මී දුවගෙ විවාහය

ගොඩක් පොහොසත්, එ් වුණාට ආදරයෙන්, එකමුතුව ජීවත් වුණ මී පවුලක් හිටියා. මේ පවුලෙ එකම මී දියණිය හොඳ ගති ගුණ වලින් ගොඩක් පොහොසත්. එ්ක නිසා මී අම්මයි, මී තාත්තයි එයාලගෙ එකම දියණිය ගැන ගොඩක් ආඩම්බර වෙනවා.

දවසක් මී තාත්තා, මී අම්මට කීවා, "අපිට ඕනේ අපේ දුව මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා එක්ක අතිනත ගන්නවා දකින්න නෙමෙයිද?" 



මී අම්මා උත්තර දුන්නා, "උසස්ම කෙනා හොඳම කෙනා එහෙනම් ඉර වෙන්න ඕනෑ. ඉර අහසෙ මුදුනෙ ඉඳන් මුළු ලෝකෙම එළිය කරනවා.."

ඉතින් දවසක් මී අම්මයි, මී තාත්තයි ඉර මුණගැහෙන්න ගියා.

"ඉර, අපි ආවෙ වැදගත් දෙයක් ඔයා එක්ක කතා කරන්න. ඔයාට පුළුවන්ද අපිට ටිකක් ඇහුම්කන් දෙන්න.. මේ ලෝකෙ ඉන්න උසස්ම පුද්ගලයා ඔයයි. ඔයා කැමතිද අපේ දුව එක්ක විවාහ වෙන්න. අපේ දුව ගුණ යහපත්කම් වලින් පිරිපුන් අවංක කෙනෙක්. අපිට ඕනෙ එයාට මේ ලෝකෙ ඉන්න උසස්ම මනමාලයාව හොයල දෙන්න.."

ඉර උත්තර දුන්නා. "හ්ම්..... මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා මම නෙමෙයි. එ් තමා වලාකුළ. මම කොච්චර මහන්සි වෙලා මුළු ලෝකෙම එළිය කරත් වැඩක් නෑ. වලාකුළක් ආව ගමන් මාව ඉබේටම හැංඟනවා.."

ඉරගෙන් වෙන්වුණ මී අම්මයි, මී තාත්තයි වලාකුළ හම්බෙන්න යන්න පිටත් වුණා.



"වලාකුළ, අපිට දැනගන්න ලැබුණා මේ ලෝකෙ ඉන්න උසස්ම පුද්ගලයා ඔයා කියලා.. එ්කයි අපි ආවෙ ඔයාගෙන් අහන්න, අපේ එකම දුවව මනමාලියක් විදිහට බාරගන්න කැමතිද කියලා.."


"අනේ නෑ.. ! මම නෙමෙයි මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා.." වලාකුළ උත්තර දුන්නා. "මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා තමා සුළඟ.. මට පුළුවන් මුළු අහසම වසාගෙන පැතිරෙන්න. එ්ත් පුංචි හරි හුළඟක් හැමුවොත් මගෙ සලකුණක්වත් ඉතුරු නොවී මාව ඈතටම ගහගෙන යනවා.."

වලාකුළෙන් සමුගත්ත මී අම්මයි, මී තාත්තයි ඊළඟට ගියා සුළඟ හම්බවෙන්න.

"සුළඟ. අපිට ආරංචි වුණා මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා ඔයා කියලා. ඔයා කැමතිද අපේ එකම දියණියගෙ අත ගන්න.. ?" 



"බොහොම ස්තූතියි, ඔයාලගේ කාරුණික ඉල්ලීමට.." සුළඟ උත්තර දුන්නා. "එත් මට වඩා උසස් කෙනෙක් මේ ලෝකෙ ඉන්නවනෙ.."

"කවුද එ්?" මී අම්මයි, මී තාත්තයි ඇහුවා.

"එ් තමයි බිත්තිය. මම කොච්චර වේගෙන් හැමුවත් මට බෑනෙ එයාව විනාශ කරන්න.."

මී අම්මයි, මී තාත්තයි බිත්තිය හම්බවෙන්න ගියා.


"බිත්තිය කරුණාකරලා අපේ දියණිය ඔයාගෙ මනමාලි විදිහට බාරගන්න.. අපිට ඕනෙ අපේ එකම දියණිය මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා එක්ක විවාහ වෙලා සන්තෝසෙන් ඉන්නවා දකින්න.."

"අනේ! අනේ! මී අම්මෙ.. මී තාත්තෙ.. ඔය දෙන්නට ගොඩක් වැරදිලා.." බිත්තිය උත්තර දුන්නා. "මේ බලන්න මං දිහා.. ඔයාලා එකමුතුවෙලා කරන වැඩ නිසා මාව හිල් වලින් පිරිලා.. මේ ලෝකෙ ඉන්න උසස්ම අය මීයො වෙන්න ඕනෙ"

"ඇත්තටම ඔය දේ මීට කලින් අපිට හිතුනෙ නෑනේ.." 


බිත්තියෙන් සමුගත්ත මී අම්මයි, මී තාත්තයි යන්න ගියෙ සිනාසෙමින්.

"බලන් යද්දි මේ ලෝකෙ උසස්ම අය අපිනෙ. අපි අපේ දුවව එහා ගෙදර මී පුතාට යෝජනා කරමු.. දෙන්නට දෙන්න කැමති වුණොත් එයාලා ජීවිත කාලෙටම සන්තෝසෙන් ඉඳීවි.."


ටික දවසකට පස්සෙ මී මනමාලියි, මී මනමාලයයි විවාහ වුණා. දවස් තුනක් තිබ්බ විවාහ උත්සවයෙන් පස්සෙ අලුත් ජෝඩුව අලුත් ගෙදරකට ගිහිල්ලා ගොඩක් සන්තෝසෙන් කල් ගෙව්වා.


[ජපන් ජන කතාවක් ඇසුරිනි.]

පරිවර්තනය: මුතු පබා

කතන්දරය බූන්දිය හරහා කියවන්නට: මී දුවගෙ විවාහය

4 Response to "මී දුවගෙ විවාහය"

  1. ලංකා බ්ලොග් කියවනය says:
    December 28, 2014 at 4:23 PM

    ෂහ් කාලෙකින් ළමා කතාවක් කියෙව්වා. ගොඩක් ලස්සනයි. ස්තූතියි මුතු පබා.

  2. Eranga Perera (Muthu Paba) says:
    December 28, 2014 at 9:09 PM

    ස්තූතියි :)

  3. Unknown says:
    December 31, 2014 at 5:44 PM

    සුභම සුභ නව වසරක් වේවා................................

    කුගැගීප

  4. Eranga Perera (Muthu Paba) says:
    January 2, 2015 at 6:52 PM

    එසේම වේවා..!!

Post a Comment

Show Emoticons