ඉතින් මේ රජතුමාට හිටියෙ එකම එක දියණියයි. 

වසන්ත කාලයට පිපෙන ලස්සනම ලස්සන මලක් වගේ මේ කුමාරිකාවත් බොහෝම ලස්සනයි. ඒත් මේ කුමාරිකාව කවමදාවත් කා එක්කවත් විවාහ වෙන්නට අකමැති නිසා පියරජතුමා හිටියෙ ගොඩක් දුකෙන්. 

කුමාරිකාවට ගැලපෙන කුමාරයින් කොච්චර හිටියත් ඒ එක්කෙනෙක්ටවත් කැමති වුණෙ නෑ. ඒ විතරක් නෙමෙයි සුදු කළු දුප්පත් පොහොසත් වෙන කිසිම කෙනෙක්ට ඇය කැමති වුණෙ නෑ. පියරජතුමා ඇය එක්ක ඒ ගැන කතා කරන හැම වෙලේම ඇය කීවෙ, ”මම ආදරේ හිරුට විතරමයි” කියලා.

ඔන්න දවසක් පියරජතුමාට කුමාරිකාව එක්ක හොඳටම තරහ ගියා. තරහ ගිහින් කීවා, ”එහෙනම් ගිහින් හිරුත් එක්කම විවාහ වෙන්න. හැබැයි මින් පස්සෙ මට පේන්න එන්න එපා ” කියලා.

ඉතින් පියරජතුමාගේ කතාවට දුක හිතුණ කුමාරිකාව, හිරු හොයන්න යන්න පටන් ගත්තා. කුමාරිකාව හිරුව හොයාගෙන හැම වෙලේම ගියේ හිරු නැගෙන පැත්තටමයි. වනාන්තර කාන්තාර දියඇලි කඳු පහුකරගෙන කුමාරිකාව ඉදිරියටම ගියා.

ඉතින් ඔන්න මෙහෙම ගොඩක් දුර ආව කුමාරිකාව අන්තිමට, උස කන්දක් මුදුනෙ හදල තිබුණ හිරුගෙ මාලිගාවට ආවා. ඒත් ඒ වෙලාවෙ මාලිගාවේ හිටියෙ හිරුගෙ අම්මා විතරයි.

කුමාරිකාව දැක්ක හිරුගෙ අම්මා ඇගෙන් මෙහෙම ඇහුවා ”දුවේ ඔයා මොනවද මෙහෙ කරන්නෙ” කියලා.  

”මම හොයන්නෙ හිරුකුමාරයාව” කුමාරිකාව හෙමිහිට උත්තර දුන්නා.

”දුව එන්නෙ කොහෙ ඉඳලද” ආයෙමත් හිරුගෙ අම්මා කුමාරිකාවගෙන් ඇහුවා. 

එතකොටම දුකින් බිම බලාගත්ත කුමාරිකාව පියරජතුමා ඇයව මාලිගාවෙන් පිටමං කරපු හැටි විස්තර කළා. ඉතින් ඒ කතාව ඇහුව හිරුමවට කුමාරිකාව ගැන ගොඩක් දුක හිතිලා මෙහෙම කීවා.  

”දුවේ මම ඔයාට හිරුකුමාරයා එක්ක විවාහ වෙන්න අවසර දෙන්නම්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනි. හිරුකුමාරයා එක්ක සදහටම ජීවත් වෙන්න ඕනි නම් කවදාවත්ම හිරුකුමාරයා දිහා බලන්න එපා. එහෙම බැලූවොතින් දුවට නපුරක් වෙන්න ඉඩ තියෙනවා. ”


කුමාරිකාවත් හිරුගෙ අම්මා ට පොරොන්දු වුණා කවමදාවත් හිරු දිහා බලන්නෙ නෑ කියලා. 

ඉතින් ඔන්න ටික කාලයක් කුමාරිකාව ගොඩක් සතුටින් හිරුත් එක්ක ජීවත් වුණා. හැබැයි කවමදාවත් හිරු දිහා බැලූවෙ නම් නෑ. ඒත් හිමීට හිමීට දවස් ගෙවෙනකොට කුමාරිකාවට එයා ගැනම දුක හිතුනා. 

