Posted in
Labels:
Sinhala
|
Friday, December 25, 2015
හුඟක්ම හුඟක් රෑ වෙනකොට
වැහි වළාකුළු
පේන්නෙ නම් නෑ.
හැබැයි එහෙමයි කියල
වහින වැස්සෙන්
අඩුවකුත් නම් නෑ!
2015.12.25

දුක කියන්නේ මොකද්ද කියල අපි දැනන් හිටියට දුකක නියම වේදනාත්මක දුක දැනෙන්නේ අපි එ්කට මූණ දුන්නට පස්සෙයි. එ් වේදනාව මමත් මගේ පවුලේ අයත් මේ ටිකේ නොඅඩුව විඳිනවා. එ් අපේ ආදරණීය ආච්චි අම්මා අපෙන් ගතින් සමුගෙන වෙන් වුණ නිසයි. ආච්චි අම්මා වුණාට අපි පොඩි කාලේ ඉඳන්ම ඇයව ඇමතුවෙ මම්මා යනුවෙන්. එ් අපේ අම්මත්, ලොකු අම්මත්, මාමත් ඇයව අමතපු ආකාරය පොඩි කාලයෙ සිටම කන වැකුණ නිසා වෙන්නැති. අද මම්මා අපි අතර නෑ. ඇය අරඹයා මේ ලිපිය ලියන මේ දැණුත් මගේ ඇස් වලට කඳු උනනවා ඇය නැති ශෝකය නිසාවෙන්.
ඉපදුන හැමෝම අවසානයේ නැති වෙනවා කියන ධර්මය මම අනන්තවත් අහල තියෙනවා. එ්ත් අර සමහරක් අය කියන්නේ 'කියනවා වගේ ලේසි නෑ විඳිනකොට' කියලා. අන්න එ් කතාව නම් ඇත්තටම ඇත්ත. මම්මා නැති වේදනාව ඇත්තටම ගැඹුරු වේදනාවක්ම තමා.
කට වචනෙට මිනිස්සු කීවට 'ගතින් නැතත් හිතින් ළඟ ඉන්නවනෙ' කියලා -- හිතින් වගේම ගතිනුත් අපි ආදරය කරන අය හැමදාමට අප ළඟ ඉන්නවනම් කොච්චරද කියල මට හිතෙවා. ආදරණියයන් ඈත්වෙනකොට ඔවුන්ගේ මතකයන් අපිව බදාගන්නවා. මතකයන් ලස්සනයි. එ්ත් දුක..
අපි-- අක්කියි මමයි නංගියි පුංචි කාලයේ ඉව්ව ප්‍රථම සෙල්ලම් බතේ මතකයන් පවා තියෙන්නෙ මම්මත් එක්ක. කුස්සිය පැත්තෙ මිදුලෙ ගල් තුනකින් පොඩි ලිපක් හදලා ඉව්ව ඒ සුදු බතේ මතක චිත්රයන් දැනුත් මගේ මනසේ ඇඳෙනවා. මම එදා හිතන් හිටියේ අපි උයන්නේ වැලිබත් කියලා. මට මතකයි මම මම්මගෙන් ඇහුවා 'මම ඕකට තව වැලි ටිකක් දාන්නද' කියලත්. අද එ් සිද්දීන් සුන්දර මතක වුණාට ඇස් තෙත් කරන්නට සමත් තියුණු මතකයන්.
මම්මගෙ අඩුව පුරවන්න මේ ලෝකෙ කිසි කෙනෙක්ට බෑ. ඇගෙන් අපි ඉගෙන ගත් දේ බොහෝයි
අපි පුංචි කාලයේ මම්මා අපිට ළමාසාරි අන්ඳවගෙන දහම් පාසැල් යනවා. පාසැලේ්දී, දහම් පාසැලේදී වගේම මහ ගෙදර පැවැත්වූ මොන්ටිසූරියේදීත් ඇගෙන් අකුරු කරපු, හොඳ නරක, ගුණ ධර්ම උගත් දරු දැරියන් ඕනෑ තරම්. ගමේ සියල්ලෝම පාහේ මම්මව ඇමතුවෙ ටීචර් කියලා. මට මතකයි මම්මව පන්සැල් එක්කන් ගිය එක වතාවකදී, එදා පන්සලට ඇවිත් උන්න මැදිවියේ දෙතුන් දෙනෙක් 'ආනේ මේ ටීචර්නෙ' කියාගෙන ඇවිත් මම්මව දෙපැත්තනේ වත්තම් කරන් බුදු මැදුරට එක්කන් ගියා. එදා මට දැණුනෙ කියාගන්න බැරි තරම් ආඩම්බරයක්. මම්මා ඇස් ලොකු කරන් එ් කීපදෙනා දිහා බැලුව විදිහ, මම්මගෙ මූණේ එ් වෙලාවෙ තිබ්බ පුදුමසහගත හිනාව මට දැනුත් හොඳට මතකයි. අවුරුදු 90 කට කිට්ටු කරලා හිටිය ටීචර්ව දැකලා එ් ළමයින්ගේ හිතේ ඉපදුණු බැතිබර බව කොච්චරද..
