ආයාචනය

විහඟුනේ



සියැස් දහරින් නැහැවි නැහැවී
කිචි බිචිය දී ඉගිලෙනා
රෑන විහඟුනෙ හිමින් පියඹන්
මගේ කවියට උපමා වෙලා


මුතු පබා
2006.07.20

(ලංකාදීප.පන්නරය - 2008.06.22)

ආදරණීය ප‍්‍රගීත් අන්කල්

පහත සඳහන් ලිපිය සති කීපයකට පෙර (නැවතත්) අතුරුදහන් වූ, මාධ්‍යවේදී "ප්‍රගීත් එක්නැලිගොඩ" මහතා වෙනුවෙන්....        "රුවන්දි නෙරංජලා" සොයුරිය විසින් ලියූවකි.












ආදරණීය ප‍්‍රගීත් අන්කල්,

ප‍්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත 'ලංකාදිප' පත‍්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්බෙන්. ඔබ ඒ ලිපිය ඒව්වේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඔබ පළමුවරට පැහැරගෙන ගොස් නිදහස් කළ පසුවයි. අවුරුදු විස්සකින් පසු පළමු වතාවට.

මම ප‍්‍රගීත් අන්කල්ට ලියන්න පෙළඹුණේ ඒ සිදුවීම විසින් මා තුළ ඇති කළ කම්පනයයි. අවුරුදු විස්සක් කොයි තරම් දිගු කාලයක්ද?

ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට ඒ අගොස්තුවේදී පුවත් පළ වී තිබුණත් ඔබ මා කුඩාකළ දැන සිටි ප‍්‍රගීත් අන්කල් යැයි මට එක්වරම නොසිතුනේ ළමා විය ගැන මගේ මතකය දුබල නිසා විය හැකියි. ඒත් ඔබේ පින්තුරයක් අහම්බෙන් දැක්කාම මට ඔබ කවුදැයි යන වග මතක් වූයේ ඔබේ රුව මගේ ළමාවිය ගැන ඉතිරිව ඇති මතක කැබැලිති අතර විසි වසක් නොනැසී තිබූ නිසායි. ඔබට කතා කළ යුතුයැයි කියන හැඟීමෙන් දින කිහිපයක් තැවුල් විඳි මම අසීරුවෙන් ඔබේ දුරකතන අංකය සොයාගත්දා කොයිතරම් සතුටු වූවාද? ඔබට ලියූ පළමු ඊ මේල් පණිවුඩය මම ලිව්වේ වේදනාබර සතුටකින්. ඔබ විඳි දුක් ගැහැට ගැන ඇසීමෙන් හටගත් වේදනාව යටකොට ළමා වියේ මා දැන සිටි 'ප‍්‍රගීත් අන්කල්'ට විසි වසරකින් පසු ලියන්නට ඉඩ ලැබීම සතුට කොයිතරම්ද?

ඒත්, නැවතත් ඔබ අතුරුදහන් ප‍්‍රගීත් අන්කල්! මේ ලියන මොහොත වනවිට ඔබ ගැන තොරතුරක් නැතිව හරියටම දින 30ක්. ඔබ ගැන සිත නිවෙන පුවතක් දැකීමේ නොමැඩිය හැකි ආශාව මේ දවස් මුළුල්ලේ මා හැර නොයා රැඳෙන්නේ මගේ ළමා කාලය පිළිබඳ ඇති ප‍්‍රීතිමත් මතකයන් අතර ඔබ අදත් ජීවමාන නිසායි. ඔබ ලියා තිබුණා වගේම මම අද, මගේ තාත්තාගේ ඔබ වැනි ආදරණීය මිතුරන්ගේ සෙනෙහස විඳ හැදී වැඩුණු ඒ පුංචි දැරිය නොවේ. සමාජය ගැන දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්. නමුත් දෙවෙනි වතාවේත් අතුරුදහන් වූ ඔබ ගැන යමක් කරන්නට අපි කිසිවෙකු සමත් වී නැහැ. ප‍්‍රගීත් අන්කල් මට ලියූ වචන මතකද? අද තියන භීෂණකාරීත්වය ගැනත්, ඔබ වැන්නන්ගේ අවදානම් ඉරණම් ගැනත් ඒ ලියූ හැම වචනයක්ම මට කට පාඩම් වන තරම් මම ඔබේ ලියුම කියවා තිබෙනවා. නමුත් නැවතත් ඔබව පැහැරගෙන යන තුරුත්, ඉන් පසුත් අපට කළ හැකිව ඇති දේ කොයිතරම් අල්පද?

