දුක්බර නත්තල



සීතලේ සුදු හිම කැටිති අතරින්
පා තබන විට මා තනිවෙමින්
සිත දවයි මා හඬන කඳුළින්
මා දමා නුඹ වෙනතක ගිහින්

උඳුවපේ ඇති අසිරි බල බල
එකට උන් පෙර නත්තලේ
මතකයන් හද මෝදු වෙන විට
සිත අහස මගෙ බොඳ උනේ

තනි උනත් මා විරහ කඳුළින්
ගෙවෙන මේ සුභ නත්තලේ
මා දමා නුඹ සිනාසෙන් සඳ
අහිතක් නෑ මගෙ සිත් ගැබේ


මුතු පබා
2005.12.22

නැවුම් ප‍්‍රාර්ථනා



හුදෙකලා සිතඹරේ
ඈ - ත - ට ඇදෙන
අඳුරු මේකුළු....

අතරින් පතර
සුදිලෙයි දියමන්ති!


මුතු පබා
2009.12.14

සිසිරයේ වසන්තය



මේ සීතලම සීතල සිසිරය වුව
මල් පිපෙන වසන්තයමැයි
සිතෙයි මට !

ජීවිතයේ එතෙකැයි මෙතෙකැයි
කවමදාවත් කිව නොහැකි,

සිහින සිතුමන් ප‍්‍රාර්ථනා
තිඹිරිගෙයිම මියැදෙද්දි....
සිසිරයේ මේ සොඳුරු වසන්තය
මගේ හදවතට

කොහෙන් කොහොම නම්
එබුණාද....?

ගිලන් වූ හදවතට
නේක මල් සුවඳ අතුරන
හදකුටියෙ පාළු බිතු පුරා
ජීවිතය පාට පාටින් සිත්තම් කරන
සිසිරයේ මේ සොඳුරු වසන්තය

මගේ ලෝකයට
කොහෙන් කොහොම නම්

ආවාද....?

මුළු රැයම හදෙහි සැතපෙන
අරුණැල්ල සමගින්
යළි යළිත් අළුත් වෙන,
සිසිරයේ මේ සොඳුරු වසන්තය
කොහෙන් කොහොම නම්

මතු වුණිද....?

ඉමක් කොනක් නැති ආකාහේ සිට
මතනියට උන් පුංචි තරුවක් විලස

දුරින් හිඳ වුව ළඟින් සිටිනා,
සිසිරයේ මේ සොඳුරු වසන්තය
ලියා නිම කළ නොහැකි
කවියකි තවම මට....!


මුතු පබා
2010.02.20

කැලෑ මලක ගීතය



වනපෙතක නිදැල්ලේ පිය නගන විට
නීල තුරුපත් අතරින් මතු වුණ
කැලෑ මලක ගීතයක්,
මගේ දෙසවන වැකුණි

"නිහඬ නිසසල රාත්‍රියේ
මම මිහිකත මත සැතපුණෙමි
තැතිගැන්මෙන් මා කෙඳිරුවද,
මහත් සොම්නසකින් පෙළුනෙමි

පිරුණු බලාපොරොත්තු සහිතව
උදෑසනින්ම මම පිටවුණෙමි
සොයන්නට නැවුම් සතුටක්;
ඒත් අනේ! ලැබුණේ අවමානයකි"


[විලියම් බ්ලේක් | William Blake ගේ "The Wildflower's Song" කවියේ පරිවර්තනය.]

පරිවර්තනය: මුතු පබා


The People....



















The people who ask you
Never to leave them
May be the first to leave you !


Muthu Paba
21.01.2008

පොඩ්ඩයියාට

සුණු විසුණු



පුංචියට පුංචියට
අපේ
හීන මාළිගාවට

මං
එකතු කළ
අඩුම කුඩුම

නුඹ ඇය හා
භුක්ති විඳිනකොට

දැනෙන රසය
ගොඩක් මිහිරිද ?


මුතු පබා
2008.03.16

සමුගැන්මකට පසු



දුකඳුර තුරුළු කර
දෑසග හිරවුණු
කඳුළු සමගින
සමුනොගෙන සමුගතිමි.