ගමේ තිබ්බ මගුල් ගෙවල් වලටත් මම්මව නැතුවම බැරි චරිතයක් වුණා. එ් ගමේ ජයමංගල ගීත කණ්ඩායම පුරුදු පුහුණු කරෙත් මම්මා නිසයි. එ් දවස්වල කණ්ඩායමේ හිටිය බාලම කෙනා මම. ජයමංගල ගාථාවන් මතකයෙන් නිවැරදිව කීවත් මට අමතක වුණු එකම දේ තමා ගාථාවන් අවසානයේ ආචාර පවත්වන්න දෑත ඔසවලා වඳින එක. ඉතින් මම්මා මගේ ළඟ හිටිය අක්ක කෙනෙක්ට කියල තිබුණා වඳින්න දෑත රවුමට ඔසවලා ගද්දි මගේ අතට පොඩි තට්ටුවක් දාන්න. එ් මතකයන් ඔස්සේ අද මම්මව තට්ටු වෙන්නෙ හදවතේ ගැඹුරුම තැනට.
ගමනට වගේම ගෙදරටත් මම්මා ඇන්ඳේ ඔසරියම තමා. මගේ මනසට මේ දැනුත් මම්මා මහ ගෙදර එහා මෙහා ගිය විදිහ මැවී පේනවා. හවසට මල් කඩලා බුදු කාමරේ මම්මා පංසිල් ගත්ත විදිහ. මිදුලෙ කොනේ ජම්බෝල ගහ ළඟ හදලා තිබ්බ පහන් කණුවේ පහන පත්තු කරලා මම්මා වැඳන් ඉන්නවා මට මේ දැනුත් මැවිල පේනවා. එ් මතකයන් කොච්චර සුන්දරද. එ්ත් එ්වා මතක් වෙන වාරයක් වාරයක් පාසා හිත දැවෙනවා. නෙතු හැඬෙනවා.
අදට හරියටම මම්මා අපෙන් සමුගෙන දවස් 7ක් වෙනවා. මම්මව තව එකම එක වාරයක් හෝ හැබැහින් දැක ගන්න තිබ්බ නම් කොච්චරද කියල හිතෙන වාර ගණන අන්නතයි. අප්‍රමාණයි. නොරට විසීම කරුමයකටත් එහා ගිය කරුමයක් බව දැනෙන්නේ මේ වගේ අවස්තාවන්වලදී තමා. ආදරණියයන්ව අඩුම ගණනේ ඔවුන්ගේ අවසාන මොහොතෙදිවත් දැක බලා ගන්න වාසනාවක් නැති වෙනකොටයි. මම්මා අපෙන් සමුගත් පුවත මහ පාන්දරයාමෙ ලොකු මල්ලි දුරකථනයෙන් මට කියනකොට මට ඉස්සෙල්ලාම කියවුණේ 'අයියෝ' කියන වචනයයි. එතකොට හිතට කඩාගෙන බිඳගෙන ආව දුක නම් අදටත් අඩුවක් නෑ. මම්මා ගතින් අපි ළඟ නැති හිස් අඩුව හැමදාම අපි අතරෙ තියෙනවා සහතිකයි. එ්ත් අයියෝ.. එ්කට මොනා නම් කියල කරන්නද.. ඉකිය, කඳුළ හිර කරන් මතකයන් අවදිකර හූල්ලනවා ඇරෙන්න. හදවතින් ඇයට නමස්කාර කරනවා ඇරෙන්න.
ආදරණීය මම්මේ අපි ඔබට හැමදාමත් ආදරෙයි. ආදරණීය ඔබට නිවන් සුව අත්වේවා..!!
Posted in
Labels:
Sinhala
|
Monday, August 24, 2015
පෝයට නම් ඉතින්
මල් ගසුත්
හිස් වෙනවා
2015.08.24
Posted in
Labels:
Sinhala
|
Saturday, August 08, 2015
ඔබ
ගියත් නොගියත්-
මම හැමදාම
එකම තැන
බව,
දැන දැනම
ඔබ
එන්නේම ආයෙත්
යන්න බලාගෙන.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අනේ! මන්ද,
දුකක් නම් ඇත්තේම නැද්ද?!?