ප‍්‍රගීත් අන්කල්, මම ළමා කාලයේදී අත් දුටු අතීත භීෂණයට වඩා අද භීෂණකාරීත්වය වෙනස් කියා ඔබ ලියා තිබූණා මතකද? ඔබ නිදහස්ව ආ දවස්වල ලියූ ඒ වචනවල බැරෑරුම්කම මට දැනෙන්නේ දැන්. මගේ ජිවිතයේ අඳුරුතම කාලය වූ 88-89 සමයේ මාත් - අක්කාත් පණ පිටින් මළවුන් බවට පෙරළු භීෂණයෙන් මට කිසි කලක ගැළවුමක් ලැබෙතැයි මම හිතන්නේ නැහැ. නමුත් විසි අවුරුද්දකට කලින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය කළ ප‍්‍රතිපත්ති ගරුක මිනිසෙකු වූ මගේ තාත්තා ගැන මතකයෙන් පෑරෙන අපේ ජීවිත සුවපත් කරන්නට උදව් කළ ප‍්‍රගීත් අන්කල් වැනි ආදරණීය කාරුණික මිනිසුන්ට විසි අවුරුද්දකට පසුවත් ලංකාව අනාරකෂිත තැනක් වන්නේ ඇයි?

ඒ අතීත ළමා කාලයේ මතකය තවමත් සිහිනයන් වගේ. ප‍්‍රගීත් අන්කල් අපේ ගෙදරට එන්නේ 80 වැඩ වර්ජනයෙන් පස්සේ. සාලයේ වාඩිවී තාත්තා එක්ක දොඩමළු වන සිහින් සිරුරක් ඇති ඒ ප‍්‍රගීත් අන්කල් මට තවමත් මතකයි. අපි ඉගෙනගත් ඌව කරඳගොල්ලේ පුංචි ඉස්කෝලයට පුස්තකාලයක් හදන්න තාත්තා එක්ක මහන්සි වුණු ඒ දවස් අන්කල්ට මතකද? ඉස්කෝලේ ළමයින්ට බුදුන් වඳින්නට කියා අපේ ගෙදර ඉස්සරහ තියාගෙන අන්කල්ගේ අතින් නිර්මාණය කළ බුද්ධ ප‍්‍රතිමාවට අදත් ඒ ඉස්කෝලයේ දරුවන් වඳිනවා ඇති. නොදන්නා දුර ඈත ගමක, නොදන්නා මිනිසුන්ගේ දරුවන්ට වඳින්නට රෑ දවල් වෙහෙස වී ඒ බුදු පිළිමය අඹන්නට අන්කල් මහන්සි වූ දවස්වල මගේ තාත්තා ඒ අසළට වී බලා ඉන්නා විදිය මේ ලියන මොහොතෙත් මගේ හිතේ දුක්බර රූපයක් වී ඇඳෙනවා. විසි අවුරුද්දකට පසුව පවා ඒ දුප්පත් ඉස්කෝලයේ පියස්ස යටට එකතු වෙන දරුවන්ට වඳින්නට බුදු පිළිමයක් නෙලු නොදන්නා මිනිසා කොළඹ වීදියක හිටි ගමන් අතුරුදහන් වූ බව කරඳගොල්ලේ දරුවන් කෙසේ නම් දැනගන්නද?

