Showing posts with label ලිපි. Show all posts
Showing posts with label ලිපි. Show all posts

වෙරළු සුවඳ
















අම්මෝ අම්මිගේ වෙරළු අච්චාරුවේ රස 😌... දොලදුකක් එහෙම නම් නෙමෙයි ඔන්න. 

පුංච් සංදියේ පාන්දර පහට, පහමාරට අවදි වුන අවස්තා තිබුනා තරඟෙට වෙරළු ඇහිඳින්න යන්න. ඒ වෙලාවට කළුවර උනත්, කළුවරට ඇස් හුරුඋනාම වෙරළු උනත් ලෙහෙසියෙන්ම අඳුන ගන්න පුලුවන්... 

ඒ සුන්දර දවස්, දවසක් සැඩ සුලඟකගට අහුඋනා. වෙරළු ගහ මුලුමනින්ම පොලොවෙන් උදුරල බිම හෙළලා තම සුලඟ යන්න ගිහින් තිබ්බෙ. කොළ පාට, තැඹිලි පාට කොල වලින් සහ මලින් පිරිල ඉතිරිල තිබුන ආදරනීය වෙරළු ගස බිම පතිත වෙල තියෙනව දැක්ක මට දැනුනෙ හරියට නිකන්, හදවතෙන් කෑල්ලක් කඩන් ගියා වගේ... 🥹

අතීතයෙන් බිඳක්



ජීවිතේ සමහරක් අවස්තාවන් තියෙනවා කවමදාවත් මතකයෙන් නැත්තටම, නැතිවෙලා නොයන. ඒ සමහරක් මතකයන් හිතට හරිම බරයි. හරියට නිකන්, හිත පතුලට අතඇරිය කළුගලක්, ආපහු ගොඩට ගන්න බැරුව, හිතපතුලෙම තියෙනවා වගේ. මේ ලියන්න යන්නෙත් එහෙම මතකයක් ගැන විස්තරයක්.

මේ සිදුවීම සිදුවුනේ මීට අවුරුදු 25 ට විතර උඩදි. ඒ දවස්වල අපි කුළියට හිටිය ගෙදර අයිතිකරුවන් හිටියෙත්, ඒ වත්තෙම පරණතාලෙට හදලා තිබුණ වලව්වක. ඒ වලව්වෙ වැඩට හිටියා, වයස අවුරුදු හතක් අටක් විතර වයසැති පුංචි පිරිමි දරුවෙක්. ඒ දරුවා කා එක්කවත් වැඩිය කතා බහක් නෑ. කතාව කෙසේ වෙතත් හිනාවෙන්නෙත් බයෙන් වගේ.

මට හරියට වෙලාව නම් මතක නෑ. කෙසේ හෝ වේවා දවසක් හොඳටම  රෑ වෙලා, කට්ට කළුවර වෙලා තිබුණ අවස්ථාවක, මම හිටියේ කුස්සියේ සීනි මුරුක්කු හදන ගමන්. ඒ වෙලාවෙ ගෙදර වෙන හිටියෙ ආච්චියි, නංඟියි විතරයි. ඒ දෙන්නා හිටියෙ රූපවාහිනියෙ වැඩසටහනක් නරඹමින්. මම සාලෙට ආව වෙලාවෙ දැක්කා, ඉස්තෝපු බිත්තියේ පුංචි වාකවුළු වලින් කව්දෝ අපේ ගේ ඇතුළ දිහා බලන් ඉන්නවා. 

දොර ඇරලා බලද්දි ඒ අර පුංචි කොලුවා. අපි එයාව ගේ ඇතුළට අරගෙන වාඩිවෙන්න පුටුවක් දුන්නා. මුලින්ම අපිට හිතුනේ රූපවාහිනිය නරඹන්න ආස නිසා හොරෙන් බලන් උන්නා කියලා. බැලින්නම් කොලුවා ඇවිත් තියෙන්නෙ බය නිසා. ගෙදර හැමෝම මහ රෑ ගමනක් ගිහින්, මේ කොල්ලව විතරක් ගෙදර තනියම තියලා. මම එළියට ගිහින් බැලුවමයි දැක්කෙ, ඒ ගිහිල්ල තියෙන්නෙත් ගෙදර හරියට විදුලිපහනක්වත් පත්තු නොකර කියලා.

"නෝනලා මහත්තයාලා ගමනක් ගියා, මම මේ හොරෙන් ආවේ" කියලත් ඒ ළමයා කීවා. මම හදපු සීනී මුරුක්කු ටිකක් එයාට කන්න දුන්නා. ඒ දරුවගේ ඇඟිලි සෑහෙන්න තුවාලවෙලා තිබුණ බව දැක්කෙ එතකොටයි. සමහරක් තුවාල වලින් එතකොටත් සැරව එනවා. මම ඊටපස්සෙ ඉස්සෙල්ලාම තුවාල පිරිසිදු කරලා පුළුවන් විදිහට බෙහෙත් දැම්මා.

