(නො)දුටු උල්කාපාතය

නුඹගැබ සිසාරා 
දිවයන දෙනෙත ට
අහස් කුසුම්
හිනැහෙයි ලෙන්ගතුව
”අදත් නැහැ”යි කියන්නට
බලාපොරොත්තු වෙන
එතරුව....

කප්පරක් ප‍්‍රාර්ථනා
සිතෙහි ගුලිකර
එකමෙක පැතුමක්
ඉටු වේවායි පතන්නට,
කොතනකින් හෝ ගගනතේ
එතරුව
මතු වේ යැයි සිතුවද....
නුඹ විලසින්ම
එයද සැඟවී
අඳුරු වලා යට....

සුළං රැල්ලකට පවා
හදවත අරණේ
පිපි නොපිපි,
කැකුළු ද මල් ද
නටුවෙන් ගිලිහෙද්දි....
සුවඳ විහිදුවමින්
විකසිත වෙන්නට
පාරමිතා පුරන,
සෙනෙහසේ ඉඳුවර
සිහිනය පමණක්ම
හදවතේ සියලුම
වැර දමා රැකගමි....
මහඹරින් මතු වී
දෙනෙත අභියස
සිත්තම් වෙනතුරා....


මුතු පබා
2009

(ලක්බිම.මංජුසාව.කවි - 2010.01.03)

8 Response to "(නො)දුටු උල්කාපාතය"

  1. Anonymous Says:
    May 2, 2010 at 5:04 PM

    ඇයි ඉතින් උල්කාපාතයක් එනකල්ම බලං ඉන්නේ???

  2. Eranga Perera (Muthu Paba) says:
    May 2, 2010 at 5:55 PM

    එකමෙක පැතුමක්
    ඉටු වේවායි පතන්නට..

  3. Anonymous Says:
    May 3, 2010 at 8:01 PM

    හෙහේ... එහෙම ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙලා තියෙනවාද? මීට ඉස්සෙල්ලා..
    මාත් මේ හදන්නේ එහෙම වෙනවා නම්, අහස දිහා බලං ඉන්න නොකා, නොබී, කිසිම දෙයක් නොකර..

  4. Eranga Perera (Muthu Paba) says:
    May 3, 2010 at 9:33 PM

    "උල්කාපාතයක් (Shooting Star) දැක්කම පතන පැතුම් ඉටු වෙනවා" කියන කතාව පිස්සා අහලා නැද්ද ? අහස දිහා බලන් උන්නා කියලා උල්කාපාත වැටෙන්නෙ නෑ. නොහිතපු වෙලාවක තමා ඒවා වැටෙන්නෙ. :)

  5. Anonymous Says:
    May 3, 2010 at 10:21 PM

    මං දැකලා තියෙනවා හින්දි ෆිල්ම් වල තරු කඩං වැටුනාම ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙනවා කියලා.

    ඒත් ඉතිං, ඔයා වගේ sophisticated, modern thinking ගෑනු ළමයෙක් එහෙම හිතනවා කියලා මට හිතුනේ නෑ මෙච්චර කලකට.
    ඒකයි මං ඇහුවේ. :)

  6. Eranga Perera (Muthu Paba) says:
    May 3, 2010 at 10:59 PM

    ඒක ගොඩක් පැරණි කියමනක් පිස්සො. ඒ ගැන තවත් දැනගන්න මේ අඩවියට යන්නකො..

    http://www.wisegeek.com/where-does-the-practice-of-wishing-on-a-shooting-star-come-from.htm

  7. Anonymous Says:
    May 3, 2010 at 11:09 PM

    ස්තූතියි ලින්ක් එකට..
    කොහොම උනත් කමක් නෑ, තරු කඩං නොවැටුනත්, ඔයාගේ ප්‍රාර්ථනා හැම එකක්ම ඉෂ්ඨ වෙන්න කියලා, මං බුදුන් වදිනකොට ප්‍රාර්ථනා කරන්නම්කෝ..

  8. Eranga Perera (Muthu Paba) says:
    May 5, 2010 at 1:17 PM

    ස්තූතියි පිස්සො :)

Post a Comment

Show Emoticons