දැන් ඉතින්,
අඳුරු කළු තනිකමෙන්
දැවෙන හදවත පුරා
සක්මන් කරමි....

හද පතුලෙහි
නිධන් කෙරූ,
රුවන් මතකයන්
සොයන්නට.
විඳින්නට හිමින් සීරුවේ
එක බැගින් ගෙන.

මිටින් මුදාහළ
කිරිලියක සේ,
පියාඹන තුරු
නැවත සෙවණට


මුතු පබා
2010.10.11

(ලංකාවිත්ති - 2010.නොවැම්බර් කලාපය)

සිහින කුමරුට

Image and video hosting by TinyPic

සුවඳයි පෙම මල් සුවඳයි
එළියයි පෙම රන්තරු එළියයි
ආදරෙයි මං ආදරෙයි
ඔබටමයි මේ ඇත්තමයි

හිත මගේ ඔබම හොයනවා
සිතුම් පොදි පිටින් පිපෙනවා

ජීවන ගීයම එළි කරයි
ඒ ඔබ තමයි මේ ඇත්තමයි
ඇවිදින් කියන් මට ආදරෙයි
මගේ සිහිනය ඔබ තමයි

සෙනෙහේ පොහොට්ටුව හිනැහිලා
පිපෙන්නට මග බලනවා

ඔබේ සුවඳට හද දුවයි
ජීවන සුවඳත් එය තමයි
සොයා එන්නකො හද මග බලයි
මා නුවන් පොඩි මුරණ්ඩුයි

සැනසෙන්නම් මා සැනසෙන්නම්
සිහිනයක් නොවී ඔබ එනවනම්


මුතු පබා
2006.08


සිහිනය මිහිරියි ඔබ ආවොතින් එය සුමිහිරියි....!!

මුලාව



කළුවර අහසේ
ගස් අතු අතරින්
මැවුණා එකපාරටම
නිවි නිවී දිලෙන
රතුම රතු තරුවක්

නෑ.. අයියෝ....

කොහාටද පියාඹන
අහස්නැවක්..


මුතු පබා
2007.04.20

පොරොන්දුව



රෙදි අම්මා මාව නාවලා
ගෙට ගත් දවසෙ,
අප්පච්චි ලොකුවට පාටියක්
දැම්මා මතකයි.
මාමලා නම් මං දිහා
රකුසු ඇස් වලින් බැලුවා.
ඒත් අප්පචි මට ලැබුණ
තෑගි සල්ලියෙන්,
එයාලා බීපු ණය ගෙව්වා.

කුඩම්මා ගමේ ගෙට
කැන්ඳන් ආපු දා,
අප්පච්චි මට 
හොඳටෝම ගැහුව මතකයි.
ඒ දවස් වල මං
හිරුට කළින් අවදිවෙලා
උයල පිහල ඉස්කෝලෙ ගියා.
මං බඩගින්නෙ
ගෙදර එනකොට,
කුඩම්මා මගේ කෑම පංඟුව
වයිටට දාලා තිබුණා.

මං අසනීපෙන් ගෙදර
හිටිය දවසක,
අප්පච්චිත් ගෙදර
උන්නා මතකයි.
තිබුණ අමාරුකම් නම්
එදා වැඩි වුණා.
ඒත් අසනීප පිටම මං
පහුවදා ඉස්කෝලෙ ගියා.

අද මගේ දුවත්
නාවලා ගෙට ගන්නවා.
අප්පච්චි කව්දැයි දුව
අදත් මගෙන අහයි !
පිළිතුර වෙනදාක
දෙන පොරොන්දුවෙන්
මං දුවව අදත් මග අරිනවා.


මුතු පබා
2008.05.22

නිහඬතාව රත්තරං....!

















එක් සිසුවෙක් සිය ගුරුතුමා ළඟට ගොස් "ගුරුතුමනි..., ගොඩක් කතා කිරීමෙන් හොඳක් සිද්ද වෙනවද?" යැයි ඇසුවේය.

