වසන්තය



පිඹිනු මැන නලාව !
දැන් ඉතින්....
පී‍්‍රති විය යුතු කාලයයි !
කුරුළු කිරිලියන්
දිවා රෑ, සොම්නසින් !
රෑ කොවුලෝ ද
මිටියාවතේ....
සින්දුවෙහි දක්ෂ
කුඩා විහඟුන්,
සොම්නසින් උනන්දුව
වසන්තය පිළිගනී....

ගෑණු පිරිමි පුංචි ළමෝ
උතුරායන සන්තෝසෙන් !
කුකුළෝ ද හඬලති.
ඔබත් හඬ නගයි !
බාල බිළිඳු මොළකැටි නද,
වසන්තය....
සන්තෝසෙන් පිළිගනී.

පුංචි බැටළුවෝ
දුව එන්න මා ළඟට
සිඹින්න මසුදු ගෙල.
ඉඩදෙන්න මට නුඹේ
සුදු ලොම පිරිමදින්න....
සිඹින්නට නුඹේ,
මුදු මුහුණ.
සොම්නසින් ඉපිල
වසන්තය පිළිගන්න....



"විලියම් බ්ලේක් | William Blake" ගේ "Spring" කවියේ අනුවර්තනය.

අනුවර්තනය: මුතු පබා

සඳුට රහසේ

Image and video hosting by TinyPic

සඳුට රහසේ ගීත ලියනවද
හිරුට රහසේ ගීත ලියනවද
කාට රහසේ ගීත ලීවද
නුඹට නොවන ගී කාට ලියන්නද

තරු මුතු පිණිබිඳු දේදුනු මල්ගොමු
ගොණුකර අමුණන ගී පද මටමද

මා හද නිබදව සෙනෙහෙන් පුරවන
නුඹට නොවන ගී කාට ලියන්නද


ලොව ඇත සහසක් කුමාරිකාවන්
කිවිඳුන් මනරම් ගී හට පෙම් බැඳ

එනමුදු කිවිඳුන් හදරැඳි කුමරියෙ
නුඹට නොවන ගී කාට ලියන්නද



2008.12

ගී පද : මුතු පබා
ගී මියැසිය : කපිල මැද්දේගොඩ
ගායනය : විශාරද ප්‍රසාද් කරුණාමුණි සහ ඉරෝෂා මැද්දේගොඩ


සිංදුව අහන්න....

හදමිණි



මොහොතකට
නොනවතිමි
බලමි හාරා

විසිර ඇත
මැණික්
හද පුරා

පෙන්වමි
ලෝකයට

දිලෙන
මැණිකක්
දෙකක්
වුව

අනේ !
කොතරම්
වටිනවද..



මුතු පබා
2008.06.05

උත්සහවන්ත පුංචි කොළය


එකමත් එක කාලෙක ගසක පුංචිම පුංචි කොළයක්, සුසුම් හෙලමින් අඬනවා ඒ ගහේම රිකිල්ලකට ඇහුණා. තද හුළඟක් සමග කුණාටුවක් හමද්දි කොළ දළු ඇඬුවත්, නිකරුණේ නොහඬන නිසා රිකිල්ල පුංචි කොළයෙන් මෙහෙම ඇහුවා....

”මොකද්ද ප්‍රශ්නෙ පුංචි යාළුවේ ?”

”හුළඟ මට මේ දැන් කීවා, කවදහරි දවසක එයා මාව ගහෙන් වෙන්කරලා බිමට දානවා කියලා”.... පුංචි කොළය ගොඩක් දුකෙන් රිකිල්ලට උත්තර දුන්නා.

රිකිල්ල ඒ කතාව ඒ වෙලේම ගහේ අත්තකට කීවා. අත්ත ඒක මුළු ගහටම කීවා. ඒ කතාව ඇහුණ ගහ, සර සර හඬින් මුළු ගහම හොලවලා, පුංචි කොළයට මෙහෙම කීවා....




 ”බයවෙන්න එපා පුංචි කොළය. ඔයා ගහ හයියෙන් අල්ලගෙන ඉන්න. එතකොට ඔයාට මගෙන් වෙන් වෙන්න ඕනෑ වෙනකල්, කාටවත්ම බෑ ඔයාව බලෙන් වෙන් කරන්න.”

ඒ කතාව ඇහුණට පස්සෙ පුංචි කොළය, සුසුම් හෙළමින් ඇඬීම නතර කළා. ඒ වෙනුවට එයා තාමත් පිහාටු නොයිඳුනු, කැදැල්ලෙන් එළියට යන්නට බැරි කුරුළු පැටවුන්ට ලස්සනට සිංඳු කීවා.


