විහඟ මතකය



බාරයක් ඔප්පු කිරීම සඳහා පෝය දිනක පවුලේ දෙතුන් දෙනෙක් සමඟ කළුතර බෝධියට පැමිණි අරුණෝද, උඩ මළුවේ කළු ගං කුමරියට මුහුණලා රෝද පුටුවට වී සිටී. මේ අරුණෝද වසර නමයකට පසු කළුතර ආ ප්‍රථම වතාවයි. රෝද පුටුව නිසා සෙනඟ මැදින් විහාර ගෙට යෑම අපහසු වූවාටත් වඩා, වැලි මළුවට වී තනියම සිටීමට අරුණෝද ප්‍රිය කළේය.

පුංචි පුංචි අහස් කුසුම් කෝටියක් දැල්වෙන රාත්‍රි අහසේ අරුණෝද ගේ දෙනෙත සිරවිය. තරුකැට නිවී දිලී පත්තුවෙන්නෙ ”අරුණෝද ඔයා තනිවෙලා නැහැ” යි කියන්නට මෙනි. අරුණෝද ගේ සිත කෙමෙන් අතීතයට ඇදෙන්නට විය.

”මචං අහස බලාගෙන භාවනා කරාට කමක් නෑ, රහත් වෙන්න නම් එපා.”

තුවක්කුව කරේ එල්ලගෙන පමණක් නොව එය දෑතින්ම අල්ලගෙන සිටි විහඟ රහසින් වගේ කතා කළේ, උතුරුකරයේ ගස් ගල් වලටත් කන් තියෙන නිසා විය යුතුය.

”නෑ බං.. මට පවනිව මතක් වුණා.” අරුණෝදත් හිමින් උත්තර දෙන්නට විය.

අරුණෝද සහ විහඟ එකම පාසැලේ එකම පන්තියේ අකුරු කරපු මිතුරන් විය. පාසැලෙන් ඉවත් වී වසර කිහිපයකට පසු දෙදෙනාටම උතුරු නුවර එකම සටන් බිමක සේවය කරන්නට සිදුවූයේ දෛවයේ හාස්කමකට මෙනි. අරුණෝදට පවනිව මුණ ගැසුනේ ඊට වසරකට විතර පෙරය. ඉඩ ලද විටක කෙසේ හෝ පවනිට ලියුමක් ලීවත්, ගමේ යන තුරුම සමහර වෙලාවට එය තැපැල් කිරීමට අවස්ථාව නොලැබේ.

”මං දන්නවා මචං.. මටත් හැම වෙලේම මගේ කෙල්ලව මතක් වෙනවා.”

අරුණෝදට ද තම මිතුරා ගැන සියුම් දුකක් ඇති වුණත්, වදනකින් හෝ එය නොපෙන් වීමට ප්‍රවේසම් විය. විහඟ - නාමලී ආදර සම්බන්ධය ඇති වුණේ සාමාන්‍යපෙළ පන්තියේදි බව අරුණෝදට හොඳට මතකය. හමුදාවට බැඳෙනකොටත් විහඟ නාමලී හා විවාහ වී අවසානය. හමුදාවට බැඳෙන්නට එපා කියා නාමලී ඇඬුවාය. වැලපුණාය. නොකා නොබී දවස් ගෙව්වාය. ඒ මොනවා කරත් විහඟ ගේ සිත වෙනස් නොවන වග දුටු විට, දුක සඟවා සිනාසුණාය.

”අපෙ අම්මා නාමලීට ගොඩක් ආදරෙයි බං.. ඒක මගේ හිතට ලොකු සැනසිල්ලක්”

රට වෙනුවෙන් දිවි පුද දෙන්න දෙදිනකට කළින් තම ආදරණීය මිතුරා කී සැටි අරුණෝදට සිහිවෙයි. ඒ වෙලේම තම කලිසම් සාක්කුවට අත යැවූ අරුණෝද තම දයාබර පෙම්වතියගේ ඡායාරූපයක් එළියට ගත්තේය.

”විහඟ.. විහඟ.. විහඟ..” මොහොතකට අතීත ලොවින් පියවි ලොවට පැමිණි අරුණෝද තම මිත්‍රයාගේ නම තෙවරක්ම හිතින් මිමිණුවේය.

දස මසක් කුස දරා ලොවට බිහි කළ තම සිඟිති පුතුගේ.... දුක සැප බෙදා ගනිමින් මැරෙන තුරුම එකට ඉන්නට දිවුරුම් දුන් තම දයාබර සැමියාගේ විහඟ රාවය සදහටම නිහඩ වී යද්දී, සිතේ පිළිසිදෙන මහමෙරක් දුක වේදනාව කැටිවුණ විලාපයෙන් එදා මහ පොළොව දෙදුරුම් නොකෑම අරුණෝදට අද පුදුමයකි.