සිය සිසුවා දෙස බැලූ ගුරුතුමා, "මැඩියෝ, දිවා රෑ හඬ නගනවා. නමුත් කවුරුත් උන්ට අවදානය යොමු කරන්නේ නැහැ. ඒත් බලන්න උදේ පාන්දර හඬලන කුකුළා දිහා.. දවසේ වැදගත් මොහොතක ඇහෙන උගේ හඬ නිසා සියලූම දෙනා අවදි වෙනවා.. වැඩියෙන් කතා කිරීමට වඩා වැදගත් වෙන්නෙ, සුදුසු දේ සුදුසු වෙලාවට පමණක් පැවසීමයි...", සිය සිසුවාට තේරුම් බේරුම් කර දුන්නේය.


(ජන කතාවක් ඇසුරිනි.)

පරිවර්තනය : මුතු පබා
2010.08.26


කතන්දරය බූන්දිය හරහා කියවන්නට: නිහඬතාව රත්තරං....!

සිනාසෙනු !



සිනාසෙනු මැන හදවත රිදුනද
සිනාසෙනු මැන හදවත බිඳුනද
අහස පුරාවට මේකුළු ඇති සඳ
නිසැකය ඔබ එය වටහා ගනු ඇත

බිය සැක අතරින් සිනාසුනොත් නුඹ
නුඹ වෙනුවෙන් හෙට හිරු දිලිසෙනු ඇත
සිනාසෙනු මැන - සිනාසෙනු මැන

සතුටු සිනාවෙන් ඔබෙ මුව සරසනු
සෝ දුක් සලකුණු සඟවා හිනැහෙනු
කඳුලක් ලං වෙනමුත් යම් මොහොතක
ඉසිඹුව එයමය දිරිමත් විය යුතු
සිනාසිය යුතු, හඬා කුමන පල?
දිවියෙහි වටිනාකම වැටහෙන්නේ
සිනාවකින් එය සැරසුවොතින්මය!


චාලි චැප්ලින්ගේ "Modern Times" චිත්‍රපටයේ "Smile" තේමා ගීතයේ පරිවර්තනයකි.

පරිවර්තනය : මුතු පබා
2010.04

එකම සැනසුම



නුඹ මා ළඟ
නොමැති හෙයින්
දිවිය,
සොම්නසට වඩා
දොම්නසට බර
බව සැබැවි.

එහෙත් නුඹ මට
ආදරේ බව නම්

සත්තම සත්තයි !


මුතු පබා
2010.08.22

පුංචි පැංචි කාලේ



පුංචි ගෙවල් සෙල්ලම් බත් හැදුව පුංචි කාලේ
යන්නට හැකිනම් මා හට පුංචි බාල කාලේ
කිරි කිරි බෝලෙට හිත යයි රැලි රැලි මාලේ
ආලිස්සම් කවඩි සිනා පෑව පුංචි බාලේ

බට්ටො පැනල හැංඟිමුත්තො කරපු බාල කාලේ
අතුරු මිතුරු දඹ දිවතුරු ඇඟිලි ගැනපු කාලේ
එනවානම් ආයෙත් ඒ පුංචි බාල කාලේ
දිව යන්නට ඉපිලෙන්නට පුංචි පැංචි වාගේ


මුතු පබා
2006.07.18

ආදර මුකුළුව



සහස්රැස් සිපගද්දි
වළාපෙති හොර රහසෙ....

මුමුණද්දි නුඹ ඉතින්
ඔය හිතේ ආදරේ....
රත්තරං මම ඉතින්
බිම බලන් දැන් ඉන්නෙ....

ආදරේ නැතිව නොව
ලැජ්ජාව හින්දානෙ....


මුතු පබා
2006

පිණිබිඳු මේඛලා



සිටිනා විලස නුඹ
බොහොම අපූරුය
දින දින
නිහඬවත රැක රැක
වගේ වගක්
නැති ලෙසට

ඉතින්....
කෙසේ නම් කියමිද
එදවස නුඹෙන් තිළිණ ලද
සොඳුරු පබැදුම්
තවමත් මිහිරි යැයි

සංකා සෝ තැවුල් නොමතැයි
මුල මැද අග පටලවාගෙන
අවිඳු අඳුරක එරුණු කල
හිතුවක්කාර මුණිවත නිසාම
වසන්තය යළිත්
බෝ දුර ගොස් ඇති විටෙක

දුක මටය
මහා මෙරක් තරමටම
නැත !
ඊටත් වැඩිය....

