ගිම්හානයේ දවස්

අඩක් ඇර තිබූ කවුළුවෙන් හිරු රැස් පෙරී අවුත් නිදි බර මා දෙනෙත අභියස දිලිසෙන්නට වූ නිසා, අතපය ගසා දමා ඇඳෙන් බහින්නට මම දැඟලුවෙමි.

ඇඳෙන් නැගිට ඇඟ මැලි කඩද්දී, ඇට කටු කැඩෙන සද්දයක් මතු වූ නිසා මගේ ඇඟ කිළිපොළා යන්නට විය. සිරුරේ සමබරතාවය රැක ගන්නට අසමත් වූ මම, ඇඳ අද්දර තිබූ රතු පැහැ පුටුවේ ඇලවුණෙමි. දමා තිබූ ගුවන්විදුලියෙන් කාළගුණ වාර්තාව කියවමින් සිටි නිවේදකයාගේ උද්යෝගිමත් කටහඬින් මුළු කාමරයම පිරුණේය. මුළු දවසම පැහැපත් බවින් යුක්ත වෙන අතර, අහස ද පැහැදිලිව පවතින බව ඔහු කීවේය. ගෙවුණු මුළු රැය පුරාම මා දිගු නින්දක පසු වූවත්, ගුවන්විදුලිය දමා තිබූ නිසා සිහිනයක් එක දිගට දැකීම අසීරු කරුණක් විය. මොහොතකට මට මරණයේ දර්ශණයක් පෙනුණේය.

මරණයේ අදිසි හස්තය කෙමෙන් කෙමෙන් මගේ ගෙල වටා ළං වූ නිසා, මට මහත් පිළිකුළක් දැනුණි. මගේ උදරය දඟලන්නට විය. පියවි ස්වභාවයට එන්න තැත් දරමින්, මගේ පුංචි කාමරයේ අනෙක් පස තිබූ මුව සෝදන බේසම ළඟට ගියෙමි. බාගෙට පිරී තිබූ වතුර වීදුරුවක් ඉක්මණින් අතට ගත් මම, අසීරුවෙන් එය බිව්වෙමි. ඉන්පසු මගේ මනස සංසුන් කරගැනීමට හිස දියේ ගිල්වන්නට පෙර, වතුර සීතල කරගැනීම සඳහා ජල කරාමය ඇර තැබුවෙමි. මෘදු සුළඟක් හමායන අතර, දවසේ වැඩි හරියක් මුහුද නිශ්චලව පවතින බව නිවේදකයා පවසනවා මට ඇසුණි.

පහළ වීථීයෙන් ඇසෙන කෝච්චි සහ රථවාහන වල ගොරහැඩි ශබ්ද අතරින්, පිටත තුරුහිස් වල ලැග උන් කුරුලු කොබෙයියන් ගීත ගයන නද ඇසෙන්නට විය. මිනිස්සු වැඩට යනවා! මට සැණෙකින් සිතුණි. ඒ සිතුවිල්ලත් සමග අලුත් දවසක සිතුවිලි මනසට ගලා එන්නට විය. විවිධාකාර අතුරු අන්තරා සැඟවී සිට පහර දිය හැකි දවසක්. පාර තොටේ මිනිසුන් එකිනෙකා නොහඳුනන බැවින්, එහි දී සිදුවෙන එවැනි විපත්ති පිළිබඳ කිසිවෙක් සැලකිලිමත් නොවෙති. නමුත් වීථී පුරා පවතින නන්නාඳුනන නිහඬතාවය බිඳිය හැක්කේ ද විපතකටම පමණි.


හිසේ තෙත තිබියදී ආ මගින්ම නැවතත් ඇඳ ළඟට පැමිණි මම එහි ඉදගත්තෙමි. එවිට ඇඳෙන් ක්‍රීක් ශබ්දයක් නැගුණු අතර, ඇඳේ වූ රෝස පැහැ ඇතිරිල්ල ඉවත දමා එය හිමින් සීරුවේ බිමට වැටෙනායුරු බලා සිටියෙමි. කුරුලු කිරිලියන් ඝෝෂාකාරීව කෑ ගසමින් සිටි අතර, කාන්තාවක් ඇගේ දරුවාට අඬගසනවා මට යාන්තමින් ඇසුණි.

මම කවුළුවෙන් එළිය බැලුවෙමි. ලා නිල් අහසේ සුදු වළාකුළු සෙමෙන් පාවෙමින් තිබුණි. රතුපාට ගඩොලින් තැනූ දුම් කවුළුව සුපුරුදු පරිදි එලෙසින්ම තිබුණි. එහි ජරාවාස වූ බිත්ති ඒ අවට තිබූ අනෙකුත් ගොඩනැගිලි වලට වඩා උසින් දිස්වුණි. දුම් කවුළුව නිල් අහස්තලයට විරුද්ධව පැහැදිලිව කැපී පෙනුණු අතර, නිහඬ ස්මාරකයක් ලෙස දිස්වුණු එය අවට පරිසරයෙන් ද පහසුවෙන් වෙන්කොට හඳුනාගත හැකිවිය. ඊට එහා මිටි කඳු මුදුනේ කඳවුරක් වැනි දෙයක් පිහිටුවා ඇති අයුරු මම දුටුවෙමි. කන්දේ බටහිර දෙසින් රතු පැහැ පියසි වලින් සමන්විත සුදු පැහැ ලෑලි ගෙවල් පෙළක් තිබූ අතර, ඉන් කොටසක් පයින් ගස් වලට මුවා වී තිබුණි.