කුමාරිකාවගේ මේ වෙනස තේරුම් ගත්ත හිරුගෙ අම්මටත් ඇය ගැන ගොඩක් දුක හිතිලා දවසක් මෙහෙම කීවා.
 

”මම දන්නවා දුව ඉන්නෙ ගොඩාක් දුකින් කියලා. දුවට හිරුව බලන්නම ඕනි නම් වතුර වීදුරුවක් හොරෙන් ඔහු ඉදිරියෙන් තියලා ඒක ඇතුළෙන් ඔහුව බලාගන්න. හැබැයි දුවේ වැඩි වෙලා බලන් ඉන්න ගියොත් ඒ බව මගේ පුතාට දැනේවි. ඊට පස්සෙ දුවට නපුරක් වෙන්න බැරි නෑ. ”

ඉතින් ඔන්න කුමාරිකාව හිරුගෙ අම්මා කීව විදිහට සියල්ල කරන්න සුදානම් වුණා. රෑ වෙලා ගෙදර ආව හිරු ඉදිරියෙන් වතුර වීදුරුවක් තිබ්බ කුමාරිකාව ඔහු දෙස හොරෙන් බැලූවා.  

හිරුගෙ ලස්සන මූණ දිහා බලන් හිටපු කුමාරිකාවට හිරුගෙ අම්ම දුන් අවවාදය අමතක වුණා. ඒ නිසා දිගින් දිගටම ඔහු දෙස බලාගෙනම හිටියා. තමන් දිහා කුමාරිකාව හොරෙන් බලන් ඉන්න විදිහ දුටු හිරුට හොඳටම කේන්ති ගියා. 

හිරුට කොච්චර කේන්ති ගියාද කියනවනම් එයා කුමාරිකාවට කෑ ගහල බැන්නා.

”ඔයාට කීකරු වෙන්න බැරිනම් මම තවත් ඔයාව මේ ගෙදර තියාගන්න කැමති නෑ. ”

එහෙම කියපු හිරු, කුමාරිකාව ගෙදරින් පිටමං කළා.

ඉතින් කුමාරිකාව ගොඩක් දුකින් හිරු මාලිගාවෙන් එන්න ආවා. ගස් ගල් පහු කරන් යන ඇගේ රෝසපාට කම්මුල් දිගේ කඳුළු පේළි ගලාගෙන ගියා. 

හැබැයි ඔන්න කුමාරිකාවට වැඩිය දුර යන්න ලැබුණෙ නෑ. හිරුටත් කුමාරිකාව ගැන දුක හිතුණා. ඊටපස්සෙ හිරු කුමාරිකාව, ඇය හිටිය තැනම උස ගහක පිපුණු ලොකු කහපාට මලක් බවට පත්කළා. 

ඉතින් එදා ඉඳල මේ ලොකු කහපාට මල හිරු පායනකොට ඔහු දිහා බලනවා. හිරු නිවෙනකොට ඇගේ මූණත් සඟව ගන්නවා. ඒක නිසා හැමෝම ඒ කහපාට මලට කීවෙ 'සූරියකාන්තා' කියලයි.


පරිවර්තනය: මුතු පබා 

කතන්දරය බූන්දිය හරහා කියවන්නට: සූරියකාන්තා

තාවකාලික සිහිනය(ක)ට එරෙහිව

හිම නැති සීතල



















සිසිරයට
සුදුවට
අසිරි පා
බැබළෙන්න,
ඉඩ නොදෙන
හේමන්ත
;
අඬයි වරින් වර
හිත හිතා
බොරුවට
.