2015.08.15
Posted in
Labels:
Sinhala
|
Thursday, June 25, 2015
Posted in
Labels:
Sinhala
|
Saturday, June 20, 2015
ප්‍රශ්නාර්ථ
උත්තරත් සමග
ආයෙ එනවිට
ප්‍රශ්නාර්ථ නෑ
දැන්,
විශ්මයාර්ථ මිසක!
2015.06.19
Posted in
Labels:
Sinhala
|
Thursday, June 18, 2015
රුඩෝල්ෆ්
කියලා පුංචි හාවෙක් හිටියා. මේ හා පැටියා හරිම ආසයි එයාගේ නැන්දගෙ ගෙදර
යන්න. ඒ මොකද නැන්දගෙ ගෙදර මේ පුංචි හා පැටියට, එයාගෙම කියල කාමරයක්
තියෙනවා. එයාටම වෙන්වුණ ඇඳක් තියෙනවා. සෙල්ලම් බඩු තියෙනවා. හා පැටිය හරි
ආසයි ඒ සෙල්ලම් බඩු එයාගෙ විතරක් කරගන්න.
ඒත්
මේ සැරේ නැන්දගෙ ගෙදර ගිය හා පැටියට පාළුවක් දැනුණා. එයාගේ අයියල, අක්කල,
නංගිල, මල්ලිලා නැති නිසා තනිකමක් දැනුණා. තනිකම කොච්චර ලොකුවට දැනුණද
කියනව නම් රුඩොල්ෆ්ට නින්ද ගියෙත් නෑ.
ඒක නිසා හා පැටියා එයාගෙ නැන්දගෙන් මෙහෙම ඇහුවා....
“අද රෑ මම වෙන කොහේ හරි නිදා ගන්නද නැන්දෙ ?”
“කොහෙද ?” .... නැන්දත් හා පැටියගෙන් ඇහුවා.
“හොඳ යාළුවෙක්ගෙ ගෙදර”
“රුඩෝල්ෆ් ට හිතෙනව නම්, යාළුවෙක් ගාව හොඳට නිදාගන්න පුළුවන් කියලා, එහෙම කරන්න”. නැන්දා හා පැටියට අවසර දුන්නා.
ඉතින් ඔන්න හා පැටියා එයාගෙ මිතුරු ලේන් පැටියෙක්ගෙ ගෙදර ගිහින් මෙහෙම ඇහුවා....
“අද මට මෙහෙ නිදාගන්න පුළුවන්ද ?”
“මොකෝ බැරි. එන්න එන්න ඇතුළට එන්න.” ලේන් පැටියා ගොඩක් ආසාවෙන්, හා පැටියව පිළිගත්තා.
එදා රෑ තනියම නිදාගන්න නොලැබුණ සතුටෙන්, ලේන් පැටියගේ ඇඳේම හා පැටියත් නිදාගත්තා.
ක්..රා..ක්.... ක්‍රා..ක් .... ක්..රාක්
ටික වෙලාවක් ගියාට පස්සෙ හා පැටියට සද්දයක් ඇහුණා. ඒත් තද නිදිමත නිසා, හා පැටියට එහෙම්මම ආයෙත් නින්ද ගියා.
ආයෙත් ටික වෙලාවකට පස්සෙ....
ක්රාක්.... ක්රාක් .... ක්රාක්
“මොකද්ද ඒ සද්දෙ” කියාගෙන හා පැටියා ආයෙත් ඇහැරිලා, ඇඳේ ඉඳගත්තා.
හා පැටියගේ කටහඬ ඇහුණ ලේන් පැටියා මෙහෙම කීවා....
“මම මේ ඕක්ගෙඩි වගයක් හපනවා. රෑට හැම වෙලේම මට බඩගින්නක් එනවා. ඒ වෙලාවට මට මොනව හරි කන්න ඕනි”.
“ඔයා
මට කරපු ආගන්තුක සත්කාර වලට ගොඩක් ස්තූතියි. ඒත් මේ සද්දෙ මැද මට නිදාගන්න
බෑ” කියල කියපු හා පැටියා, ඊළගට ගියේ එයාගේ මිතුරු උරුලෑවෙක්ගෙ ගෙදර.
“යාළුවේ අද මට මෙහෙ නිදාගන්න පුළුවන්ද ?” .... හා පැටියා උරුලෑවගෙනුත් ඇහුවා.

“ඔව් ඔව් .... සියපාරක් ඔව්. කවදාවත්
කවුරුවත් මගෙත් එක්ක නිදා ගන්න අහල නෑ....” යි කීව උරුලෑවා, හා පැටියව
ඇදගෙනම ගේ ඇතුළට ගිහින්, ඇඳට වැටුණා.
ඒත් වැඩිවෙලාවක් යන්න කලින් දැනුණ දුගඳක් නිසා ඇහැරුණ හා පැටියා, ඇඳේ කෙළවරටම ගිහින් මෙහෙම ඇහුවා....