එනිසාවෙන්
නීරස අහිමිවීම්
හොඳින් හුරු පුරුදු
මසිත හූල්ලන හීල්ලිලි අමුණා
නුඹට එවනෙමි
පිණිබිංඳු මාලයක් 

එහෙත් පැනයකි !

ඉසිඹුවක් ලැබේවි ද නුඹ හට
පිණි බිඳුවක සීතලම සීතල
විඳගන්න ?
 
 
මුතු පබා
2009.07.23

ඉලිප්පෙන මතක



වෙරළ තැනින් තැන
සිඟිති පා සලකුණුය
වැලි සුළඟට
හිමි හිමින් මැකෙන

ලොකු කුඩා
සිප්පිය
ඒ අතරින් පතර


මුතු පබා
2010.08.09

සුළඟ, එක් කාන්තිමත් දවසක



















සුළඟ,
එක් කාන්තිමත් දවසක....
පිච්ච මල් සුවඳක් සමගින්
මගේ ආත්මයට කතා කෙරුවේය.

"මාගේ පිච්චමල් සුවඳ වෙනුවට
නුඹේ උයනේ රෝසමල් වල
සියළුම සුවඳට මම කැමැත්තෙමි."

"මා ළඟ රෝසමල් නොමැත;
මඋයනේ සියළුම මල්
පරවී ගොස්ය."

"එසේනම්,
මිලින මල් පෙති ද
කහ පැහැති පත‍්‍රයන් ද
උල්පතේ සියළුම ජලය ද
මම රැගෙන යමි."

සුළඟ පිටවුණි.
හඬා වැලපුණු මා
මාගෙන්ම මෙසේ ඇසුවෙමි.
"නුඹට පවරා දුන් උයනට
නුඹ කුමක් කෙරුවෙහි ද?"




["අන්තෝනියෝ මචාඩෝ | Antonio Machado" විසින් ලියන ලද "රොබර්ට් බ්ලයි | Robert Bly" විසින් ඉංගී‍්‍රසියට පරිවර්තනය කරන ලද "The Wind, One Brilliant Day" කවියේ පරිවර්තනය.]

පරිවර්තනය : මුතු පබා
2010.08.01

(ලංකාවිත්ති - 2011.මාර්තු කලාපය
සිළුමිණ - දීපානි - 06 දෙසැම්බර් 2020)





Swam In Lava



I would like to thank you
In every way I can
For the punishment
You gave me
To have loved you truly !


Muthu Paba
2008


ඒ පුංචි දැරිවිය



දකියි ඇය..
මග තොට යන එන
නෙකවිධ මිනිසුන්

සමහරෙක් පී‍්‍රති මුවින් ද
තවත් සමහරෙක්
රවා බුම්මාගෙන ද,
එහාට මෙහාට යයි එයි

නොසිතූ මොහොතක
ඇය දෙසට,
දිගු වෙයි අතක්.
බිම ඇතිරූ ඉටි රෙද්දට
වැටෙයි කාසියක්

සැණෙකින් බලයි
ඇය තම මව දෙස.
සිය බිළිඳු සොයුරා
උකුලේ හොවා,
යනෙනා දනන් වෙත
බැල්ම රඳවා අයැදින

ඇය ද ඇය හා
බලයි ඔවුන් දෙස

මොහොතකින්
නෙතු බිමට හරවා,
වැරහැලි ගවුමේ
සිදුරක් හාරයි.
දූවිලි නාගත්
හුරුබුහුටි පුංචි දෙපා
එකින් එක පිරිමැදෙයි


මුතු පබා
2010.07.24


(ලංකාවිත්ති - 2010 සැප්තැම්බර් කලාපය)

ගීතයකි ඔබ



ගීතයකි ඔබ තවම නොලියවුණු
ඇඟිලිතුඩු වලින් ගිලිහෙනා
හුස්මෙන් හුස්මෙන් මතකෙට ඇවිදින්
හදවත දුකකින් පුරවනා