”එක අතකට පොළොව උණත් කොච්චර අඳෝනා විලාප අහන්නද..” අරුණෝදට සිතිණි.

”දැන් නාමලී මොනා කරනවා ඇත්ද..” නාමලීගේ හැඩරුව මනසින් මවාගන්නට උත්සුක වෙමින් අරුණෝද සිතුවේය.

විහඟ ගේ අවසන් කටයුතු සිදු කෙරුණ දා නාමලී විලාප දෙමින් හැඬූ ආකාරය අරුණෝද ගේ දෙසවන පතුලේ දැනුදු රැව්දෙන්නාක් මෙන් ඇසෙන්නට විය. ඇයට කීප විටක්ම කලාන්තය දමනවා, තම අනෙකුත් මිතුරු සෙබළුන් හා සිටිය ද අරුණෝද දුටුවේය.

විහඟ ගේ දේහය මිහිදන් කළේ ඔවුන්ගේ ගෙදර ඉස්සරහ විශාල මිදුලේ වම් පැත්තෙනි. ගොක්කොළ වලින් සරසා තිබූ බිම් ප‍්‍රදේශය පුරා, ගස් අතු ඉති අතරින් යන්තමට බේරුන පඬුපැහැ මලානික හිරු එළිය පැතිරී තිබුණේ ද ශෝකය දනවන්නට මෙනි.

තම දයාබර සැමියාගේ අවසන් ගමනට පස් පිඩක් වත් දැමීමට නාමලීට සිහියක් නොවීය. දෙතුන් දෙනෙකුගේ වාරුවෙන් සිටගෙන උන් ඇගේ දෙනෙත් පියවී තිබුණේ, හඬා වෙහෙසට පත් වී ඇති නිසාද නැතහොත් අවසාන ගමන යන තම ආදරණීය සැමියාගේ ශරීරය සැඟවූ හිත්පිත් නැති මිනී පෙට්ටිය පොළවට යට කරනවා බලා සිටීමට නොහැකි වුණ නිසාද....

”පව් අහිංසකී” අරුණෝද ට සිතිණි.

රාජකාරිය නිසා විහඟ ගේ තුන් මාසයේ දානයට සහභාගි වෙන්නට අරුණෝදට කළුතර යා නොහැකි වුණත්, අවුරුද්දේ දානයට එකතු වීමට නිවාඩුවක් ගත හැකි විය. ඒ අරුණෝද නාමලීව දුටු අවසාන අවස්ථාවයි. ඊට මාස හය හතකට පසු රණබිම හටගත් සටනකින් අරුණෝද ගේ වම් පාදය අහිමි විය.

”සමහර විට දැන් නාමලී වෙන කෙනෙක්ව බැඳලා බබාලත් ඇති. ඇවිදගන්න විතරක් බැරිවුණ තමාව නොසලකා තම දයාබර පෙම්වතියව සිටි පවනිට වෙනතක් බලාගන්නට හැකි වුණා නම්, මනුස්සයා නැතිවෙච්ච ගෑණියෙක්ට කෙහොම කරන්න බැරිද....” අරුණෝද හිතින් තර්ක කළේය.

”බලන් යනකොට ගෑණු ඔක්කොම එකයි.”

කාලාන්තරයකට පසු සිය දෙනෙත තෙත් වුණේ පවනිව සිහිවීමෙන්ද, නැති නම් තම සොඳුරු මිත‍්‍රයා සිහිවීමෙන්ද කියා අරුණෝදට නොවැටහිණි. වටහාගන්නට ද මනස වෙහෙසවන්න නොසිතූ ඔහු දකුණතේ මහපට ඇඟිල්ලෙනුත් දබර ඇඟිල්ලෙනුත් දෙනෙත පොඩිකර නැවතත් කළු ගං කුමරිය දෙසට ඇස් යොමු කළේ, තමා උන් දිහාවට බැතිමතුන් කීපදෙනෙක් එනු දුටු නිසාය.

රන් තැටියක් වන් පෝය හඳ කළු ගඟේ වැතිරී ගිමන් හරියි. පුරහඳේ රන් කිරණ කළු ගඟ පුරාවටම ලෝබකමක් නැතිව විසිරී ඇත. අතීත ආවර්ජනා කළු ගං කුමරිය හා බෙදාගන්නට අරුණෝදට තව වෙලා නොලැබුණි.

”අරුණෝද

කටහඬ පැමිණි දිහාව බැලුව අරුණෝද පුදුමෙනුත් පුදුමයට පත්විය. තමා ඉදිරියට පැමිණි රුව දෙස අරුණෝද බැලුවේ අදහාගන්නටවත් බැරි ලෙසය.