“මොකද්ද ඒ ගඳ ?”
“මම
හිතන්නෙ ගඳ එන්නෙ මං ගාවින්.. මට හොඳටම අමතක වුණා මගේ කාමරයේ තව එක්කෙනෙක්
ඉන්නවා කියලා. මම බය හිතෙන හීනයක් දැක්කා. ඒ වෙලාවෙ මගේ ගඳ හොඳටම
විහිදෙන්න ඇති ”... කියලා උරුලෑවා කීවා.
“ඔයා
මට කරපු ආගන්තුක සත්කාර වලට ගොඩක් ස්තූතියි. ඒත් මේ ගඳත් එක්ක මට නිදාගන්න
බෑ” කියල කියපු හා පැටියා, ඊළගට ගියේ එයාගේ මිතුරු ඉත්තෑවගෙ ගෙදර.
”අනේ යාළුවේ මට අද රෑ මෙහෙ නිදා ගන්න පුළුවන්ද ?”
“නැතුව නැතුව, ඔයාට පුළුවන් මගේ ඇඳේම නිදා ගන්න. මම නිදාගන්නම් බිම” කියල ඉත්තෑවා කීවා.
“හුරේ” .... හා පැටියා සන්තෝසෙන් ඉත්තෑවගේ ඇඳේ පෙරළුනා.
ඒත් ටික වෙලාවකට පස්සෙ....“ඌ...යි....ඌ...යි....ඌයි”
හා පැටියා වේදනාවෙන් කෑ ගහලා .... ”මොනවද මේ ඇඳේ තියෙන්නෙ” කියලා ඇහුවා.
“ඒ මගේ ඉත්තෑකූරුනේ. සමහර වෙලාවට මගේ ඉත්තෑකූරු ඇඳේදි ගැලවෙනවනෙ” .... ඉත්තෑවා උත්තර දුන්නා.
“ඔයා මට කරපු ආගන්තුක සත්කාර වලට ගොඩක් ස්තූතියි. ඒත් මේ ඉත්තෑකූරුත් එක්ක මට නිදාගන්න බෑ” කියල, හා පැටියා එහෙනුත් යන්න ගියා.
ඊට පස්සෙ හා පැටියා ආවෙ එයාගේ මිතුරු වලස්පැටියගෙ ගෙදර.
“මට අද මෙහෙ නිදාගන්න පුළුවන්ද?”
“ඔව් ඔව්.... ඔයාගෙ ගෙදර වගේම මෙහෙ ඉන්න පුළුවන්.” වලස් පැටියත් කීවා.
හා පැටියා හිටියේ ගොඩක් මහන්සියෙන්. ඒක නිසා ගේ ඇතුළට ඇවිත් බිම පෙරළුනා විතරයි හොඳටම නින්ද ගියා.
ඒත් ටික වෙලාවකට පස්සෙ ඇහුණ ගෙරවිලි හඬක් නිසා, හා පැටියා ගැස්සිලා ඇහැරුණා.
“අයියෝ අහස ගොරවනව වගේ” කියලයි හා පැටියට හිතුණෙ.
ඒත් ගොරවන්නෙ අහස නෙමෙයි, වලස් පැටියා බව හා පැටියට ඉක්මණින් තේරුම් ගියා.
“මේ ගෙරවිල්ල නිසා මට නිදා ගන්න බෑ” යි හිතුව හා පැටියා, ඊළගට ගියේ එයාගේ යාළු බකමූණගෙ ගෙදර.
“අද රෑ මට මෙහෙ නිදා ගන්න පුළුවන්ද ?”
“ඔයාට මෙහෙ නිදාගන්නම ඕනි නම්, මොකෝ බැරි.... එන්න ඇතුළට.” බකමූණා එයාගෙ යාළුවව ගේ ඇතුළට ගත්තා.
හා පැටියා හිටියේ ගොඩක් මහන්සියෙන් නිසා එයාට හරි ඉක්මණින් නින්ද ගියා.
ටික වෙලාවකට පස්සෙ එළියක් පත්තු වෙලා තියෙනවා නිදාගෙන හිටිය හා පැටියගෙ ඇස් වලට දැනුණ නිසා, එයා ආයෙමත් ඇහැරුණා.
“යාළුවේ ඔය එළිය නිවන්නකෝ” .... හා පැටියා බකමූණට කීවා.
“අනේ ඒකනම් කොහොමටවත් කරන්න බෑ. රෑට තමයි මම
පොත් පත් කියවන්නෙ. ඒක නිසයි මම මට හිතුන දේම කරන්නෙ” කියලා, බකමූණා හා
පැටියට උත්තර දුන්නා.
