දුක්බර නත්තල



සීතලේ සුදු හිම කැටිති අතරින්
පා තබන විට මා තනිවෙමින්
සිත දවයි මා හඬන කඳුළින්
මා දමා නුඹ වෙනතක ගිහින්

උඳුවපේ ඇති අසිරි බල බල
එකට උන් පෙර නත්තලේ
මතකයන් හද මෝදු වෙන විට
සිත අහස මගෙ බොඳ උනේ

තනි උනත් මා විරහ කඳුළින්
ගෙවෙන මේ සුභ නත්තලේ
මා දමා නුඹ සිනාසෙන් සඳ
අහිතක් නෑ මගෙ සිත් ගැබේ


මුතු පබා
2005.12.22

නැවුම් ප‍්‍රාර්ථනා



හුදෙකලා සිතඹරේ
ඈ - ත - ට ඇදෙන
අඳුරු මේකුළු....

අතරින් පතර
සුදිලෙයි දියමන්ති!


මුතු පබා
2009.12.14

සිසිරයේ වසන්තය



මේ සීතලම සීතල සිසිරය වුව
මල් පිපෙන වසන්තයමැයි
සිතෙයි මට !

ජීවිතයේ එතෙකැයි මෙතෙකැයි
කවමදාවත් කිව නොහැකි,

සිහින සිතුමන් ප‍්‍රාර්ථනා
තිඹිරිගෙයිම මියැදෙද්දි....
සිසිරයේ මේ සොඳුරු වසන්තය
මගේ හදවතට

කොහෙන් කොහොම නම්
එබුණාද....?

ගිලන් වූ හදවතට
නේක මල් සුවඳ අතුරන
හදකුටියෙ පාළු බිතු පුරා
ජීවිතය පාට පාටින් සිත්තම් කරන
සිසිරයේ මේ සොඳුරු වසන්තය

මගේ ලෝකයට
කොහෙන් කොහොම නම්

ආවාද....?

මුළු රැයම හදෙහි සැතපෙන
අරුණැල්ල සමගින්
යළි යළිත් අළුත් වෙන,
සිසිරයේ මේ සොඳුරු වසන්තය
කොහෙන් කොහොම නම්

මතු වුණිද....?

ඉමක් කොනක් නැති ආකාහේ සිට
මතනියට උන් පුංචි තරුවක් විලස

දුරින් හිඳ වුව ළඟින් සිටිනා,
සිසිරයේ මේ සොඳුරු වසන්තය
ලියා නිම කළ නොහැකි
කවියකි තවම මට....!


මුතු පබා
2010.02.20