හිමට මිතුරු සුදු හිම මල

ඔන්න පොඩිත්තනේ, හැම දෙයකටම පාටක් තිබුනලූ හිම වලට ඇරෙන්න. පොළොව දුඹුරු පාටින් තිබුණා. තණකොළ කොළපාටින්, රෝස මල් රතුපාටින්, අහස නිල්පාටින් වගේම ඉරත් රත්තරන් පාටට හිටියලූ. ඉතිං හිම වලට විතරක් පාටක් තිබුණෙ නැති නිසා හිම හිතුවා පාටක් තියෙන හැමෝගෙන්ම පාට පොඞ්ඩ පොඞ්ඩ ඉල්ල ගන්න.
ඉතිං හිම ඉස්සෙල්ලාම ගියේ පොළොව ලඟට. ගිහින් ඇහුවා ” මට ඔයාගෙ දුඹුරු පාටින් පොඞ්ඩක් දෙනවද ?”
ඒත් පොළොව නිදාගෙන හිටිය නිසා කිසිම උත්තරයක් දුන්නෙ නෑ.
ඊට පස්සෙ හිම ගියා තණකොළ ගාවට. ගිහින් ඇහුවා ” මට ඔයාගෙ කොළ පාටින් පොඞ්ඩක් දෙන්න පුළුවන්ද ?”
ඒත් තණකොළ ලෝබකමට කිසිම දෙයක් ඇහුනෙ නෑ වගේ හිටියා.
ඊට පස්සෙ හිම ගියා රෝසමලක් ගාවට. ” අනේ ඔයාවත් මට ඔයාගෙ රතු පාටින් පොඞ්ඩක් දෙනවද?” .
හිම රතු රෝස මල ලඟට ගිහින් බොහොම දුකෙන් ඉල්ලා හිටියා. ඒත් රෝසමල අහංකාරකමින් අහක බලා ගත්තා.
හිම ගොඩක් දුකින් කෑගහල අහසින් ඇහුවා ” මට ඔයාගෙ නිල් පාටින් පොඞ්ඩක් දෙනවද? ” ඒත් අහස ගොඩක් දුරින් හිටිය නිසා, හිම කියපු කිසිම දෙයක් අහසට ඇහුණෙ නෑ.
අනික් හැමෝගෙන්ම ඇහුවා වගේ ඉරෙනුත් ඇහුවා, ”හිරුකුමරි යේ මට ඔයාගෙ රත්තරං පාටින් පොඞ්ඩක් දෙන්න පුළුවන්ද ?”
ඒත් හිරුකුමාරි ගොඩක් වැඩ කර කර හිටිය නිසා, උත්තරයක් දෙන්න බැරි වුණා.
අන්තිමට හිම කැලෑවක් අයිනෙ හිටිය පුංචි සුදුපාට මලක් ලඟට ගිහින් ඇහුවා ”සුදුපාට මලේ ඔයාවත් මට ඔයාගෙ සුදු පාටින් පොඞ්ඩක් දෙනවද ?” කියලා.
”ඇත්තටම ඔව් . ඔයාට ඇති තරමක් ගන්න.” කියලා සුදුපාට මල කීවා.
හිම සුදුපාට මලෙන් සුදුපාට ටිකක් ගත්තා විතරයි හිමත් සුදුම සුදුපාට වුණා.
ඉතින් සුදුපාට මල කරපු ඒ උදව්ව නිසා, එදා ඉදන් හැමෝම ඒ සුදුපාට මලට කීවේ ”සුදුහිම මල” කියලයි. ඒ විතරක් නෙමෙයි ඒ දෙන්නා කොච්චර යාළුද කියනවානම් සීත කාලෙදී හිම වලට ඔරොත්තු දෙන එකම මලත් ”සුදු හිම මල” විතරයි.
පරිවර්තනය: මුතු පබා
කතන්දරය බූන්දිය හරහා කියවන්නට: හිමට මිතුරු සුදු හිම මල
Read Users' Comments (3)