සමහරක් වෙලාවට ගහ එයාගේ කොළ යාළුවෝ, අතු ඉති, රිකිලි එක්ක, එහාට මෙහාට තාලෙට හෙලවෙනකොට, පුංචි කොළයත් කවමදාවත් කාටවත්ම එයාව ගහෙන් වෙන් කරන්න බෑ කියල හිතාගෙන, ගොඩක් සන්තෝසෙන් එහාට මෙහාට නැලවි නැලවි තාලෙට නැටුම් නැටුවා.

ඉතින් ඔන්න ඔහොම පුංචි කොළය ඔක්තෝබර් මාසය වෙනකල්ම, කොළ පාටින් වැඩුණා.


ඒත් ටික දවසකට පස්සෙ හේමන්තයේ දීප්තිමත් දවස් උදා වුණාම, පුංචි කොළය දැක්කා එයාගෙ වට පිටාවෙ ඉන්න අනෙක් කොළ යාළුවෝ, ලස්සන ලස්සන පාටින් හැඩවෙලා ඉන්නවා. සමහරක් කොළ කහ පාටින්. සමහරක් කොළ තදම තද රතු පාටින්. තවත් සමහරක් කොළ ඒ පාට දෙකෙන්ම ලස්සන ඉරි වලින් හැඩවෙලා. ඉතින් පුංචි කොළය ගහෙන් මෙහෙම ඇහුවා....

” අනේ ! මටත් කියන්කෝ.... ඇයි මගේ ගොඩක් යාළුවෝ ලස්සන ලස්සන පාට ඇඳුම් ඇඳන් ඉන්නෙ කියලා”....

” ඒ කොළ ඔය ලෑස්ති වෙලා ඉන්නෙ පියාඹලා යන්නයි. ඒ සන්තෝසෙටයි එයාලා ඔය සැරසිලා ඉන්නෙ”.... කියල ගහ උත්තර දුන්නා.

ඒ කතාව ඇහුණ පුංචි කොළයටත් ඉක්මණින් පියාඹන්න ඕනෑ වුණා. ඒක නිසා පාට පාටින් හැඩවෙලා ඉන්න අනෙක් යාළුවෝ වගේම, පුංචි කොළයත් උත්සහ කරලා රත්තරං පාට ඇඳුමකින් සැරසුණා.

ඒත් එයාගෙ අතු ඉති යාළුවෝ අළු පාටින් ඉන්නවා දැක්කම පුදුම වෙලා මෙහෙම ඇහුවා....

”අනේ ! අතු ඉති.... ඔයාලා තවමත් අළු පාටින් ඉද්දි, ඇයි අපි විතරක් පාට ඇඳුම් වලින්? ”

”අපේ රාජකාරිය තවමත් ඉවර නැති නිසා, වැඩ කරන ඇඳුම ඇඳන් අපි ඉන්න ඕනෑ. ඒත් ඔයාලගේ රාජකාරිය ඉවරයි. ඒක නිසා නිවාඩුව ගතකරන්න පියාඹලා යන්නයි, ඔයාලා ඔය පාට පාට ඇඳුම් ඇඳන් ඉන්නෙ ”.... කියල අතු ඉති උත්තර දුන්නා.




එතකොටම බොහොම අමාරුවෙන් හති දාගෙන ආව හුළඟක්, පුංචි කොළයව ගහෙන් වෙන් කළා. ඊට පස්සෙ පුංචි කොළයට හිතන්නවත් ඉඩ නොතියා එයාව වාතයේ උඩටම අරගෙන, ගින්දර පොකුරක් වගේ දිස්වෙන්න ඒ පැත්තට මේ පැත්තට වේගයෙන් කරකවලා, වැට අද්දර තවත් කොළ යාළුවෝ නිදාගෙන ඉන්න බිමට හිමීට වැට්ටෙව්වා.

බිමට වැටුණ පුංචි කොළයට නින්ද ගිහින් හීනයක් පෙනෙන්න ගත්තා. ඒත් පුංචි කොළය එයාගේ රාජකාරිය ඉවර කරලා තිබුණ නිසා, දැක්ක හීනය මොකද්ද කියලා කියන්න ආයෙමත් ඇහැරුණේ නම් නෑ.



පරිවර්තනය : මුතු පබා
සිතුවම් : රුවන්මලී


කතන්දරය බූන්දිය හරහා කියවන්නට: උත්සහවන්ත පුංචි කොළය

උදාහිරු ගීතය



අරුණෝදයේ කඩුව
සිඳියි අහසින්
රාත‍්‍රී ආවරණය,
උදෑසන එබෙයි
පොරොවනයෙන් එළියට
සීනුවේ නින්නාද හඬ අසන්නට
තොටිල්ලෙන් නැගිටින දරුවකු විලස.