දරුවා අපිත් එක්ක හිනාවෙවී ටික වෙලාවක් හිටියා. හැබැයි එයාගෙ කන තිබ්බෙ ගෙදර, මහ ගේට්ටුව ළඟ. "නෝනලා එන්න කළින් යන්න ඕනෙ", කියලත් වරක් දෙවරක් කීවා.

මම එයාට යනකොට අරන් යන්න දෙන්න කියලා, මල්ලකට මුරුක්කු ටිකක් දදා ඉන්නකොට,කොළුවා එක හුස්මට නැගිටිලා දුවගෙන අපේ ගෙදරින් එළියට ගියා, වාහනයක සද්දයක් ඇහිලා.

එදායින් පස්සෙ ඒ කොළුවා අපිව දැක්කත් දැක්කෙ නෑ වගේ ඉන්නවා. සති කීපයක් ගියාට පස්සෙ දවල්වරුවක, ඒත් ගෙදර කව්රුවත් නැතිවෙලාවක තමයි එයා කීවේ, එදා රෑ අපේ ගෙදර ඉඳන් එයා දුවන්  එනවා ගෙදර අය දැකලා, එයාට හොඳටම ගැහුවා කියලා.

මට ඉඳලා හිටලා තාමත් ඒ අසරණ මූණ මතක් වෙනවා. අම්මා තාත්තා හෝ පවුලෙ තමන්ගෙම කියලා වැඩිහිටියෙක් නැති වුණාම, පුංචි දරුවො කොච්චර අසරණ වෙනවද... 

අවුරුදු පහ හයකට උඩදි මම ලංකාවට ආව වෙලාවෙ අපි හිටිය ඒ ගෙදර පැත්තෙ නිකමට වගේ ගියා.

ඒ ළමයා හිටිය වලව්වෙ තිබුණ ගාම්භීරත්වය නම් ඒ වෙනකොට වැහැරිලා තිබුණෙ. ඒ වැහැරුණ වලව්වෙ උන්න ඒ පුංචි දරුවා, දැන් කොහේ ඇද්ද කියලා මට නිතරම හිතෙනවා. වලව්ව වැහැරුණාට ඒ දරුවා සම්බන්ධයෙන් තියෙන මතකය නම් කවදාවත් වැහැරෙන්නෙ නැති බවත්  මම හොඳාකාරවම දන්නවා.

කෙසෙල්










සාමාන්‍යයෙන් කෙසෙල් වැවෙන්නෙ රස්නෙ දේශගුණයක් තියෙන රටවල්වලනෙ. හැබැයි මේ පින්තූරෙ තියෙන කෙසෙල් පඳුර නම් වැවෙන්නෙ, සීතල කාළගුණයක් තියෙන නෙදර්ලන්තයේ. ඒකට හේතුව තමයි මෙයාගෙ මව් ශාකය එන්නෙ, සීතල පුරවගත් හිමාලයෙන්. ඒකනිසා වෙන්න ඇති නෙදර්ලන්තයත් සීත රටක් වුණාට මෙයා බය නැතුව පොළොවෙ පය ගහල ඉන්නෙ. මේ කෙසෙල් පඳුරෙ මෙහාට එනකොට තිබ්බෙ එක පුංචි කෙසෙල් පැලයක් සහ මොටයියා දෙක තුනක් විතරයි. ඒ මීට අවුරුද දෙක, තුනකට උඩදි. එත් දැන් බලන්නකෝ, ආඩම්බරෙන් උස ගිහින් ඉන්න විදිහ... ඉඳලා හිටල හරි නැවුම් කෙහෙල් කොළයක බත් කටක් කන්න ලැබෙන එකත් එසේ මෙසේ සතුටක් නෙමෙයි.  ඒකත් මගේ දෙමව්පියන්ගෙ ආදරණීය දෑතට පිං සිද්ද වෙන්න තමයි ඉතින් ☺️😇






චචන

 


 

 

 

 

 

 

 

 

මේක මට නිකමට වගේ හිතුණ දෙයක්. බටහිර විජිතවාදී ග්‍රහණයට ගොදුරක් වුණ ඔ්නෙම රටක, ඒ ඒ රටවල් වලින් කැඩිලා ආව වචන තියෙනවනේ. ඕලන්දයෙන් එහෙම කැඩිලා ආව වචන කීපයකුත් අපේ සිංහල භාෂාවෙ තියෙනවා.

බෝංචි - බෝන්චස් (Boontjes)
වතුර - වාතර් (Water)
බයිස්කෝප් - බියොස්කෝප් ( Bioscoop)
කාමරය - කාමර් (Kamer)

ඔය තියෙන්නෙ ඉන් කීපයක්. ඉතින් මට හිතුණා ඔය  'ඌ' (ඌ - u) කියන වචනෙත් අපේ බසට දයාද වුණෙ ඕලන්දයෙන්දෝ කියලා!