ඔබ මට කීවත් මං නොකියූ ඒ
සෙනෙහස ගොළු වී වැලපෙනා
අඹරේ පායන දේදුන්නක් සේ
හදඹරෙ පායා වියැකෙනා

උල්කාවක් සේ නෙතු අග මැවිලා
සිනා රැල්ලකින් මුව සරසා
විදුලිය සේ යළි නිවී සැඟව ගොස්
මුව හසරැලි මුකුලිත කරනා

මුතු කියන්නේ කඳුළු බිඳු බව
කවදාදෝ නුඹ වටහා ගන්නේ
මමත් ආදරෙයි නොකිය කියූ බව
නොම දැනදෝ නොදොඩා ඉන්නේ


මුතු පබා
2009

කවිය



පද
නොසිඳෙනා
සිතක ලස්සන


මුතු පබා
2007.10

නයි

You Are My Everything



When I see your eyes
I see life....
When you hold me
I feel love....
If God ever asks me
What I want,
To complete my life....
I will just say “Nothing”
Because he already has
Given me everything
And that is you !


Muthu Paba
28.09.2006

නොලියු කව



බොහෝ කවි ලීවමුත් මම
නොලියු තව එක කවක් ඇත

නෙක මල් පිපෙනා වසන්තයේ
සුවඳ ළඟවත් නොමැත ඒ කව
කුරුළු ගීවල දසත විසිරෙන
මුසුවෙලා නෑ සොයන කව මම

පුංචි තරුවල රෑඹරෙ ඉඟි කරන
හැංඟිලා නෑ සොයන කව මම
සෙවණ ගෙන දෙන නීල තුරු යට
විසිරිලා නෑ මගේ ඒ කව

බොහෝ කවි ලීවමුත් මම
නොලියු කව ගැන දුකෙන් බව දැන
තවත් බොහෝ දුරින් නිහඬව
ඉන්නෙ මං ආදරේ බව නොදැනද



මුතු පබා
2009.01

මදටි කැලෙන්













මදටි කැලෙන් පැනල ආපු
හා පැටියෙක් උන්නා
කළු උනාට හරි හුරතල්
හා පැටියෙක් වූවා
දිග කන්වල හා පැටියගෙ
සුදු පුල්ලී තිබුණා
ඒක දැකල සන්තෝසෙන්
අපට හරිම හිනා හිනා

ඒ සද්දෙට බයවී ඌ
පඳුරක හැංඟුනා
හොරෙන් හොරෙන් පඳුර තුළින්
ඇස් ලොකු කර බැලුවා
උඳුපියලිය සොයා එන්න
අප හනිකට දිව්වා
උඳුපියලිය සොයානවිත්
පඳුර ළගින් තිබ්බා

මදටි කැලෙන්....

ගහකට අප මුවාවෙලා
කනවාදැයි බැලූවා
උඳුපියලිය කන්න ආවෙ
නැහැනේ පොඩි හාවා
අපේ පුංචි හා පැටියා
කැලේට රිංගලා
හෙටත් ආයේ ඌ එයිදෝ
හරියට දුක හිතුනා

මදටි කැලෙන්....

2006.09.29

සිඟිති කටහඬ: සසිඳු මැද්දේගොඩ
සංගීතය: කපිල මැද්දේගොඩ
ගී පද: මුතු පබා

සිංදුව අහන්න....

දෙහදක රිද්මය



නිමිත්ත : නොහඬන් සූරියකාන්තා ආදර අන්ඳරයේ කමලාදේවි, ඇගේ පෙම්වතා ක්ලෝඩ් සමග පලායන්නට පැමිණි අවස්තාව....