“එහෙමනම් ඔයාට හිතෙන විදිහට කියන්නකො යාළුවේ, මට අද රෑ නිදා ගන්න පුළුවන් තැනක්.”
“ආ.... ඒකට උත්තරේ හරිම ලේසියි නේ.... යන්න ගිහින් ඔයාගෙ ඇඳේම නිදා ගන්න”.... බකමූණා උත්තර දුන්නා.
බකමූණා කියපු දේ ඇහුව හා පැටියා, ගොඩක් නිදිමතෙන් ගොඩක් මහන්සියෙන් එයාගෙ නැන්දගෙ ගෙදර යන්න ගියා.
හා පැටියට එයාගෙ ඇඳ දැක්කම ගොඩක් සන්තෝස හිතුණා. ඒක නිසා දුවගෙන ගිහින් එයාගෙ ඇඳට පැන්නා.
ඊට පස්සෙ .... ”අම්මෝ දැනෙන සනීපෙ කියලා අත් කකුල් දිග ඇරියා.”
“හපන සද්ද නෑ, කිසිම ගඳක් නෑ, ඉත්තෑකූරුත්
නෑ, කවුරුත් ගොරවන්නෙත් නෑ, කිසිම එළියකුත් නෑ, මම විතරයි.... මම විතරයි
මගේ ඇඳේ.... දැන්නම් මට හොඳට නිදා ගන්න පුළුවන්” කීව හා පැටියා රෙද්ද
පොරවගෙන හොඳට නිදා ගත්තා.
කතාව: Carol Roth
සිතුවම්: Valeri Gorbachev
පරිවර්තනය: Muthu Paba
කතන්දරය බූන්දිය හරහා කියවන්නට: මට නිදාගන්න බෑ
මව සමග
ජීවත් වුණු දුප්පත් වුණත් කීකරු යහපත් පුංචි ගෑණු ළමයෙක් සිටියා. ඇයට සහ
ඇගේ මවට කන්නට කිසිම දෙයක් තිබුණෙ නෑ. දවසක් මේ පුංචි ගෑණු ළමයා කැලෑවට ගිය
මොහොතක, ඇයට වයසක ආච්චි කෙනෙක්ව මුණගැහුණා. පුංචි ගෑණු ළමයා දෙස
සැලකිල්ලෙන් බලා සිටිය මේ ආච්ච්ට ඇගේ දුක තේරුණා. එ්ක නිසා ආච්චි ඇයට අරුම
පුදුම මුට්ටියක් තෑගි කරා.
”හදන්න, පුංචි මුට්ටිය හදන්න” කීවම, මේ අරුම පුදුම මුට්ටිය තලප හදනවා.
”නවත්තන්න, පුංචි මුට්ටිය නවත්තන්න” කීවම, මුට්ටිය තලප සෑදීම නතර කරනවා.
පුංචි
ගෑණු ළමයා මුට්ටිය අරගෙන ගෙදර ගියා. මුට්ට්ය නිසා ඇයටයි ඇගේ අම්මටයි
ඉන්පසු කවමදාවත් බඩගින්නෙ ඉන්න සිද්ද වුණේ නෑ. එයාලා ගොඩක් වෙලාවට කෑවෙත්
තලප.
දවසක් මේ පුංචි ගෑණු ළමයා ගෙදරින් පිට ගිය වෙලාවක, ඇගේ අම්මා
”හදන්න, පුංචි මුට්ටිය හදන්න” කියලා මුට්ටියට කීවා. මුට්ටියත් සුපුරුදු
පරිදි තලප හැදුවට පස්සෙ, අම්මා එයාට ඇති වෙනකල් තලප කෑවා.
ඒත් තලප සෑදීම නතර කිරීමට කිවයුතු වචන මව
දැන නොසිටිය නිසා, මුට්ටිය නොනවත්වා තලප හැදුවා. මුට්ටිය පිරිල ඉතිරිලා,
කුස්සියත්, මුළු ගෙදරමත් පිරෙනකල් මුට්ටිය තලප හැදුවා. අසල් වැසියන්ගේ
ගෙවලූත් පිරෙනකල් මුට්ටිය නොනවත්වා තලප හැදුවා. හරියට මුළු ලෝකයේම බඩගින්න
නැති කරන්නට වගෙයි, මුට්ටිය තලප හැදුවෙ. අරුම පුදුම මුට්ටිය මුළු ගමටම
හිරිහැරයක් වුණත්, මුට්ටිය තලප හදනවා නතර කරන්න කාටවත්ම බැරි වුණා.
අවසානයේ
එකම එක ගෙයක් පමණක් තලප වලින් නොපිරී බේරී තියෙද්දි, පුංචි ගෑණු ළමයා
ඇවිත් ”නවත්තන්න, පුංචි මුට්ටිය නවත්තන්න” කියලා මුට්ටියට කීවා විතරයි,
මුට්ටිය තලප සෑදීම නතර කරා.