මොකද ඕලන්දයේ ඔය 'ඌ' කියන වචනය පාවිච්චි කරන්නේ ගරු නම්බුදීලා කතා කරකරන්න.
උදා:
- ඔබතුමා - ඔබතුමිය
- ඉස්සරකාලේ (තාමත් මේ සිරිත නම් නැතුවාම නෙමෙයි) තම දෙමව්පිය වැඩිහිටියනට, ගුරුවරුන්ට
- තමන් නොදන්න කෙනෙක්ට

පවා කතාකරන්නෙ 'ඌ' කියලා.

ඉතින් මට හිතුණා, ඕලන්දය සයිලොන් රටේ (ඒ කාලේ ඔ්ලන්දය අපේ රට හැඳින්වුවේ සයිලෝන් කියලා) මිනිස්සුන්ට එච්චර හොඳට සැලකුවාද කියලා, අපි අපේ ගෙදර ඉන්න සුරතල් සතාට විතරක් නෙමෙයි, දඩාවතේ යන සතෙක්ට පවා 'ඌ' කියලා අමතන තරමටම.

එක ලපයක වාසනාව - වෙනස්කමක වේදනාව

'එක ලපයා' මගේ ප‍්‍රථම පරිවර්තන ළමා කතන්දර පොතයි! මීට වසර දහයකටත් පෙර, මේ කතන්දරය ඉස්සෙල්ලාම කියෙව්ව දවසේ, මගේ හිතේ ජනිත වුණ එක ආසාවක් තමයි, කවදහරි දවසක මේ කතන්දරය, ලංකා දූපතේ දූ දරුවන්ට කියවන්න පුළුවන් විදිහට පරිවර්තනය කිරීම.

ඒ ආසාව හිත යට හංඟගෙන, මම කතන්දරය එසැණින් පරිවර්තනය කිරීම ඇරඹුවා. කතන්දරයේ කතුවරිය "එවලින් ෆන් දෝර්ත්" ගෙන්, ඒ සඳහා ලැබුණ අවසරය, 'එක ලපයා' ව, පරිවර්තන පොතක් ඇතුළෙ ජීවත් කරවන්නට ලැබුණ ආශිර්වාදයක්.

'එක ලපයා' වෙනුවෙන් ලියැවුණු පහත සඳහන් සටහන, මුහුණු පොතේ දුටුවම මම මේ කතන්දරය, එච්චර හොඳට අකුරු කරාද කියලා හිතෙනවා. "ජනප‍්‍රිය ගමගේ" ගේ  මේ විචාරය ඒ තරම්ම හිතට කා වැදුණා.

--

  


වෙනස් වූවන්ට වෙනස් ලෙස සැලකීම කොහේ කොතැනත් දැකිය හැකි දෙයක්. නොයෙක් ඉගැන්නුම් ක්‍රියාවලි සහ දැනුවත් කිරීම්වලින් අපි උත්සාහ ගන්නේ මේ වෙනස්කම් අතර ඇති බෙදුම් රේඛාවන් බොඳ කරන්නයි. 

වෙනස් කර සැලකීමේ කෘරත්වයත් වෙනස් ලෙස සැලකුම් ලබන්නාගේ සංතාපයත් අවබෝධ කරගන්නට නම් සහකම්පනය අවශ්‍ය වෙනවා. නූතන ළමා අධයාපනය හැඩ ගැසෙමින් පවතින්නේ එවන් සංකල්ප දරුවන් තුළ හැකියාවන් ලෙසින් වර්ධනය කිරීමට හැකිවන අයුරින්. ළමා පොත් එවන් හැඩගැසීම් සඳහා ප්‍රධාන මෙවලමක් විදියට භාවිත වෙනවා.

ලප හයක් ඇති කුරුමිණි කුලයක එක ලපයක් විතරක් ඇතිව ඉපදෙන කුරුමිණියෙක් ගැන මේ කතාවෙන් කියවෙනවා. ඒ වෙනස නිසාම ඌ සැම විටම වෙනස් කොට සැලකීමටත්, පීඩනයටත් ලක් වෙනවා. සමහර පීඩනයන් සරදම් කිරීම්වලටත් වඩා ඈතට එනම් සමූහ පහරදීම් දක්වා දුර යනවා. මේ හැම දේකටම වෙන හේතුවක් අවශ්‍ය නොවන අතර එක ලපයෙක් වීමම එයට එකම හේතුව වෙනවා. 

නරකම දේ තමයි, අනික් කුරුමිණියන් නිදැල්ලේ සැරිසරද්දී වේදනාවෙන් හා බියෙන් හැකිළී සැඟවී සිටින්නට ඌට සිදු වීම. කතාවේ එක් අවස්ථාවක එක ලපයා එළියට ඒමට නොහැකිව සැඟවී සිටින හැටි විස්තර කරන්නේ මෙහෙමයි. 