නාමලී.... අරුණෝද ගේ මුවින් ඇය නාමය ඉබේ පිටවිය.

නාමලී ගේ දෙනෙත තම දෙපා වෙත යොමු වෙනවා දුටු අරුණෝද ගේ දෑස පොළවට බර විය.

”සාමය කල් ගියා... කකුලක් අපතෙ ගියා.... අරුණෝද කීවේ සිනා සෙමින්ය.

”එහෙම කියන්න එපා.... කකුලක් නැති වෙලා හරි පවනිට අරුණෝදව ඉතුරු වුණා. ඒත් මට.. මට ඉතුරු වුණේ විහඟ මතකයන් විතරමයි.

අරුණෝදට තමා ගැනම ලැජ්ජා සිතුණි. මොහොතකට පෙර තමා වැරදියට හිතුවේ මැය ගැන නොවේ ද.. ඇය විසින් දෙතුන් වතාවක් පමණක් දැක ඇති තමාගේ පෙම්වතියව සිටි පවනි ගේ නම පවා මතක ඇති මැය ගැනම නොවෙද.. තම සදාදරණීය සැමියාගේ ආදරණීය මතක සුවඳින් හිත සනසවාගෙන, නා මලක් ලෙස අහිංසකව ලොවට සිනාසෙමින් තාමත් තනිකඩව ජීවත් වෙන මැය ගැනම නොවෙද.. තමා ගැන හිතේ හටගත් ලැජ්ජාව කෙමෙන් පිළිකුලට හැරෙනවා අරුණෝදට දැනෙන්නට විය.

”කෝ පවනි?

දෙදෙනා අතර වූ නිල නොවන කෙටි නිහඬතාවය බිඳ හෙළමින් නාමලී ඇසූ පැනයට අරුණෝද යළිත් නිහඬ විය. කිවයුත්තේ කකුලක් අහිමි වුණ තමාව අතැර පවනි වෙන කෙනෙක් සමඟ ගිය බවද, නැතහොත් තම කරුමයට ඇය පලි නැති බවද. එක අතකට සත්‍යයයත් එයම නොවේද.. තමා පවනිට කෙතරම් ආදරය කළත් ඇයව බලෙන් ළඟ තබා ගැනීමට තමාට වුව කිසිම අයිතියක් නැත. ඇගේ නිදහස ඇයට තිබිය යුතුය.

”රෝද පුටුවට සින්න වුණ මගේ ජීවිතෙත් එක්ක ජීවත් වෙනවට වඩා ලස්සනට, වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන් කියල එයාට හිතෙන්න ඇති.... පවනි මගේ ජීවිතේට හැමුව තාවකාලික පවනැල්ලක් විතරමයි නාමලී. මට එයාව මගේ ළඟ තියාගන්න බැරි වුණා....

අරුණෝද ගේ එවදන් වලට කිසිත් නොකී නාමලී හිමිහිට සුසුමක් පිට කළාය. ඒ සුසුමටම එකතු වුණ අරුණෝද කළු ගං කුමරිය දෙසින් හැමූ මද පවනට තම සුසුමද එක් කළේ හැඟීම් විරහිත ලෙසටය.


මුතු පබා

(සොඳුරු සර - 2008.මැයි-ජූලි කලාපය)

4 Response to "විහඟ මතකය"

  1. සෝරෝ says:
    March 1, 2011 at 3:09 AM

    හරි ලස්සනයී මුතූ..!

  2. ``` Outsider``` says:
    March 1, 2011 at 4:34 AM

    යුද්ධය කියන කැත වචනය ආයෙත් මතකයට එන කතාවක්. එයින් යමක් අහිමිවුණේ ජාතිය මොකක් වුණත් සාමාන්‍ය මිනිස්සුන්ටය. ඒ මිනිසුන් බේද බින්න කල බලවත් නරුමයෝ එයින් යමක් උපයාගෙ ඇත.

    කතාව ඔබේ නිසඟ හැකියාව මනාව පිළිබිඹු කර ඇත. නියමයි...

  3. WildRose/SnowDrop says:
    March 1, 2011 at 10:25 PM

    Muthu dear...harima lassnai!

  4. Eranga Perera (Muthu Paba) says:
    March 1, 2011 at 11:31 PM

    සොරෝ ස්තූති වේවා! :)

    Outsider.. සහතික ඇත්ත.. අවිබලයෙන් සිදුවුණ සටන නම් ඉවරයි.. නමුත් මිනිස්සුන්ගේ හිත් ඇතුලෙ තියෙන ජාති ආගම් බෙදිලි සටන් නම් ඉතින් තවමත් නොඅඩුව පැවතෙන එක කණගාටුයි..

    Rose dear.. Tx sis.. :)

Post a Comment

Show Emoticons