ඉතින් ඊට පස්සෙ කාට හරි නගරයට යන්න ඕනෑ වුණා නම්, පාරෙ පිරිලා තිබුණ තලප කාලා තමයි නගරයට යන්න සිද්ද වුණේ.
ග්‍රිම් සොහොයුරන්ගේ කතාවක්
පරිවර්තනය: මුතු පබා
කතන්දරය බූන්දිය හරහා කියවන්නට: අරුම පුදුම පුංචි මුට්ටිය
එකම එක යාළුවෙක්වත් නැති නිසා නපුරු නරියට ගොඩක් පාළුයි. ‘මං ගොඩක් ලොකුයි ඒ මදිවට මට තියෙන්නෙත් භයානක පෙනුමක්.. ඒක නිසා වෙන්නැති මට කිසිම යාළුවෙක් නැත්තෙ’ නරියා එයාටම කියා ගත්තා. ‘සමහරවිට ඒ මං නරක නිසා වෙන්නත් පුළුවන්.. ඔව්.. ගොඩක් නරක නිසා..... ’ නපුරු නරියා තනියම හිතුවා.
‘හරි මං දන්නවා.. මං නරක වැඩ අත්හරිනවා.. ඒකරලා කරුණාවන්ත නරියෙක් වෙනවා.. එතකොට මටත් ගොඩක් යාළුවෝ ලැබේවි.. ’ එහෙම හිතුව නපුරු නරියා ගමේ ටිකක් ඇවිදින්න පටන් ගත්තා.
"බුදු අම්මෝ.... මෙන්න නපුරු නරියා එනවෝ.." නරියව දැක්ක සුදු හංසිනී, හංස පැටව් හත්දෙනා එක්ක ගේ ඇතුළට දිව්වා.
"ඩාං...." ඊටපස්සෙ ඇහුණෙ හයියෙන් දොර වැහුණ සද්දෙ.
"හංසිනී.." නපුරු නරියා ආදරණීය කටහඬකින් කතා කළා. "දොර ටිකක් අරින්න පුළුවන්ද.. ? මම දැන් කරුණාවන්ත නරියෙක්.. මට පුළුවන්ද ඔයාගෙ ළමයි එක්ක සෙල්ලම් කරන්න.. ?"
ඒත් හංසිනී නෙමෙයි වැරදිලාවත් නම් දොර ඇරියෙ.
"යනව යන්න නපුරු නරියා.. යනව යන්න.. ආයෙමත් මෙහාට කවදාවත් එන්න එපා.." ගේ ඇතුළෙ ඉඳන් කෑ ගැහන්න ගත්ත හංස පැටව්, ජනේලය ළඟට ගිහින් නපුරු නරියට ඇස් වපර කරලා ඇද කරන්න පටන් ගත්තා.
නපුරු නරියා දැන් හොඳ නරියෙක් බව හංසයෝ අඳුන ගත්තෙ නැති නිසා නරියට දුක හිතුණා.
‘හරි මං දන්නවා.. කරුණාවන්ත වෙලා විතරක් මදි.. මම උදව් කරන්න පටන් ගන්නත් ඕනෑ.. එතකොට මටත් හම්බවේවි යාළුවෝ. ’ එහෙම හිතුව නපුරු නරියා ආයෙමත් ඇවිදින්න යන්න පටන් ගත්තා.
කිකිළි හාමිනේ ගමනක් යන්න ලක ලෑස්ති වෙලා මග බලාගෙන ඉන්නවා.
"කීයට එයිද මන්ද මේ උදව්කාරයා.."
කුකුළු පැටව් බලාගන්න එනවයි කීව උදව්කාරයා තාමත් නැති නිසා කිකිළි හාමිනේගේ හිත ටිකක් කලබලයි.
කුකුළු කූඩුව ළඟට ගිය නපුරු නරියා උගුර පෑදුවා.
"කිකිළි හාමිනේ මට පුළුවන් ඔයාගේ ළමයි ටික හොඳින් බලාගන්න.."
"නපුරු නරියා ඇවිල්ලෝ.. ළමයිනේ.. දුවපල්ලා.. දුවපල්ලා.. විගහට දුවපල්ලා.." හැමෝම ඉක්මණට දුවල ගිහින් දොර වහගත්තා..
"කිකිළි හාමිනේ.. මම දැන් කරුණාවන්ත හැමෝටම උදව් කරන නරියෙක්.. කමක් නැද්ද මම අද කුකුළු පැටව් බලාගත්තට.. ?"
ඒත් කිකිළි හාමිනේ කීයටවත් දොර නම් අරින්න ගියේ නෑ.