පෙම් සුවඳ



දේදුන්නේ පාට අරන්
සමනළයින් හැඩවෙන සඳ
මගේ සුවඳ එව්වෙමි මම 
සමනළයෙක් අත නුඹ හට


2005

ෆ්ලැමින්ගෝ වගතුග


















ෆ්ලැමින්ගෝ (රණහංසයා) කියන්නේ ලස්සන, රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත කුරුලු විශේෂයක්. ෆ්ලැමින්ගෝ ජාති හයක් ඉන්නවා. *‘ග්‍රේටර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, යුරෝපය, ආසියාව), *‘ලෙසර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, ඉන්දියාව), *‘චිලියන් ෆ්ලැමින්ගෝ’ (දකුණු ඇමරිකාව), *‘ජේම්ස් ෆ්ලැමින්ගෝ’ (දකුණු ඇමරිකාව), *ඇන්ඩීන් ෆ්ලැමින්ගෝ’ (දකුණු ඇමරිකාව) සහ *‘ඇමරිකන් ෆ්ලැමින්ගෝ’(කැරබියානු දූපත්). 

මේ ලිපියෙන් වැඩිපුර කියැවෙන්නේ ‘ඇමරිකන් ෆ්ලැමින්ගෝ’ ගැනයි. Phoenicopterus ruber කියන්නේ මොවුන්ගේ විද්‍යාත්මක නාමයයි. මේ ෆ්ලැමින්ගෝ විශේෂය අඩි 3 - 5 ක් උස වන අතර බර රාත්තල් 5 - 6 ක් පමණ වෙනවා. පිරිමි ෆ්ලැමින්ගෝ මදක් ගෑණු ෆ්ලැමින්ගෝ ට වඩා විශාලයි. මොවුන්ගේ අත්තටු සාමාන්‍යයෙන් රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත වන අතර, කකුල් රෝස පාටින් යුක්ත වෙනවා. හොටේ ආරම්භය සුදු පාටින් ද, හොට මැද රෝස පාටින්ද, හොට අවසන කළු පාටින් ද ලස්සනට හැඩවෙලා තියෙනවා. 

උතුරු ඇමරිකාවේ වනගතව ජීවත්වෙන්නේ ‘ඇමරිකන් ෆ්ලැමින්ගෝ’ විශේෂය විතරයි. ඔවුන් කැරබියානු දූපත් වන *බහමාස්, *කියුබාව සහ *හිස්පැනිඕලා, *ගැලපගොස් දූපත් සහ *මෙක්සිකෝවේ සමහර ප‍්‍රදේශ වලත් ජීවත්වෙනවා. 

වගුරු බිම්, විල් හෝ මද වශයෙන් වතුර ගැවසෙන ප‍්‍රදේශ සිය වාසභූමිය කරගන්නා මේ කුරුල්ලන් සමහර විට ජීවත්වෙන්නේ 10,000 වැනි විශාල රංචු වශයෙන්. 

ෆ්ලැමින්ගෝ ගොඩක් වෙලාවට වතුරේ හෝ මඩේ ඉන්නා, කුඩා සත්වයින්, කබලු මත්ස්‍යයින් වැනි දේ ආහාරය කොට ගන්නවා. සිය රෝසපාට වර්ණකය මොවුන්ට ලැබෙන්නේත් ඒ හේතුවෙන්.

නිතරම ජලය ආශි‍්‍රත ප‍්‍රදේශයන්හි එරි එරී ඇවිද්දත් මොවුන්ට ගොඩක් හොඳින් පියාඹන්නත් පුළුවන්. රංචු වශයෙන් පියාසර කරන මොවුන්, පියාසර කරන්නට ප‍්‍රථම දිවගොස් සිය වේගය එක් රැස්කර ගන්නවා.

ෆ්ලැමින්ගෝ එක කකුලකින් හිටගෙන ඉන්න හේතුව නම් විද්‍යාඥයින් පවා 100‍% ක්ම දන්නෙ නෑ. හැබැයි ඔවුන් අනුමාන කරන හේතු කීපයක් තියෙනවා. සමහර කියන්නේ එක කකුලක් උණුසුම්ව තියාගන්න ඕනැ නිසා කියලා. සිරුරට ආසන්නව එක කකුලක් තියාගෙන කකුල උණුසුම් කරන මේ ක‍්‍රමය, සීත කාලයට ගොඩක් ප‍්‍රයෝජනවත් වෙනවලු. තවත් අදහසක් තමා මාරුවෙන් මාරුවට හරි කකුල් වේලගන්න තියෙනවයි කියන උවමනාව. තම ගොදුරු පහසුවෙන් අල්ලගන්නත් පුළුවන්ලු එක කකුලකින් හිටගෙන හිටියාම. කකුල් දෙකෙන්ම හිටගෙන ඉන්නකොට වඩා එක කකුලකින් ඉන්නකොට, ඒ ඒක ගහක් වගේ පේන නිසා. එක කකුලකින් හිටගෙන ඉන්නා හේතුව කුමක් වුණත්, සැලකිය යුතු බරක් ඇති මේ කුරුල්ලන්, එක කකුලකින් සමබරව ඉන්නා අයුරු පුදුමයක් නෙමෙයිද? මොවුන් නිදාගන්නෙත් එක කකුලක් උඩට ඔසවාගෙන.