ආදරණිය ප‍්‍රගීත් අන්කල්, කිසිදාක අමතක නොවෙන ඒ අඳුරු අතීතය මැද දිලෙන පහන් ආලෝකයක් වැනි ඔබේ මනුෂ්‍යයත්වය ගැන මේ ලියූ සියල්ලට වඩා අමතක නොවෙන තවත් දෙයක් මම ලියන්නම්. තාත්තා මුහුණ දුන් රුදුරු මරණයෙන් පසුව භීතියෙන් තැතිගත් නෑ හිත මිතුරන් බොහෝ අය අපේ තාත්තාගේ අළු පවා තියා ගන්න බිය වුණු කාලයක් ඒ. කුඩාවියේ සිටි අක්කාට හෝ මට තාත්තාගේ අවසන් මොහොත පවා දකින්නට ඉඩක් ලැබුණේ නැහැ. අපි උස් මහත් වී වැඩිහිටියන් වූ දවසක අපට දෙන්නට අපේ තාත්තාගේ අළු ළඟ තබාගෙන පරිස්සම් කර දෙන්නට තරම් හදවතක් හා ධෛර්යයක් තිබුණේ ඔබට බව මම දැනගත්තේ ගොඩාක් පසු කාලයකයි. නමුත් ඒ භීෂණයේ කුණාටුවෙන් බිඳී විසිරුණු කැදැල්ලකින් විසිව තැනින් තැන හැදී වැඩුණු අක්කාත්, මමත් ඔබ හමුවන්නට ප‍්‍රමාද වූ නිසා, ඔබ ඉතා ගෞරවණීය විදියට මගේ තාත්තාගේ අළු කැලණි නදියේ පා කළ බවත් මම දැනගත්තේ ඒ කාලයේදීයි. කොළඹ වීදියක මහ රැයක අතුරුදහන් වූයේ ඒ තරම් උතුම් මනුෂ්‍යයත්වයෙන් හෙබි දුර්ලභ මිනිසෙකු බව මිනිස් තෙතමනයක් නොදැනෙන සමාජයකට කියා තේරුම් කර දෙන්නට මට කවදා නම් පුළුවන් වේවිද ප‍්‍රගීත් අන්කල්?

ආදරණිය ප‍්‍රගීත් අන්කල්, මගේ තාත්තා එනතුරු මග බලා ඉන්න තිබුණා නම් ජීවිතය කෙළවර වන තුරුම අපේකෂා අත් නොහැර මට බලා ඉන්න හයිය තිබුණා. භීෂකයින්ගේ දෑතින් විකෘති කළ මගේ තාත්තාගේ කෙසඟ සිරුර ඒ බලාපොරොත්තු මගෙන් උදුරා දැමුවා. ඒත් ප‍්‍රගීත් අන්කල් නැවත එන බවට අද මගේ විශ්වාසය ශක්තිමත්. කිසි දවසක දැක නැති අන්කල්ගේ පවුලේ අය සමග අන්කල් නැවත එනතුරු බලා ඉඳින මිනිසුන් අතර මමත් රැඳී ඉන්නේ ඒ නිසායි. ඒ ආ දවසක සන්සුන් සිතින් අන්කල් මේ ලිපිය කියවන බව මට විශ්වාසයි. නැවත පෙරළා එන්නට ප‍්‍රගීත් අන්කල්ට ශක්තියක් වෙන්නේ අපි හැමෝම තුළ ඇවිළෙන ඒ විශ්වාසයයි.

මට ලෝකයක් තරම් ආදරය කළ මගේ තාත්තාගේ අවසන් අළු බඳුන අපි වෙනුවෙන් රැකගන්නට හදවතක් තිබූ ඔබ මගේ තාත්තාගේ ආදරය විසින්ම රැකදෙන බව මට ඒකාන්තයි !



මම, නන්දේගේ දුව


රුවන්දි නෙරංජලා | Ruwandi Neranjala

My Dear Butterfly




















My dear butterfly
Please don't try to fly
No! not this moment in time
Your feathers are still soaked
So stay a bit in my hand
Till your feathers get dry

My dear butterfly
You didn't hear me right
You jumped onto the wet floor….