"යනව යන්න නපුරු නරියා.. යනව යන්න.. ආයෙත් මේ පැත්ත පළාතටවත් එන්න එපා.." ගේ ඇතුළෙ ඉඳන් කෑ ගහන්න ගත්ත කුකුළු පැටව් ටිකත්, නරියට ඇද කරන්න පටන් ගත්තා.
නපුරු නරියා දැන් කරුණාවන්ත හැමෝටම උදව් කරන නරියෙක් බව කුකුළොත් තේරුම් ගත්තෙ නෑ. ඒ හින්ද නරියට ආයෙමත් ගොඩක් දුක හිතුණා.
ඉතින් නපුරු නරියා ආයෙමත් හිතන්න පටන් ගත්තා.
‘හරි මං දන්නවා. උදව් කරන කරුණාවන්ත නරියෙක් වෙලා මදි.. මං මොනව හරි හොඳ
යහපත් වැඩක් කරන්නත් ඕනෙ.. එතකොට නම් මට කොහාම හරි යාළුවො ලැබේවි.. ’ නරියා හිතුවා.
ඉතින් හොඳ යහපත් දෙයක් කරන අදහසින් නපුරු නරියා ආයෙමත් ගමේ ගොඬේ ඇවිදින්න යන්න පටන් ගත්තා.
තාර හාමිනේ තාර කූඩුව ළඟ ඉඳගෙන කෑ ගහනවා නපුරු නරියා දැක්කා.
"පස්වැනියා.. පස්වැනියා.. කෝ.. කොහෙද මේ පස්වැනියා.."
"ඇයුබෝවන්! තාරාවි.. මොකද්ද ප්‍රශ්නෙ.. කමක් නැද්ද මං උදව් කරාට.. ?"
නපුරු නරියව දැක්ක තාරාවිට හොඳටම තරහ ගියා.
"නපුරු නරි තඩියා.." තාරාවි කේන්තියෙන් පුපුරමින් කෑ ගැහුවා.
"කොහොම හරි ඔහේ මගේ පස්වැනි තාර බබාව කෑවා නේද?" තාරාවි කූඩුව ඇතුළට ගිහින් හයියෙන් දොර වහගත්තා.
නපුරු නරියට තාරාවිගෙ වචන හිතාගන්නවත් බැරි වුණා. නරියා කූඩුවෙ දොරට තට්ටු කරන්න පටන් ගත්තා.
"තාරාවී.. මට ඇතුළට එන්න ඉඩදෙන්න.. මං කිසිම කෙනෙක්ව කෑවෙ නෑ.."
ඒත් තාරාවි එහෙම නෙමෙයි වැරදිලාවත් නම් දොර ඇරියෙ..
"යනව යන්න නපුරු නරියා.. ඈතටම යනව යන්න.. ආයෙත් කවදාවත් කොහෙට ගියත් මෙහාට නම් එන්න එපා.. " ඉතුරු තාර පැටව් හතරදෙනා කෑ ගහන ගමන් නපුරු නරියා දිහා කැත විදිහට බැලුවා.
"හා.. එහෙනම් මමයි පස්වැනියව කෑවෙ.. උගන්වන්නම්කො මං හොඳ පාඩමක්.. මීට කළින් මම නරකම නරක නරියෙක්." නපුරු නරියා තනියෙන් කියව කියව කැලෑවෙ එහාට මෙහාට ඇවිද්දා.
ටික වෙලාවකට පස්සෙ නරියට ඇහුණා කටහඬක්.
"ක්වෑක්.... ක්වෑක්.. අනේ! මට පාර වැරදිලා.." කටහඬ කියනවා ඇහුණා.
ගහක් පිටිපස්සෙ හිටිය නරියා එළියට මතු වුණා.
"මෙන්න නපුරු නරියා මාව කන්න යනවෝ.. අනේ මාව බේරගන්ඩෝ...." නරියව දැක්ක පස්වැනියා පුළුවන් තරම් හයියෙන් කෑගහන්න පටන් ගත්තා.
බයෙන් කෑ ගහන තාර පැටියා ගැන නපුරු නරියට දුක හිතුණා. කේන්ති යනව වෙනුවට හිත උණු වුණා. ඒත් ඒ බව නොපෙන්වා පස්වැනියට සැරෙන් කතා කළා.
"ඔය මෝඩ කෑගැහිල්ලයි ඇඬිල්ලයි නැවැත්තුවේ නැත්නම්, මම දැන් ඔයාව ඇත්තටම කනවා.. තේරුණාද.. ?"
පස්වැනියා නපුරු නරියා දිහා බැලුවා. ජිල්බෝල වගේ කඳුළු බෝල, තාරහොට දිගේ ගලන්න ගත්තා.