ෆ්ලැමින්ගෝ දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට අවුරුදු හයක් වැනි කාලයක් ආරක්ෂාව සපයනවා. අවුරුදු 40ක් පමණැති කාලයක් ජීවත්වෙන මේ කුරුලු විශේෂය බොහෝ කාලයක් ජීවත්වෙන කුරුල්ලන් අතරට අයිති වෙනවා. මඩෙහි සිය කූඩුව තනන මොවුන් වරකට බිහි කරන්නේ එක විශාල බිත්තරයක් පමණයි. එයට කුරුලු ජෝඩුවම වරින් වර උණුසුම සපයනවා. අපි‍්‍රකාවේ වෙසෙන ෆ්ලැමින්ගෝ විශේෂය ඇතැම් විට මිලියන එකක පමණ විශාල රංචුවකින් සමන්විතයි. ඒ තමයි ලෝකයේ විශාලතම කුරුලු රංචුව. ෆ්ලැමින්ගෝ හඬ පාත්තයන්ගේ හඬට සමානයි.




ෆ්ලැමින්ගෝ නර්තනයක යෙදෙන අයුරු


[අන්තර්ජාලය ඇසුරෙන්]

මුතු පබා


ලිපිය බූන්දිය හරහා කියවන්නට: ෆ්ලැමින්ගෝ වගතුග

*ග්‍රේටර් ෆ්ලැමින්ගෝ|Greater Flamingo, ලෙසර් ෆ්ලැමින්ගෝ| Lesser Flamingo, චිලියන් ෆ්ලැමින්ගෝ|Chilean Flamingo, ජේම්ස් ෆ්ලැමින්ගෝ|James's Flamingo, ඇන්ඩීන් ෆ්ලැමින්ගෝ|Andean Flamingo, ඇමරිකන් ෆ්ලැමින්ගෝ|American Flamingo.

*බහමාස්|Bahamas, කියුබාව|Cuba, ගැලපගොස් දූපත්|Galapagos Islands, හිස්පැනිඕලා|Hispaniola, මෙක්සිකෝ|Mexico

හිමට මිතුරු සුදු හිම මල



ඔන්න පොඩිත්තනේ, හැම දෙයකටම පාටක් තිබුනලූ හිම වලට ඇරෙන්න. පොළොව දුඹුරු පාටින් තිබුණා. තණකොළ කොළපාටින්, රෝස මල් රතුපාටින්, අහස නිල්පාටින් වගේම ඉරත් රත්තරන් පාටට හිටියලූ. ඉතිං හිම වලට විතරක් පාටක් තිබුණෙ නැති නිසා හිම හිතුවා පාටක් තියෙන හැමෝගෙන්ම පාට පොඞ්ඩ පොඞ්ඩ ඉල්ල ගන්න.

ඉතිං හිම ඉස්සෙල්ලාම ගියේ පොළොව ලඟට. ගිහින් ඇහුවා ” මට ඔයාගෙ දුඹුරු පාටින් පොඞ්ඩක් දෙනවද ?”

ඒත් පොළොව නිදාගෙන හිටිය නිසා කිසිම උත්තරයක් දුන්නෙ නෑ.

ඊට පස්සෙ හිම ගියා තණකොළ ගාවට. ගිහින් ඇහුවා ” මට ඔයාගෙ කොළ පාටින් පොඞ්ඩක් දෙන්න පුළුවන්ද ?”

