සිසිරයේ වසන්තය



මේ සීතලම සීතල සිසිරය වුව
මල් පිපෙන වසන්තයමැයි
සිතෙයි මට !

ජීවිතයේ එතෙකැයි මෙතෙකැයි
කවමදාවත් කිව නොහැකි,

සිහින සිතුමන් ප‍්‍රාර්ථනා
තිඹිරිගෙයිම මියැදෙද්දි....
සිසිරයේ මේ සොඳුරු වසන්තය
මගේ හදවතට

කොහෙන් කොහොම නම්
එබුණාද....?

ගිලන් වූ හදවතට
නේක මල් සුවඳ අතුරන
හදකුටියෙ පාළු බිතු පුරා
ජීවිතය පාට පාටින් සිත්තම් කරන
සිසිරයේ මේ සොඳුරු වසන්තය

මගේ ලෝකයට
කොහෙන් කොහොම නම්

ආවාද....?

මුළු රැයම හදෙහි සැතපෙන
අරුණැල්ල සමගින්
යළි යළිත් අළුත් වෙන,
සිසිරයේ මේ සොඳුරු වසන්තය
කොහෙන් කොහොම නම්

මතු වුණිද....?

ඉමක් කොනක් නැති ආකාහේ සිට
මතනියට උන් පුංචි තරුවක් විලස

දුරින් හිඳ වුව ළඟින් සිටිනා,
සිසිරයේ මේ සොඳුරු වසන්තය
ලියා නිම කළ නොහැකි
කවියකි තවම මට....!


මුතු පබා
2010.02.20

2 Response to "සිසිරයේ වසන්තය"

  1. Nuwan Pradeep Says:
    December 4, 2010 at 7:43 PM

    Lassana adahasak akke... Mama asai mekata. :)

  2. Eranga Perera (Muthu Paba) says:
    December 6, 2010 at 2:03 PM

    Ah.. Malli, Sthuthi weewa.. :)

Post a Comment

Show Emoticons