පස්වෙනි මහලේ තිබූ මගේ කාමරයේ සිට එළිය බලන විට, නගරයේ විශාල කොටසක් පෙණුනේ, එක පිට එක කතිර ගැසී අවුල් ජාලයක් ලෙස දිස්වුණු රේල්පීලි රාශියක් ද සමගිනි. එය දුම්රියපොළට කාර්යබහුල උදෑසනක් විය. කෝච්චියක් වෙනස් මගකින් යන්නට සලස්වා තිබූ අතර, දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවකයෙක් එහි රියදුරාට මග පැහැදිලි කරමින් සිටියේය. නිල් පාට නිල උඩවැස්මක් සහ රතුපාට තොප්පියක් පැළඳ හුන් සේවකයා, ඔහු අත තිබූ කහ පාට කොඩිය දුම්රිය රියදුරාට වනමින් සිටියේය. ඔහුගේ දකුණු අතේ වූ ඝන යකඩ පොල්ල ඈතට දිස්වූයේ, ඇසිල්ලකින් පහර ගසා කවුරුන් හෝ මරා දැමිය හැකි ආයුධයක් ලෙසය. ජනේලය තුළින් මට ඔහුව දැකගත හැකි වූ අතර, ඔහුගේ චලනයන් ද අනුගමනය කළ හැකි විය. මා පදිංචිව සිටින පරණ මහල් නිවාසයේ සිට දුම්රියපොළට වූයේ ගලක් ගැසිය හැකි තරම් දුරකි. දුම් කවුළුව කිසිම දුමක් පිට කළේ නැත. එය සෙනසුරාදාවක් වූ නිසා කෝපි කම්හල වසා දමා තිබුණි. සෑම බදාදාවකම සහ සිකුරාදාවකම දුම් කවුළුවෙන් කටුක අළුපැහැ දුමක් පිටවූ අතර, ඒ සැර දුම අලසකමින් මුළු දවසම අහල පහල ගැවසෙමින් තිබිණ.

හදිසියේම කිසිම දැන්වීමකින් තොරව සියලුම දේ ඛේදවාචකයක් විය. කහපාට කොඩියක් අත දරා සිටි මිනිසා මහළු පෙනුමකින් දිස්වූ අතර ඔහුගේ මුහුණ දුකින් බරවිය. සුදු ලෑලි ගෙවල් වසා සිටි පයින් ගස් වේදනාවෙන් සහ හුදකලා බවකින් දිස්වුණි. දුම්රියපොළේ නවතා තිබූ අනෙකුත් දුම්රිය දිස්වූයේ මිනී පෙට්ටි විලසය. තදබද වී රැස්වුණු මගීන් සුළු පිරිසක් ගල් ගැසුණා සේ නිහඬව සිටගෙන සිටි අතර, ඔවුන්ව නැවත යථා තත්වයට ගෙන ඒමට උත්සහ දැරීම නිශ්ඵල ක්‍රියාවක් හෙයින්, මරණය සිදුවිය හැකි වෙනස් ආකාරයන් පිළිබඳව නිදහසේ ගැඹුරට හිතන්නට මම හිස්ව තිබූ මුළුතැන්ගෙයට පසුබා ගියෙමි.



["Nasibu Mwanukuzi"ගේ "Days Of Summer" කතාවේ පරිවර්තනය.]

පරිවර්තනය : මුතු පබා
2010

2 Response to "ගිම්හානයේ දවස්"

  1. .::පිස්සා::. says:
    May 6, 2010 at 5:29 PM

    මෙයා මේ මැරෙන්න උපක්‍රම හොයනවද? මම මේ තේරුම් ගත්ත විදිය හරිද දන්නේ නෑ, මුතූ..

    පසු ලිවීම
    මම ඔයාගේ බ්ලොග් එක කියවලා, මොනවා හරි දෙයක් ගැන අහන්නේ, මට නොතේරුනු තැන ගැන, හරියටම දැන ගන්නයි.

  2. Muthu Paba says:
    May 6, 2010 at 9:37 PM

    මම කැමතියි මේක, ගිම්හානයේ දවසක සිදුවුණ එක් සිදුවීමක් විදිහට විතරක් හිතන්න.. ඒත් ඒ මගේ අදහස.. :)

Post a Comment

Show Emoticons