“ඒත් එක කුරුමිණියෙක් විතරක් කොළයක් උඩට වෙලා, හෙල්ලෙන්නෙවත් නැතිව නින්ද ගියා වගේ ඉන්නවා. ඒත් ළං වෙලා බැලුවොත් පෙනෙයි පුංචි ඇස් ඇරිලා තියෙන විදිය. මිතුරු කුරුමිණියන් සන්තෝසයෙන් ඉපිළෙමින් හැංගිමුත්තෝ කරනවා බලන් ඉන්න විදිය.”

එළියට ආවොත් විහිළුවකට ලක් වෙනවට බයෙන් ඉන්න පුංචි කුරුමිණි පුංචෙක් හැංගිලා ඉන්න විදිය මෙතැනින් මවා පෙන්වනවා. එයාට අනික් අයට වගේ කෙළිලොල් ජීවිතයක් ගත කරන්න බැරිව මුළු ගැන්විලා ඉන්න වෙන්නේ එයාගේ වරදක් නිසා නෙවෙයි. එයාගේ සුවිශේෂීකම වෙනස් කමක් විදියට සැලකෙන නිසා වගේම එයින් ලොකු කෘරත්වයකට බඳුන් වෙන නිසා. අපේ අවට,  පාසල් පරිසරයේ වගේම වැඩිහිටියන් අතරෙත් අනෙක් අයට වඩා වෙනස් වීම නිසා වෙනස් කොට සැලකෙන අය ඉන්න පුළුවන්. එයාලත් සෙල්ලම් කරන්න යාළුවෙක් නැතුව ඉන්න එක ලපයා වගේ දුකෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඇතැම් විට ඉන් එහා ගියපු ලොකු ප්‍රචණ්ඩත්වයක ගොදුරක් වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් මේ කතාව කියා දෙන්නෙ ඒ වගේ මොහොතවල් දිහා අලුත් විදියට බලන්න කියලයි. 

මේ වගේ පොතක් කියවන දරුවෙකුට අසරණ වෙලා නිදි වගේ මුළු ගැන්විලා ඉන්න කුරුමිණි පැංචාට හිතෙන විදිය තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ සාහිත්‍ය අත්දැකීම සාමාන්‍ය ලෝකෙදිත් අනිත් මිනිස්සු දිහා දයාවෙන් බලන්නත් ඒ දරුවන්ට උගන්වාවි. 

කතාවේ විදියට අඩන්තේට්ටම්වලින් දුකට පත් වෙන එක ලපයා එයාගේ රංචුවෙන් ඈතට පියාඹගෙන යනවා. ඒ තමන්ගේ අසාධාරණය කියන්න කෙනෙක් හොයා ගන්නයි. වාසනාවට ඒක සාර්ථක පියවරක් වෙනවා. එක ලපයාට අන්තිමේදී ඉතාම හොඳ තැනකට යන්න ලැබෙනවා. කතාවට සතුටුදායක අවසානයක් එන්නෙ අසාධාරණ හේතු මත කෙනෙක් පීඩනයට පත් කිරීම හොඳ නැති බව ඒත්තු ගන්වන අතරමයි. 

  ‍ඒ විදියට හිතන්නට යමක් රැගෙන එන මේ මිහිරි කතාන්දරය වඩාත් අපූරු නිර්මාණයක් වෙන්නේ එය ඉදිරිපත් කරන භාෂා විලාසය නිසයි. විස්තර කිරීම්වලට වැඩි තැනක් දෙන, නිර්ලෝභීව වදන් භාවිත කරමින් ලියූ අපූරු වැකි සහ ඡේද මෙහි හමු වෙනවා. මේ එවන් කොටසක්. 

“වසන්තය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි, පුංචිම පුංචි හරිත, දම් ළපලු අතු ඉතිවලින් මතු වෙද්දි, සුදු පාට ලස්සන ඩේසි මල් තණකොළ අතරින් පතර පීදෙද්දි, පුංචිම පුංචි කුරුමිණියන් අවදි වෙනවා.”

මේ පුංචි මිහිරි කතාන්දරය ඉතාම නිර්මාණශීලී දියසායම් සිතුවම්වලින් අලංකාර වෙලා තියෙනවා. ඒවා පරිසරයේ ලස්සනත්, චරිතවල ස්වභාවයත් ඉතාම සුන්දරව මවා පෙන්වනවා. 

මේ සියල්ලත් එක්ක ලස්සන කතාන්දරමය අත්දැකීමක් එක්කම අපේ අවට ඉන්න අය ගැන වඩාත් අවබෝධයකින් බලන්න මේ පොත් ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් මග පෙන්වනවා. 

...

පොත - එක ලපයා ( ළමා සිත්තම් කතා පොත)

කතාව - එව්ලින් ෆන් දොර්ත් / සිතුවම් - ගෙර්දා වෙස්ටරින්ක්

ඕලන්ද බසින් පරිවර්තනය - එරංගා පෙරේරා 

ප්‍රකාශනය - ග්‍රැෆිකෙයා 

..