"මට අම්මා ළඟට යන්න ඕනෙ.. " පස්වැනියා අඬ අඬාම නරියට කීවා.
"හොඳයි.. දැන් එහෙනම් හොඳ තාර බබා වගේ නාඬා ඉන්නකෝ.. අපි දැන් යන්නෙ ඔයාගෙ අම්ම ළඟට තමයි.. "
නපුරු නරියා පස්වැනියව එයාගෙ ලොකු කලිසම් සාක්කුවේ දාගත්තා.
ආයෙමත් තාරාවිගේ කූඩුව ළඟට ගිය නරියා දොරට තට්ටු කළා.
"තාරාවී... තාරාවී... මේ බලන්නකෝ මට පස්වැනියව හම්බවුණා.. දැන්වත් ටිකක් දොර අරිනවද.... ?" ආදරණීය කටහඬකින් නපුරු නරියා තාරාවිට කීවා.
තාර කූඩුවේ දොර හිමින් සීරුවේ ටිකක් ඇරුණා.
"ඔය ඇත්තමද.. ?" දොරට මුවාවෙලා තාරාවී නපුරු නරියගෙන් ඇහුවා.
"සත්තම සත්තයි.. ඇත්තමයි මේ කියන්නේ.." නරියා උත්තර දුන්නා.
"එතකොට ඔයා එහෙනම් ඔයා පස්වැනියව කෑවෙ නෑ.. ! ?" තාරාවී ආයෙමත් ඇහුවා.
"පුංචිම පුංචි කෑල්ලක්වත් කෑවෙ නෑ.." නරියා උත්තර දුන්නා.
දොරෙන් එළියට අත දැම්ම තාරාවී ඉක්මණට පස්වැනියව ඇතුළට ඇදල ගත්තා.
"ඩාං....." ඊටපස්සෙ ඇහුණෙ දොර වැහෙන සද්දෙ.
නපුරු නරියා දුකින් තාරාවිගෙ කූඩුව ළඟින් යන්න ගියා. නපුරු නරියා හොඳ
කරුණාවන්ත කෙනෙක් වුණා. යහපත් වැඩකුත් කළා. ඒත් තවමත් කවුරුත් කැමති නෑ
එයාගෙ යාළුවෙක් වෙන්න. නපුරු නරියට ඇඬුනා. ලොකු කඳුළු බිංඳු දිග නහය දිගේ
ගලන්න පටන් ගත්තා.
"මේ ඒක නෙමෙයි නපුරු නරියෝ.." කූඩුවේ දොර ඇරිය තාරාවි නපුරු නරියට කතා කළා.
තාරාවිගෙ කටහඬ ඇහුණ නරියා හිටිතැනම ගල් ගැහුණා.
"ඔයාට වෙලා තියෙනවනම් තේ එකක් බීලා යන්න ඉන්න පුළුවන්ද.."
"ඔව් පුළුවන්.. ඇත්තටම පුළුවන්.." නපුරු නරියා උත්තර දුන්නා.
තාරාවිගෙ ගෙදර ගතකරපු මොහාත බෙහෙවින් සතුටුදායක මොහොතක් වුණා. නපුරු නරියා
තේ කෝප්ප තුනක් බීවා. විස්කෝතු එකොළහක්ම කෑවා. තාර පැටව් එක්ක හිතේ හැටියට
සෙල්ලම් කළා.
"ස්තූතියි! තාරාවී...." ගෙදර යන්න වෙලාව ආවාම නපුරු නරියා හැමෝගෙන්ම සමුගත්තා.
"නෑ.. නෑ.. නපුරු නරියෝ මමයි ඔයාට ස්තූති කරන්න ඕනෑ.." තාරාවි කීවා. "ඔයා මට පස්වැනියව හොයල දුන්නා.. ඒ නිසා ඔයා වීරයෙක්.."

"තාරාවී.." නපුරු නරියා ලැජ්ජාවෙන් තාරාවිට කතා කළා. "ඔයාට පුළුවන්ද අද ඉඳලා මට ආදරණීය නරියා කියලා කතා කරන්න.."
තාරාවි හිනා වුණා. "එහෙම දෙයක් කරන්න ඕනෙ නෑ නරියෝ.." තාරාවි නරියව ආදරෙන් බදාගත්තා.
"ඔයා හැමදාම හිටිය නපුරු නරියමයි. හැබැයි අපේ නපුරු නරියා හරි කරුණාවන්තයි.. !"
කතාව: සීමොන් පුට්ටොක් | Simon Puttock
සිතුවම් : ලීන් චැප්මෑන් | Lynne Chapman
පරිවර්තනය: මුතු පබා
කතන්දරය බූන්දිය හරහා කියවන්නට: නපුරු නරියා කරුණාවන්ත යි.