See ! You still can't fly

I will catch you once again
But not to hurt you!
Please wait and listen
At least until the rain stops falling

My dear butterfly
Why did you fly away from me ?
See, You fell down once again

I want to catch you again
Please stop hurting yourself
But I see you try so hard
Move your broken feathers
Do you still want to fly ?
I wish I could hear you
Then I might have a chance
To bring you where ever you want to go

My dear butterfly
I think I will leave you alone

.
.
.
.
.
.
.
.

But Now !

I see the weather out there
Hard Rain! Hard Wind !
And I wonder
Whether you are all right
Or are you still alive !


Muthu Paba
30.05.2008

සැඟවුණු සෙනෙහස



මා ළගම වාඩි වී
නිසසලව එක හිතින්....
පෙම්පතක් නුඹ ලියයි
ඇයට මුළු හදවතින්....
කඳුළු බිඳු දෙනෙත තුළ
හිරකරන් මම ඉතින්....
බලාඉමි දුර ඈත
ආදරේ නොකියමින්....
මිතුර නුඹ හිනැහෙන්න
ජීවිතේ මුළුමනින්....
පතන්නම් නුඹෙ මිතුරි
දුක සඟව හදවතින්....


මුතු පබා
2006

නොමනා කේන්තිය

ඉක්මණින් කෝපයට පත්වෙන පුංචි පිරිමි ළමයෙක් සිටියා. දිනක් ඔහුගේ පියා, ඇණ වලින් පිරුණ මල්ලක් ඔහුට දී කෝපයට පත්වෙන සෑම ඉසිඹුවකදීම, එයින් ඇණය බැගින් ගෙන ලීයෙන් තැනූ වැටට එය සවි කරන්නට ඔහුට අණ කළා.

 පළමු දවසේ ඇණ තිස්හතක් වැටට සවි කිරීමට ඔහුට සිදුවුණා.

සති කීපයකට පසු, සැනෙකින් කෝපයට පත්වෙන ස්වභාවය පාලනය කර ගැනීමට ඔහු සමත් වූ නිසා, සවි කිරීමට සිදු වූ ඇණ ගණනද අඩු කරගැනීමට ඔහුට හැකි වුණා. එහෙයින් කෝපය පාලනය කරගැනීම, ඇණ සවි කරනවාට වඩා පහසු බව ඔහුට තේරුණා.

අවසානයේ ඉක්මණින් කෝපවන ස්වභාවය ටිකක්වත් මතු නොවුණ දවසේ, ඔහු ඒ බව සිය පියාට දැන්වුවා. එවිට පියා ඔහු උගත පාඩම දිගටම පවත්වා ගැනීමට, වැටට සවි කළ ඇණ සියල්ලම දිනකට එක බැගින් ගලවන්නට නියම කළා.

කෙමෙන් කෙමෙන් දින ගතවී ඇණ සියල්ලම වැටෙන් අතුරුදහන් වුණ බව, ඔහුට තම පියාට දන්වන්නට හැකි වූ දවස ද උදා වුණා.

එවිට පියා සිය පුතුගේ අතින් අල්ලගෙන වැට ළගට ගොස්........

”පුතා ඔයා ගොඩක් හොඳට වැඩේ  කරලා තියෙනවා.... ඒත් බලන්න මේ වැටේ හිල් කොච්චර තියෙනවද කියලා.... දැන් මේ තියෙන වැට ආයෙත් කවදාවත් කලින් තිබුණ වැට බවට පත්වෙන්නෙ නෑ....  
 
.... ඔයා තරහෙන් වචන පාවිච්චි කරනකොට, ඒ වචනත් මේ විදිහටම කැළලක් ඇති කරනවා. මනුස්සයෙකුට පිහියකින් තුවාලයක් සිදු කරලා, ඊට පස්සෙ කොච්චර ”මට සමාවෙන්න” කීවත් වැඩක් නෑ.... තුවාලයේ කැළල එලෙසින්ම පවතිනවා.... කට වචනයෙන් සිදුවෙන තුවාලයත් ශාරීරිකව වෙන තුවාලය තරමටම දරුණුයි....” කියා සිය පුතුට ආදරෙන් තේරුම් කර දුන්නා.


