සිතිජයක ගීයක්


මල් පුරවගත් වසන්තය මැද
මංමුළා වුණ සිහින ගොමුවකි
සිතිජ මායිමත් පහුකරන් දුර
සුවඳ විසිකර තටු සලා යන

අගුළු ලාගත් හිතක පිළිඹුවෙ
කඳුළු වස්සන විටදි රිදවුම්
අනන්තයටත් එහා දුර ගිය
හඬකි පැටළුන වසත් ගීතය

මතකයෙන් පා නොවුන මතකය 
පාට බොඳවී පාළු සිත යට
නෙතට තනිරැක ඉකි ගසද්දී
කොහොම කරනවද සිතිජය පාට


2020.05.07

නොලියවුණු කවිය


















හදිසියෙන්ම,
කවක් ලියන්නට සිතුණි.
දවස් ගණනක්ම මිලිනව තිබූ
කවිසිත පුබුදලා-
කවක් ලියන්නට හදවතට 
ඕනෑමය.
සිතුවිලි තෙරපෙයි
පදවැල් පෑන් තුඩින් 
ගිලිහෙන්න,
අසිහියෙන් මෙන් දඟලයි.
මේසය මත වැතරිච්ච 
කටු අකුරු පොත ද,
පුන පුනා බලාසිටියත්
කවක් නම් නැත ලියවුණේ-
නොලියවුණු කවිය,
තවත් කවියක් මැව්වාම විතරයි.


2007.02.28