සටහන - ජනප්‍රිය ගමගේ.

අලුත් බලාපොරොත්තුවකට



තමන් ජීවතුන් අතර සිටියදී අවසරය දීලා තියෙනවනම් තමන්ගේ අභාවයෙන් පසු, තම ශරීරාංග පරිත්‍යාග කරන්න පුළුවන්නේ. හැබැයි ඔන්න ඒ කතන්දරය 2020 ඉඳන් නෙදර්ලන්තයෙ(ත්) විරුද්ධ අතට හැරෙන්නයි යන්නෙ. ඒ කියන්නේ කෙනෙක් අකමැතිනම් තමන්ගේ මරණයෙන් පස්සෙ, තම ශරීරාංගයන් පරිත්‍යාග කරන්න, ඒ කෙනාට පුළුවන් ඒක කළින් දැනුම් දීලා තියන්න. එහෙම දැනුම් දීලා නැති හැමෝගෙම නීරෝගී ශරීරාංග තවත් කෙනෙක්ට අලුත් ජීවිතයක්, බලාපොරොත්තුවක් දෙන්න ප‍්‍රයෝජනයට ගන්නවා. මේ අලුත් නීතියට මම නම් ගොඩක් කැමතියි. තියෙන එකම කණගාටුව, නොමිනිස්සු මේ අලුත් ක‍්‍රමය අනිසිලෙස ක‍්‍රියාත්මක කරයිදෝ කියන කනස්සල්ල විතරයි!

ලංකාව සහ අපි































සතියක් තිස්සෙ හිතේ තියෙන නොසංසුන්තාවය තවමත් එහෙමයි. අපේ ගත තියෙන්නෙ නොරට වුණාට හිත තියෙන්නේ ලංකාවේ. ඒ බෝම්බ පිපුරුණේ අපේ හිත් වල නිසා. අවුරුදු තිහකට ආසන්න කාලයක් යුද්ධයකින් පීඩාවට පත්වෙවී, හෙම්බත් වුණු අපිට බෝම්බ ප‍්‍රහාර කියන්නේ නුහුරු නුපුරුදු වචන නෙමෙයිනෙ. මට හිතෙන විදිහට මෙතැන තියෙන ලොකුම කම්පනය, මිනිස්සු යුද්ධ බයකින් තොරව ආපහු නිදහසේ හුස්මගන්න කාලෙක, හීනෙකින්වත් නොහිතපු විදිහට මේ දේ සිද්ද වීමයි.

ලංකාව මගේ, අපේ රට නිසා කියනවා නෙමෙයි. ඒත් ලංකාව කියන්නෙ ඇත්තටම පුදුම තරම් ලස්සන රටක්. අපේ රටේ ලස්සන වෙන කිසිම රටක් එක්ක සංසන්දනය කරන්න බෑ. ඒත් කරුමෙට මේ ර ටේ හැමදාම ඉන්නෙ, රට ට, රටේ ජනතාවට වඩා බලයට කෑදර පාලකයින් පිරිසක්. නැත්නම් අච්චර මිනිස් ගංඟාවක් නිහඬ කරලා තියෙද්දිත්, වගේ වගක් නැතුව, "අපි මෙහෙම දෙයක් සිද්ද වෙන බව දැනගෙන හිටියා. එත් දැන් වුණ දේ වුණා” කිය කියා, අමන වදන් දොඩවයිද? ඊටත් කිසිම ලැජ්ජාවක් නැතුව හිනාවෙවී!! මේ මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙලාද හැමදාම මේ රට කන්න හදන්නේ? අහිංසක ජනතාවගේ කඳුළු බිබී සන්තෝස වෙන්නෙ?