ඇස් වලින් පමණක්
දොඩන්නට අවසරය ඇති
ආදරය විතරක්ම ගෙන
ඉතින් අපි පලායමු

අපේ කැදැල්ලට
ගම්මුන්ට හොරෙන්

මා කුසේ නිදියනා
නුඹේ ලේ කැටියා ගෙන
කොහේ හෝ ඈතකට
දැන් ඉතින් මාව ගිනියන්න
කාටවත් කවමදාවත්
අපිව හොයාගත නොහැකි
දුරම දුර ඈතකට
හිරුද ඇහැරෙන්නට පෙරව

සුළඟේ තාලයට නැලවෙන
නේක මල් මිසක
කුරුළු කිරිලියන්ගේ
විහඟ ගී මිසක
නපුරු වූ අන් කිසිත් නැති
අපිටම වෙන්වූ අපේම දේශයකට
පලායමු දැන් හනික
නපුරු වූ ගම් දනව්වෙන් පිටව

ගලායන අප සොඳුරු පේ‍්‍රමයේ
ආදරණීය හද රිද්මයට,
නිදහසේ කන් දෙන්න
සෙනෙහසින් උතුරා යන
අප පේ‍්‍රම අන්ඳරය
ආදරෙන් බෙදාගන්නට
නූපන් දියණියද සමග
පැමිණි මා රැගෙන
දැන් ඉතින් පිටවෙන්න

මං ඔබට ආදරෙයි ක්ලෝඩ්....
අදින් පසු මගේ මුළු විජිතයම
ඔබට බාරයි....



මුතු පබා
2007

හිමි හිමින් නුඹ



වෙන්ව යනයුරු මගෙන් දුරට නුඹ
හිමි හිමින් දැනුණා
ජීවිතේ රස මීදුමක් සේ දිගන්තෙට ඇදුණා

නෙතග තනියට කඳුළු පොකුරක්
හැම ඉසිඹුවක රැඳුණා
සෝ සුසුම් වැල් සිහින් සර නැගුවා
සිහින සිතුවිලි දෑස අබියස ඇඳී මියැදී ගියා

හදබිතු පාරා උපන් වියෝ ගී
අතැඟිලි සසලව ගොනුවෙනවා
පහන් එළිය මගෙ දුරෑත බැබලෙනවා
සහන් එළියෙන් කව්දෝ සැනසෙනවා

හිමි හිමින් නුඹ මගෙන් ඈතට ඇදුණා
ජීවිතේ රස මීදුමක් සේ දිගන්තෙට ඇදුණා


මුතු පබා
2008.12.14

ගිම්හානයේ දවස්

අඩක් ඇර තිබූ කවුළුවෙන් හිරු රැස් පෙරී අවුත් නිදි බර මා දෙනෙත අභියස දිලිසෙන්නට වූ නිසා, අතපය ගසා දමා ඇඳෙන් බහින්නට මම දැඟලුවෙමි.

ඇඳෙන් නැගිට ඇඟ මැලි කඩද්දී, ඇට කටු කැඩෙන සද්දයක් මතු වූ නිසා මගේ ඇඟ කිළිපොළා යන්නට විය. සිරුරේ සමබරතාවය රැක ගන්නට අසමත් වූ මම, ඇඳ අද්දර තිබූ රතු පැහැ පුටුවේ ඇලවුණෙමි. දමා තිබූ ගුවන්විදුලියෙන් කාළගුණ වාර්තාව කියවමින් සිටි නිවේදකයාගේ උද්යෝගිමත් කටහඬින් මුළු කාමරයම පිරුණේය. මුළු දවසම පැහැපත් බවින් යුක්ත වෙන අතර, අහස ද පැහැදිලිව පවතින බව ඔහු කීවේය. ගෙවුණු මුළු රැය පුරාම මා දිගු නින්දක පසු වූවත්, ගුවන්විදුලිය දමා තිබූ නිසා සිහිනයක් එක දිගට දැකීම අසීරු කරුණක් විය. මොහොතකට මට මරණයේ දර්ශණයක් පෙනුණේය.

මරණයේ අදිසි හස්තය කෙමෙන් කෙමෙන් මගේ ගෙල වටා ළං වූ නිසා, මට මහත් පිළිකුළක් දැනුණි. මගේ උදරය දඟලන්නට විය. පියවි ස්වභාවයට එන්න තැත් දරමින්, මගේ පුංචි කාමරයේ අනෙක් පස තිබූ මුව සෝදන බේසම ළඟට ගියෙමි. බාගෙට පිරී තිබූ වතුර වීදුරුවක් ඉක්මණින් අතට ගත් මම, අසීරුවෙන් එය බිව්වෙමි. ඉන්පසු මගේ මනස සංසුන් කරගැනීමට හිස දියේ ගිල්වන්නට පෙර, වතුර සීතල කරගැනීම සඳහා ජල කරාමය ඇර තැබුවෙමි. මෘදු සුළඟක් හමායන අතර, දවසේ වැඩි හරියක් මුහුද නිශ්චලව පවතින බව නිවේදකයා පවසනවා මට ඇසුණි.