ඒත් තණකොළ ලෝබකමට කිසිම දෙයක් ඇහුනෙ නෑ වගේ හිටියා.

ඊට පස්සෙ හිම ගියා රෝසමලක් ගාවට. ” අනේ ඔයාවත් මට ඔයාගෙ රතු පාටින් පොඞ්ඩක් දෙනවද?” .

හිම රතු රෝස මල ලඟට ගිහින් බොහොම දුකෙන් ඉල්ලා හිටියා. ඒත් රෝසමල අහංකාරකමින් අහක බලා ගත්තා.

හිම ගොඩක් දුකින් කෑගහල අහසින් ඇහුවා ” මට ඔයාගෙ නිල් පාටින් පොඞ්ඩක් දෙනවද? ” ඒත් අහස ගොඩක් දුරින් හිටිය නිසා, හිම කියපු කිසිම දෙයක් අහසට ඇහුණෙ නෑ.

අනික් හැමෝගෙන්ම ඇහුවා වගේ ඉරෙනුත් ඇහුවා, ”හිරුකුමරි යේ මට ඔයාගෙ රත්තරං පාටින් පොඞ්ඩක් දෙන්න පුළුවන්ද ?”

ඒත් හිරුකුමාරි ගොඩක් වැඩ කර කර හිටිය නිසා, උත්තරයක් දෙන්න බැරි වුණා.

අන්තිමට හිම කැලෑවක් අයිනෙ හිටිය පුංචි සුදුපාට මලක් ලඟට ගිහින් ඇහුවා ”සුදුපාට මලේ ඔයාවත් මට ඔයාගෙ සුදු පාටින් පොඞ්ඩක් දෙනවද ?” කියලා.

”ඇත්තටම ඔව් . ඔයාට ඇති තරමක් ගන්න.” කියලා සුදුපාට මල කීවා.

හිම සුදුපාට මලෙන් සුදුපාට ටිකක් ගත්තා විතරයි හිමත් සුදුම සුදුපාට වුණා.

ඉතින් සුදුපාට මල කරපු ඒ උදව්ව නිසා, එදා ඉදන් හැමෝම ඒ සුදුපාට මලට කීවේ ”සුදුහිම මල” කියලයි. ඒ විතරක් නෙමෙයි ඒ දෙන්නා කොච්චර යාළුද කියනවානම් සීත කාලෙදී හිම වලට ඔරොත්තු දෙන එකම මලත් ”සුදු හිම මල” විතරයි.


පරිවර්තනය: මුතු පබා 


කතන්දරය බූන්දිය හරහා කියවන්නට: හිමට මිතුරු සුදු හිම මල

ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො!!!



දුර ඈත චීනයේ සහෝදරයින් දෙදෙනෙක් වාසය කළා. ඉන් බාලයාගේ නම චෑම්. පළමුවැන්නාගේ නම ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො! පළමුවැන්නාට පමණක් දිග නමක් දැමීම ඒ කාලයේ චීන ජනතාවගේ පුරුද්දක්. 

දවසක් මේ සහෝදරයින් දෙදෙනා ඔවුන්ගේ ගෙවත්තේ තිබුණ ළිඳ අසල සෙල්ලම් කරමින් සිටින අවස්ථාවක, 'චෑම්' ළිඳට වැටුණා. බයවුණ 'ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො'- කෑගසමින් අම්මා ළඟට දුවගෙන ගියා.  

අම්මේ.. අම්මේ.... ඉක්මන් ඉක්මන්.. චෑම් ළිඳට වැටුණා.. අපි මොනවද දැන් කරන්නේ.. ?"

"මොනවා...! චෑම් ළිඳට වැටුණා" අම්මා අඬමින් ඇසුවා. "යන්න යන්න.. දුවල ගිහින් තාත්තට කියන්න.."


අඬ අඬා තාත්තා ළඟට දුවගිය අම්මයි පුතයි, ලහි ලහියේ ඔහුට විස්තරේ කියන්නට වුණා.