වෙන රටවල් වල නම්, තමන්ගෙ රටේ පුරවැසියෙක්, 'IS ත්‍රස්ත සංවිධානයේ' ත‍්‍රස්තවාදියෙක් විදිහට අහුවුණොත්, න්න පුළුවන් උපරිම නීතිමය ක‍්‍රියා මාර්ගය ගන්නවා. IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වෙලා හිටියේ වෙන රටකදිනේ කියලා පැත්තකට වෙලා නෝන්ජල් මිනිස්සු වගේ බලාගෙනෙ ඉන්නෙ නෑ. තවත් සමහරක් රටවල මේ ත‍්‍රස්ත සංවිධානයට කෙනෙක් බැඳෙන්න කළින්, එහෙම කෙනෙක්ව හඳුනාගන්න පුළුවන් විදිහ ගැන ජනතාව දැනුවත් කරනවා. ඒත් අපේ රටෙ එහෙම කෙනෙක්ව හඳුනාගන්න ගන්න පුළුවන් විදිහක් ගැන ජනතාව දැනුවත් කරන එක කෙසේ වෙතත්, ඔවුන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වෙන්න තියෙන බව නිළ වශයෙන් දැනගෙනත් ජනතාව දැනුවත් කරන්නෙ නෑ. ජනතාව කෙසේ වෙතත් ජනයාට-අධිපති වත් දැනුවත් කරලා නෑනේ ඉතින්. ඒ මනුස්සයා බෝම්බ ගහපුවා, ගස් කපපුවා හැමදේම දැනගන්නෙ, මුහුණු පොතෙන්, නැත්නම් පුවත් පත් වලින්. දැනුවත් වුණාට පස්සෙ කරන්නෙත් මෛත්‍රී මුණිවත රකින එක. මොළයක් නැති විදිහට කතා කිරීමෙන් ජනතාව රවටන්න බැරිවුණත්, විනාශ වීම වළකන්න බැරිබව අධම පාලකයින්ට තේරුම් යනකොට, රට ගොඩගන්න බැරිවිදිහටම, විදේශ බලවතුන්ට තවත් යටවෙලා තියෙයි. ලංකාව අතීතයේ දවසක ආසියාවේ ධාන්‍යාගාරය වෙලා තිබුණු බව, අවස්තාවේ හැටියට කටුස්සෝ වගේ පාට මාරු කරන පාර්ලිමේන්තුවේ බබාලට අමතක වුණාට, තැනේ හැටියට ඇණේ ගහන්න බලන් ඉන්න, විදේශකයින්ට තමන්ගේ අදහස උදහස ඉටු කරගන්න ලංකාව කදිම තෝතැන්නක්.

පාලකයින් කරන්නේ තමන්ට චන්ද නොලැබෙන දේට බලපාන සෑම අවස්තාවක්ම අනිසි ලෙස පාලනය කිරීම විතරක්ම නම්, ඒවයෙන් මහ ජනතාවට එල්ලවෙන ප‍්‍රහාර ප‍්‍රත්‍යක්ෂ කරන්නෙ නැත්නම්, එහෙම පාලකයින් හොඳ නැද්ද දොරක අඩේට තියන්න? අන්‍ය අවබෝධයෙන්, කුල මල, ජාති ආගම් බේද නැතුව, අපි හැමෝම ජීවත් වෙන්න ඕනැ ඒක නිසාමයි. ජාති ආගම් බේද උඩු දිව්ව නිසා පිළිකාවක් වගේ පැතිරුණ අවුරුදු 30ක යුද්ධය අමතක නොකර ඉමු. එකිනෙකා තේරුම් අරන් ජීවත්වෙන්න උත්සහ කරමු. නැත්නම් මේ පුංචි දූපතට තව මොනා නොවෙයිද?

අභිමානවත් නිදහස!





















මුහුණු පොතේ සමහරක් අය නිදහස අභිමානවත් කියලා දාගෙන ඉන්නවා. අනේ මන්දා ඒ ඇයි කියලා! පසු ගිය සති කීපය මං හිටියෙ ලංකාවේ. සුපුරුදු පරිදි ඇහෙන් දැක්කෙ නම් හිත සං සුං වෙන එ්වට වඩා නොසංසුන් වෙන එ්වා තමා. එච්චර ප්රශ්නෙ මැද්දෙ, අග හිඟකම් මැද්දෙ, අපේම මිනිස්සු ජීවිතය ලිහා නොගෙන, කොහොමහරි ගැට ගහ ගන්න එක නම් හැබැයි, අභිමානවත් කියලා කියන්නම ඕනේ.

එකපාරක් ප්රවෘත්ති වලට කීවා මට මතකයි පසු ගිය වසරෙදි එක පුද්ගලයෙක්ගෙ නමින් වැටුණ හොර ඡන්ද ප්රමාණය හැත්තෑදහසක් කියල. මාරම අභිමානවත් නේද එ්කත්. හරියට මොළය පාවිච්චි කරලා ඡන්දයක් දාන්නෙ නෑ කියලා මිනිස්සුන්ට දොස් කීවට වැඩක්ද කියලා හිතෙනවා, එ් වගේ දේවල් ඇහුණම. අනිත් එක නිතරම විකාශනය වෙන දේශපාලන දැන්වීම්. ඒවා හදන අයට දොස් කියන්නද.. දාන අයට දොස් කියන්නද.. නැත්නම් නරඹන අයට දොස් කියන්නද.. ඡන්දයක් අත ළඟම එන්න ඕනෙ, නායකයින්ගේ පොරොදන්දු හඬවල් නාලිකා ගත්වෙන්න, වචන අච්චු ගැහෙන්න. අවංකව වැඩ(ක්) කරලා මිනිස්සුන්ගේ හිත් ඇතුළෙ අභිමානවත් වුණා නම් මේ පුංචි දූපත අඩියක් හරි ඉස්සරහින් නෙමෙයිද ඉන්නෙ. එහෙම වුණා නම් ඔය වගේ වෙළඳදැන්වීම් වලට වියදම් කරන මුදලින් අඩුම ගානේ, මිනිස්සුන්ට රැකියාවට යන්න පහසුවෙන්නවත්, කෝච්චියක් කෙසේ වෙතත් කෝච්චි පෙට්ටියක්වත් ගන්න තිබ්බා. හැබැයි ඔන්න මෙදා පාර අනුරාධපුරේ ගිය වෙලාවෙ නම් , පහුවෙන පහුවෙන හැම වටරවුමක් උඩම එල්ලලා තිබ්බ දන්ත්්යාලේපන දැන්වීම් නම් අඩුවෙන් දැක්කෙ. එ් හැබැයි දේශපාලන උණුසුම තාමත් එ් තරම් විහිදිලා නැති නිසා වෙන්නැති. 