අවදිවන්න ! අවදිවන්න !
සියලූ වැඩ කරන්නනි !
රැකියාවට ! රැකියාවට !
ඔබ යා යුතුමයි !

බස්රථ, කුලීරථ
නදදෙයි ගොරහැඩිව,
කෝච්චිය හූ තියයි.

මම දෙපය අද්දවමි පෝළිමේ
අප‍්‍රාණිකව අඩි ශබ්ද නගා
දුම්රිය වේදිකාවේ,
තෙරපි තෙරපී ගොඩවෙමි
මගේ ජීවිතේ සියලූම සාරය
දෙහි ගෙඩියක් විලස
මිරිකා දමන දුම්රිය මැදිරියට



["Oswald Mbuyiseni Mtshali" ගේ "The Song Of Sunrise" කවියේ පරිවර්තනය.]

පරිවර්තනය : මුතු පබා

(ලක්බිම.මංජුසාව.කවි - 2010.11.14)

_____________________________________

පුංචි හැඳින්වීමක්

1940 ජනවාරි මස 17 වෙනිදා උපත ලද ඔස්වල්ඩ් ම්ත්ශාලි සූලු බසින් මෙන්ම ඉංග්‍රීසියෙන් ද කාව්‍යකරණයේ නියැලුණු කවියෙකි. මොහු කොලොම්බියා සරසවියෙන් අධ්‍යාපනය ලැබූ අතර ඔහුගේ ප්‍රථම කවි පොත ''Sounds of a Cowhide Drum'' නමින් පිටවිය. කළු සුදු බේදයේ නොවැදගත්කම පිළිබඳව දකුණු අප්‍රි‍කාවේ වැඩකරකරන්නන්ගේ දෘෂ්ඨි කෝණයෙන් ලියූ මේ පොත සාර්ථක වූයේ, එය ප්‍රචාරය කෙරූ සුදු ජාතික ලයනල් ඒබ්‍රහම්ස් ට වටිනා ලාභයක් උපදවා දෙමිනි.

නංගි බබෝ



බයියං කා හනිකට ලොකු
වෙන්න මගේ නංගි බබෝ
අයිය කියන දේ අහල
දැන් මේ කට කන්න බබෝ

සුදුරැලි ගවුමෙන් සරසල
කොන්ඩ කැරලි දෙකක් ගොතා
මල් පොකුරක් අතේ තියල
පාසැල් එක්කම් යන්නම්
මගේ පුංචි නංගි බබෝ
දැන් මේ කට කන්න බබෝ

හැංඟි මුත්තො හැංඟියා
අයිය ඔන්න හැංඟෙනවා
මගේ පුංචි නංගි බබෝ
අයියව එතකොට හොයන්න
නාඩා ඉතින් බයි කන්නකො
බයියං කා ලොකු වෙන්නකො

දංඬි පැටව් පහළ වෙලේ
නංගි බබා කෝ අහනවා
නමිනං ගහෙ මල් පිපිලා
ගෙඩි දෙන්නට මග බලනවා
ඒවයෙ අසිරිය විඳින්න
බයියං කා ලොකු වෙන්නකො


මුතු පබා
2006.12.03

ප‍්‍රිය ආදරී



අඬන් එපා ප‍්‍රියාදරී
කඳුළු බලා සමුගන් බැහැ
කඳුළු බලා සමුගන් බැහැ
අඬන් එපා ප‍්‍රියාදරී

එක සෙවණේ ආදර බස් තෙපලන්නට
මං ආසා නැතුවා නොව මගේ ලයාදරී
හිත කියනා ලෙස ඉන්නම්
යුද්ධය අද නැවතේ නම් මගේ පෙම්බරී

බංකර යට තට්ට තනිය මකාගන්න
නාඩා නුඹ හිනහෙන්නකෝ මගේ සුන්දරී
උතුරු කිරණ ගත දවද්දි, මහිත දැවෙයි
නුඹෙ කඳුළැලි මැවුනෝතින් මගේ අහිංසකී

මඩ වතුරෙන් පවස නිවන දවස් ඇතත්
හිතට දුකක් දැනේනෙ නැහැ මගේ කුමාරී
නුඹෙ නොමියෙන සෙනෙහෙ දයා
ශක්තිය වෙයි සැමදා මට, මගේ ප‍්‍රියාදරී


මුතු පබා
2006.12.23