පෝලෝ සහ දඟකාර නැගණිය

සීතල නමුත් පැහැදිලි උදෑසනක වැලන්ටිනා තම අයියා පෝලෝව අවදි කළා.

‘ඇහෙනවද? ඇහෙනවද? පෝලෝ ඔයාට ඇහෙනවද කුරුල්ලෙක් සිංදු කියනවා....? මට ඒ කුරුල්ලව හොයන්න යන්න ඕනෑ..’


‘මොනවද ඔයා කියන්නේ වැලන්ටිනා? කුරුල්ලෙක්? කොහෙද?’ තවමත් නිදිමතෙන් හිටිය පෝලෝ ඇස් පොඩි කරමින් ඇහුවා.


‘වැලන්ටිනා.... ඒ පාර ඔයා කොහෙද යන්නෙ..?’
ගුහාවෙන් එළියට යන සිය නැගණිය දුටු පෝලෝ ඇසුවා.


‘ඇයි ඔයා ගුහාව ඇතුලෙ ඉන්නෙ නැත්තෙ? අම්මා ළඟ උණුසුමයි.. එන්න ඇතුළට’

‘ඔයත් එන්නකො එළියට..’ ගහක් උඩට නගින් ගමන් වැලන්ටිනා අයියාට කතා කළා.


‘බලාගෙන වැලන්ටිනා ඔය ගහට නගින්නේ..’ පෝලෝ කනස්සල්ලෙන් සිය නැගණියට අවවාද කළා.


ඒත් ඇහුම්කන් නොදුන් වැලන්ටිනා ගහෙන් බිමට වැටී, හිම බෝලයක් මෙන් කැරකි කැරකී පල්ලම පහළටම ඇදුණා.


පින්ග් සහ පින්ගා; පුංචි පෙන්ගුවින් දෙදෙනා වැලන්ටිනාට නැගිටින්නට උදව් කළා.


‘පෝලෝ.. අපිට උදව් කරන්නකෝ!’ පෙන්ගුවින් දෙදෙනා ඒ වෙනකොටත් එතැනට එමින් හිටිය පොලෝට කීවා.




‘ඔයා නම් හරිම නරක ළමයෙක් වැලන්ටිනා..’ පොලෝ නැගණියට දොස් පැවරුවා.


‘මට පෙන්ගුවින්ලා එක්ක සෙල්ලම් කරන්න ඕනෑ....’ වැලන්ටිනා තමාගේ ඇස් වලයි, නහය උඩයි, ඔළුවෙයි ගෑවිලා තියෙන හිම පිහදාන අයියාට කීවා.


‘ඔයා දන්නවාද පෙන්ගුවින්ලා අපිට වඩා වෙනස් කියලා..?’ වැලන්ටිනා පොලෝගෙන් ඇහුවා.. ‘එයාලා සීත කාලෙට නිදා ගන්නෙ නෑ..’




‘මම ඒක දන්නවා වැලන්ටිනා.. මම ඔයාගෙ ලොකු අයියනේ..’


‘මම යනවා මාළු අල්ලන්න..’ පින්ග් කීවා.. ‘වැලන්ටිනා ලෑස්ති නම් අපිට පුළුවන් අයිස් වල කෙළවරටම යන්න..’


‘ඔව්..ඔව්.. මමත් එනවා ඔයාලා එක්ක මාළු අල්ලන්න යන්න..’ යැයි කීව වැලන්ටිනා, අයිස් කෙළවරට ඉක්මණින් දුවන්න පටන් ගත්තා. වැලන්ටිනාට ඕනෑ වුණේ අනෙක් අයට පෙර අයිස් කෙළවරට යන්නයි.




‘වැලන්ටිනා.... මම එනකල් ඉන්න.... ඔයා කවදාවත් අයිස් උඩ ඉඳන් මාළු අල්ලලා නැහැ..’ පෝලෝ දුවගෙන යන නැගණියට කෑගැහුවා.


‘අපි මෙතැන හිටගෙන ඉන්න එක නුවණට හුරු මදි..’ බිලීපිත්ත ලෑස්ති කරන ගමන් පින්ගා කීවා.  ‘මෙතැන අයිස් ශක්තිමත් මදි නිසා කොයිවෙලේ හරි කැඩෙන්න පුළුවන්..’