එකින් එක අරන් වචන ගොනුකරන්න ගියොත්, එතැනදි අනිවාර්යෙන්ම, අභිමානය කියන හීන මානයේ ඉස්පිලි පාපිලි, අඩුවක් නැතිවම කෑලි ගැලවිලා, නිදහසේම විසික් වෙයි. සිංහල කියන අපේම මව් භාෂාව පවා තියෙන්නේ, කවදහරි සදහටම අතුරුදහන් වෙලා යන භාෂාවන් ලැයිස්තුවේ ඉහළින්ම කියලා, වරක් මම පුවත් පතක තියෙනවා දැක්කා. ඉතින් මව් භාෂාවවත් රැකගන්න බැරි රටක නිදහස අභිමානවත් වෙන්නේ කොහොමද?

ආදරණීය මම්මා














දුක කියන්නේ මොකද්ද කියල අපි දැනන් හිටියට දුකක නියම වේදනාත්මක දුක දැනෙන්නේ අපි එ්කට මූණ දුන්නට පස්සෙයි. එ් වේදනාව මමත් මගේ පවුලේ අයත් මේ ටිකේ නොඅඩුව විඳිනවා. එ් අපේ ආදරණීය ආච්චි අම්මා අපෙන් ගතින් සමුගෙන වෙන් වුණ නිසයි. ආච්චි අම්මා වුණාට අපි පොඩි කාලේ ඉඳන්ම ඇයව ඇමතුවෙ මම්මා යනුවෙන්. එ් අපේ අම්මත්, ලොකු අම්මත්, මාමත් ඇයව අමතපු ආකාරය පොඩි කාලයෙ සිටම කන වැකුණ නිසා වෙන්නැති. අද මම්මා අපි අතර නෑ. ඇය අරඹයා මේ ලිපිය ලියන මේ දැණුත් මගේ ඇස් වලට කඳු උනනවා ඇය නැති ශෝකය නිසාවෙන්.

ඉපදුන හැමෝම අවසානයේ නැති වෙනවා කියන ධර්මය මම අනන්තවත් අහල තියෙනවා. එ්ත් අර සමහරක් අය කියන්නේ 'කියනවා වගේ ලේසි නෑ විඳිනකොට' කියලා. අන්න එ් කතාව නම් ඇත්තටම ඇත්ත. මම්මා නැති වේදනාව ඇත්තටම ගැඹුරු වේදනාවක්ම තමා.

කට වචනෙට මිනිස්සු කීවට 'ගතින් නැතත් හිතින් ළඟ ඉන්නවනෙ' කියලා -- හිතින් වගේම ගතිනුත් අපි ආදරය කරන අය හැමදාමට අප ළඟ ඉන්නවනම් කොච්චරද කියල මට හිතෙවා. ආදරණියයන් ඈත්වෙනකොට ඔවුන්ගේ මතකයන් අපිව බදාගන්නවා. මතකයන් ලස්සනයි. එ්ත් දුක..

අපි-- අක්කියි මමයි නංගියි පුංචි කාලයේ ඉව්ව ප‍්‍රථම සෙල්ලම් බතේ මතකයන් පවා තියෙන්නෙ මම්මත් එක්ක. කුස්සිය පැත්තෙ මිදුලෙ ගල් තුනකින් පොඩි ලිපක් හදලා ඉව්ව ඒ සුදු බතේ මතක චිත‍්‍රයන් දැනුත් මගේ මනසේ ඇඳෙනවා. මම එදා හිතන් හිටියේ අපි උයන්නේ වැලිබත් කියලා. මට මතකයි මම මම්මගෙන් ඇහුවා 'මම ඕකට තව වැලි ටිකක් දාන්නද' කියත්. අද එ් සිද්දීන් සුන්දර මතක වුණාට ඇස් තෙත් කරන්නට සමත් තියුණු මතකයන්.