"ඉක්මන් කරන්න.. චෑම් ළිඳට වැටිලා.. අපි දැන් මොකද කරන්නෙ..?"


"මොනවා චෑම් ළිඳට වැටුණා..?" තාත්තත් අඬමින් ඇසුවා. 


"දුවල ගිහින් මේ බව උයන්පල්ලාට කියන්න.."

 

ඊටපස්සෙ තුන්දෙනාම කෑගසමින් උයන්පල්ලා ළඟට දුවගෙන ගියා. 

"ඉක්මන් කරන්ඩෝ, ඉක්මන් කරන්ඩෝ.. චෑම් ළිඳට වැටිලෝ.. අපි දැන් මොකද කරන්නේ.. ?"

"මොනවා දෙයියනේ! චෑම් ළිඳට වැටුණා.. ?" අඬමින් අසන ගමන්, දිග ඉණිමගක් සොයාගත් උයන්පල්ලා එය රැගෙන ගොස්, වතුරෙන් තෙමී සීතලෙන් වෙව්ල වෙව්ලා, බයෙන් ගැහී ගැහී වුණත් තවමත් ජීවත් වීම පිළිබඳ සන්තෝසෙන් සිටි චෑම්ට ගොඩට එන්නට ඉණිමග ළිඳ ඇතුළට දැමුවා. 


ඉන් ටික කලකට පසු මේ සහෝදරයින් දෙදෙනා නැවතත් ගෙවත්තේ ළිඳ අසල සෙල්ලම් කරමින් සිටින අවස්තාවක, 'ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො' ළිඳට වැටුණා. බය වුණු චෑම් කෑගසාගෙන අම්මා ළඟට දිව්වා.

"අම්මේ.. ඉක්මන් කරනවදෝ.... ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳට වැටුණෝ.. අපි දැන් මොනවද කරන්නේ.. ?"


"මොනවා.. ?" අම්මා ඇඬුවා.. ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳට වැටුණා..? යන්න යන්න, දුවලා ගිහින් තාත්තට කියන්න.."

"හති දමමින් දිව්ව අම්මයි පුතයි තාත්තට විස්තරේ කීවා." 


"ඉක්මන් ඉක්මන්.. ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳ ඇතුළට වැටිලා. අපි දැන් මොකද කරන්නේ.. ? 
 

 

"ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳට වැටුණා?" තාත්තාත් ඇඬුවා. "යන්න යන්න, ඉක්මණින් දුවල ගිහින් මේ බව උයන්පල්ලාට කියන්න.." 

ඊටපස්සෙ තුන්දෙනාම කෑ ගසාගෙන උයන්පල්ලා ළඟට වේගයෙන් දිව්වා.

"ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න.. ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳට වැටිලා.. අපි දැන් මොනවද කරන්නෙ.. ?"


"මොනවා.. ! ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකෝ ළිඳට වැටුණා.. ?

උයන්පල්ලා අඬන ගමන් සූදානම් කරගත් ඉණිමගක්, ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකෝට ගොඩට එන්නට ළිඳ ඇතුළට දැම්මා. 


නමුත් ගොඩක් වෙලා ළිඳ තුළ සිටි නිසා, ඒ වෙනකොටත් දියේ ගිලී සිටි ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකෝට ළිඳෙන් ගොඩට එන්නට හැකි වුණේ නෑ.

එදා ඉඳලා චීන මිනිසුන් ඔවුනොවුන්ට ලැබෙන ප‍්‍රථම දරුවට දැමුවෙත් කෙටි නමක්....!!!



[චීන ජනකථාවක් ඇසුරෙන්.]   

පරිවර්තනය: මුතු පබා 


කතන්දරය බූන්දිය හරහා කියවන්නට:  
ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො!!!

 
     

....

මිලින කව



 ලංකාවිත්ති - 2009 ජූලි කලාපය

ප‍්‍රථම පෙම


මල්වෙඩි අවසන


 















හැඩ වැඩ
දමමින්
දඟවැඩ
පෙන්නන
මල්වෙඩි,
ටිකකින්
නිහඬ වුණාම..

ඉතින් ඊටපස්සෙ
අලුත් අවුරුද්ද..!?