”බෑඞ් ටෙම්පර්” කතාවේ පරිවර්තනය.


පරිවර්තනය : මුතු පබා
2010

වරද



දවසක් ඉර. . සඳ ට කීවා....

”දවල් වරුවට වසුන්තරාව සරසන්න. . ඔහේට කොහෙත්ම අයිතියක් නෑ....”

සඳ ත්. . ගත් කටටම උත්තර දුන්නා....

” හවස හයෙන් පස්සෙත් දවාල ද ? . . .. තමුන්ට පුළුවන් නම් හවස හයෙන් පස්සෙත් . . අර පාට මේ පාට විසික් කර කර.... වසුන්තරා ව හැඩ කරන්න.... දවාල ට මම ටිකක් පෑයුවම මක් වෙනවද ? ”



මුතු පබා
2007.09.17


(
රිවිර.අරුණැල්ල - 2007.10.07)

රැවටීම



හිමි හිමින්
සැඟවෙන්නෙ
හිත ගොඩක්
රිදෙයි කියලද ?


මුතු පබා
2007.10

මව් සෙනෙහස



අම්මාවරුන් ගේ දිනය නිමිත්තෙන් සැතපුම් ගණනාවක් දුරින් වෙසෙන තම මවට මල් පොකුරක් යැවීම සඳහා, මල් වෙළඳසැල ඉදිරිපිට තම වාහනය නැවැත්තූ ඔහු, ඉන් එළියට පැමිණෙනවාත් සමගම ඒ අසල බර කල්පනාවකින්, ඉමහත් දුකකින් පසුවෙන පුංචි ගෑණු ළමයෙක් දුටුවා.

ඈ ළඟටම පැමිණි ඔහු ”මොකද්ද ප‍්‍රශ්නෙ” යැයි ඇගෙන් විමසුවා.

”මට මගේ අම්මට රතු රෝස මලක් ගන්න ඕනැ. ඒත් මං ගාව තියෙන්නෙ ඩොලර්-සත හැත්තැපහයි. රතු රෝස මලක් ගන්න නම් ඩොලර් දෙකක් ඕනැ” යි ඇය ඔහුට උත්තර දුන්නා.

දයාබරත්වයෙන් ඇය වෙත මද සිනා නැගූ ඔහු ”එන්න මාත් එක්ක.... මම ඔයාට රෝස මලක් අරන් දෙන්නම්” යැයි කියා, ඇය සමග මල් වෙළඳසැල වෙත පිය නැගුවා.

පුංචි ගෑණු ළමයාට රෝස මලක් රැගෙන දී, සිය මවට මල් පොකුරක් ද ඇණවුම් කර, එය මව වෙත යැවීම සඳහා සියල්ල ඉටු කළ ඔහු, වෙළඳසැලෙන් පිටවෙන අවස්තාවේදි.... ”මම ඔයාව ගෙදර ළඟින් බස්සවන්නද ?” යැයි ඇගෙන් ඇසුවා.

”කරදරයක් නැතිනම් මාව, මගේ අම්ම ළඟටම ගිනියනවද ?” යැයි ඇසූ ඇය, සුසාන භූමියට යන මාර්ගය ඔහුට පෙන්නුවා.

වාහනයෙන් බැස සොහොන්බිම වෙත ගිය ඇය, දවස් කීපයකට කළින් මිහිදන් කළ සිය මවගේ දේහය ඇති සොහොන්කොත ළඟ රතු රෝස මල තැන්පත් කෙරුවා.

එය දුටු ඔහු ඉක්මණින් නැවත මල් වෙළඳසැල වෙත ගොස්, අන්තර්ජාලය හරහා තම මවට යැවීම සඳහා ඇණවුම් කළ මල් පොකුර අවලංගු කර, වෙනත් මල් පොකුරක් රැගෙන, සැතපුම් ගණනාවක් දුරින් වෙසෙන තම මව කරා ගමන් ඇරඹුවා.


කර්තෘ අඥාතයි


පරිවර්තනය : මුතු පබා
2010