‘නෑ.. නෑ.. පින්ගා.. මට මෙතැන හොඳයි.. පාට පාට මාළු ගොඩක් මට පේනවා. කෝ ඉන්න ඒ මාළුවෝ මම ඔයාලට අල්ලලා දෙන්න..’ යැයි කියා, වතුරට පාත්වුණ වැලන්ටිනාගේ කකුල් ගාවින් අයිස් කැටේ කැඞී වෙන්වුණා. වෙන්වුණ අයිස් කෑල්ල දියරැලි නිසා වේගයෙන් ඈතට ගහගෙන ගියා.


‘අනේ....! මාව තනියෙන් යවන්න එපා..’ වැලන්ටිනා බයෙන් කෑගැහුවා.


හොඳ වෙලාවට සිද්ද වුණ හැමදේම දුටු මුහුදුසිංහයෝ රංචුවක් හනික ඇවිදින්, වැලන්ටිනා උන් අයිස් කෑල්ල අල්ලගත්තා.


‘අයියෝ....! මාව ගහගෙන යනවා.. මට පීනන්නත් බෑ..’ වැලන්ටිනා හොඳටම ඇඬුවා. ‘පෝලෝ... ඔයා මට උදව් කරනවා නේද?’




වතුරට පැන්න පෝලෝ ඉක්මණින් නැගණියට ළඟට පීනුවා. 


‘මට නම් තේරෙන්නෙ නෑ වැලන්ටිනා, ඔයා කොහොමද හැම වෙලේම අවුලකට කොටුවෙන්න දන්නෙ කියලා..’ ගොඩට පීනන ගමන් පෝලෝ කීවා. ‘නුසුදුසු තැන නුසුදුසු වෙලාවට ඔයා හැම වෙලේම ඉන්නවා.. ඔයා නම් හරිම දඟකාර නංගියෙක්..’

සීතල නිසාත් ගොඩක් බය වී සිටි නිසාත් වැලන්ටිනාට මෙදාපාර නම් කිසිම දෙයක් කියා ගන්නට බැරි වුණා.


‘ගොඩට ආව පෝලෝ නැගණියව තුරුල් කරගෙන අස්වැස්සුවා. පින්ග් වැලන්ටිනාව උණුසුම් කරන්න තැත් කළා.’


‘මම පොරොන්දු වෙනවා මීට පස්සෙ හොඳට ඇහුම්කන් දෙනව කියලා.. මෝඩ වැඩත් මම ටිකක් අඩුවෙන් කරන්නම්....’ වැලන්ටිනා හිමිහිට කීවා.




‘ඒක හොඳයි වැලන්ටිනා.. අපි එහෙනම් දැන් ගෙදර යමුද?’ පෝලෝ ඇසුවා. පෝලෝ සහ වැලන්ටිනා ඔවුන් වෙසෙන බිම් පෙදෙසට පැමිණි පසු, පෙන්ගුවින් දෙදෙනාගෙන් සමුගත්තා.


‘මම අම්මට කියනවා ඔයා මාව බේරගත්ත විදිහ..’ වැලන්ටිනා මිමිණුවා.


‘එපා.. අම්මට කිසිම දෙයක් කියන්න එපා.... අම්මා හොඳටම බයවෙයි.. අපි මේ සිදුවීම අපි දෙන්නා අතරෙ විතරක් තියාගමු.. එතකොට ඒක අපේ රහසක්..’ ගුහාවට ගිය පෝලෝ සද්ද කරන්න එපායි ඇඟිල්ලක් කටට තියා නංඟිට පෙන්නුවා.




තවමත් නිදාගෙන උන් අම්මා ළඟට ගිය පෝලෝ සහ වැලන්ටිනා හිමින් සීරුවේ අම්මා ළඟින්ම වැතිරුණා.


‘හොඳට නිදාගන්න වැලන්ටිනා.. ඔයා නම් හරිම දඟකාර නංගියෙක්.... ඒ වුණත් මගේ නංගියා මට හොඳයි..’ පෝලෝ රහසින් වැලන්ටිනාට කීවා.



කතාව:  නෝරීස් කෙරන් සහ ජීන් බැප්ටයිස්ට් බැරෝනියන්
පරිවර්තනය: මුතු පබා


කතන්දරය බූන්දිය හරහා කියවන්නට: පෝලෝ සහ දඟකාර නැගණිය

3 Response to "පෝලෝ සහ දඟකාර නැගණිය"

  1. කුරුටු ගෑ ගී පවුර says:
    February 20, 2015 at 7:52 AM

    අගෙයි...... සුන්දරයි

  2. මිගාර says:
    February 20, 2015 at 11:17 PM

    බොහොම අගෙයි!

  3. WildRose/SnowDrop says:
    February 22, 2015 at 3:45 PM

    Wow! excellent and interesting dear sister! :HUGS

Post a Comment

Show Emoticons