මම්මගෙ අඩුව පුරවන්න මේ ලෝකෙ කිසි කෙනෙක්ට බෑ. ඇගෙන් අපි ඉගෙන ගත් දේ බොහෝයි

අපි පුංචි කාලයේ මම්මා අපිට ළමාසාරි අන්ඳවගෙන දහම් පාසැල් යනවා. පාසැලේ්දී, දහම් පාසැලේදී වගේම මහ ගෙදර පැවැත්වූ මොන්ටිසූරියේදීත් ඇගෙන් අකුරු කරපු, හොඳ නරක, ගුණ ධර්ම උගත් දරු දැරියන් ඕනෑ තරම්. ගමේ සියල්ලෝම පාහේ මම්මව ඇමතුවෙ ටීචර් කියලා. මට මතකයි මම්මව පන්සැල් එක්කන් ගිය එක වතාවකදී, එදා පන්සලට ඇවිත් උන්න මැදිවියේ දෙතුන් දෙනෙක් 'ආනේ මේ ටීචර්නෙ' කියාගෙන ඇවිත් මම්මව දෙපැත්තනේ වත්තම් කරන් බුදු මැදුරට එක්කන් ගියා. එදා මට දැණුනෙ කියාගන්න බැරි තරම් ආඩම්බරයක්. මම්මා ඇස් ලොකු කරන් එ් කීපදෙනා දිහා බැලුව විදිහ, මම්මගෙ මූණේ එ් වෙලාවෙ තිබ්බ පුදුමසහගත හිනාව මට දැනුත් හොඳට මතකයි. අවුරුදු 90 කට කිට්ටු කරලා හිටිය ටීචර්ව දැකලා එ් ළමයින්ගේ හිතේ ඉපදුණු බැතිබර බව කොච්චරද..

ගමේ තිබ්බ මගුල් ගෙවල් වලටත් මම්මව නැතුවම බැරි චරිතයක් වුණා. එ් ගමේ ජයමංගල ගීත කණ්ඩායම පුරුදු පුහුණු කරෙත් මම්මා නිසයි. එ් දවස්වල කණ්ඩායමේ හිටිය බාලම කෙනා මම. ජයමංගල ගාථාවන් මතකයෙන් නිවැරදිව කීවත් මට අමතක වුණු එකම දේ තමා ගාථාවන් අවසානයේ ආචාර පවත්වන්න දෑත ඔසවලා වඳින එක. ඉතින් මම්මා මගේ ළ හිටිය අක්ක කෙනෙක්ට කියල තිබුණා වඳින්න දෑත රවුමට ඔසවලා ගද්දි මගේ අතට පොඩි තට්ටුවක් දාන්න. එ් මතකයන් ඔස්සේ අද මම්මව තට්ටු වෙන්නෙ හදවතේ ගැඹුරුම තැනට.

ගමනට වගේම ගෙදරටත් මම්මා ඇන්ඳේ ඔසරියම තමා. මගේ මනසට මේ දැනුත් මම්මා මහ ගෙදර එහා මෙහා ගිය විදිහ මැවී පේනවා. හවසට මල් කඩලා බුදු කාමරේ මම්මා පංසිල් ගත්ත විදිහ. මිදුලෙ කොනේ ජම්බෝල ගහ ළ හදලා තිබ්බ පහන් කණුවේ පහන පත්තු කරලා මම්මා වැඳන් ඉන්නවා මට මේ දැනුත් මැවිල පේනවා. එ් මතකයන් කොච්චර සුන්දරද. එ්ත් එ්වා මතක් වෙන වාරයක් වාරයක් පාසා හිත දැවෙනවා. නෙතු හැඬෙවා.

අදට හරියට මම්මා අපෙන් සමුගෙන දවස් 7ක් වෙනවා. මම්මව තව එකම එක වාරයක් හෝ හැබැහින් දැක ගන්න තිබ්බ නම් කොච්චරද කියල හිතෙන වාර ගණන අන්නතයි. අප‍්‍රමාණයි. නොරට විසීම කරුමයකටත් එහා ගිය කරුමයක් බව දැනෙන්නේ මේ වගේ අවස්තාවන්වලදී තමා. ආදරණියයන්ව අඩුම ගණනේ ඔවුන්ගේ අවසාන මොහොතෙදිවත් දැක බලා ගන්න වාසනාවක් නැති වෙනකොටයි. මම්මා අපෙන් සමුගත් පුවත මහ පාන්දරයාමෙ ලොකු මල්ලි දුරකථනයෙන් මට කියනකොට මට ඉස්සෙල්ලාම කියවුණේ 'අයියෝ' කියන වචනයයි. එතකොට හිතට කඩාගෙන බිඳගෙන ආව දුක නම් අදටත් අඩුවක් නෑ. මම්මා ගතින් අපි ළ නැති හිස් අඩුව හැමදාම අපි අතරෙ තියෙනවා සහතිකයි. එ්ත් අයියෝ.. එ්කට මොනා නම් කියල කරන්නද.. ඉකිය, කඳුළ හිර කරන් මතකයන් අවදිකර හූල්ලනවා ඇරෙන්න. හදවතින් ඇයට නමස්කාර කරනවා ඇරෙන්න.

ආදරණීය මම්මේ අපි ඔබට හැමදාමත් ආදරෙයි. ආදරණීය ඔබට නිවන් සුව අත්වේවා..!!