පහළ වීථීයෙන් ඇසෙන කෝච්චි සහ රථවාහන වල ගොරහැඩි ශබ්ද අතරින්, පිටත තුරුහිස් වල ලැග උන් කුරුලු කොබෙයියන් ගීත ගයන නද ඇසෙන්නට විය. මිනිස්සු වැඩට යනවා! මට සැණෙකින් සිතුණි. ඒ සිතුවිල්ලත් සමග අලුත් දවසක සිතුවිලි මනසට ගලා එන්නට විය. විවිධාකාර අතුරු අන්තරා සැඟවී සිට පහර දිය හැකි දවසක්. පාර තොටේ මිනිසුන් එකිනෙකා නොහඳුනන බැවින්, එහි දී සිදුවෙන එවැනි විපත්ති පිළිබඳ කිසිවෙක් සැලකිලිමත් නොවෙති. නමුත් වීථී පුරා පවතින නන්නාඳුනන නිහඬතාවය බිඳිය හැක්කේ ද විපතකටම පමණි.


හිසේ තෙත තිබියදී ආ මගින්ම නැවතත් ඇඳ ළඟට පැමිණි මම එහි ඉදගත්තෙමි. එවිට ඇඳෙන් ක්‍රීක් ශබ්දයක් නැගුණු අතර, ඇඳේ වූ රෝස පැහැ ඇතිරිල්ල ඉවත දමා එය හිමින් සීරුවේ බිමට වැටෙනායුරු බලා සිටියෙමි. කුරුලු කිරිලියන් ඝෝෂාකාරීව කෑ ගසමින් සිටි අතර, කාන්තාවක් ඇගේ දරුවාට අඬගසනවා මට යාන්තමින් ඇසුණි.

මම කවුළුවෙන් එළිය බැලුවෙමි. ලා නිල් අහසේ සුදු වළාකුළු සෙමෙන් පාවෙමින් තිබුණි. රතුපාට ගඩොලින් තැනූ දුම් කවුළුව සුපුරුදු පරිදි එලෙසින්ම තිබුණි. එහි ජරාවාස වූ බිත්ති ඒ අවට තිබූ අනෙකුත් ගොඩනැගිලි වලට වඩා උසින් දිස්වුණි. දුම් කවුළුව නිල් අහස්තලයට විරුද්ධව පැහැදිලිව කැපී පෙනුණු අතර, නිහඬ ස්මාරකයක් ලෙස දිස්වුණු එය අවට පරිසරයෙන් ද පහසුවෙන් වෙන්කොට හඳුනාගත හැකිවිය. ඊට එහා මිටි කඳු මුදුනේ කඳවුරක් වැනි දෙයක් පිහිටුවා ඇති අයුරු මම දුටුවෙමි. කන්දේ බටහිර දෙසින් රතු පැහැ පියසි වලින් සමන්විත සුදු පැහැ ලෑලි ගෙවල් පෙළක් තිබූ අතර, ඉන් කොටසක් පයින් ගස් වලට මුවා වී තිබුණි.

පස්වෙනි මහලේ තිබූ මගේ කාමරයේ සිට එළිය බලන විට, නගරයේ විශාල කොටසක් පෙණුනේ, එක පිට එක කතිර ගැසී අවුල් ජාලයක් ලෙස දිස්වුණු රේල්පීලි රාශියක් ද සමගිනි. එය දුම්රියපොළට කාර්යබහුල උදෑසනක් විය. කෝච්චියක් වෙනස් මගකින් යන්නට සලස්වා තිබූ අතර, දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවකයෙක් එහි රියදුරාට මග පැහැදිලි කරමින් සිටියේය. නිල් පාට නිල උඩවැස්මක් සහ රතුපාට තොප්පියක් පැළඳ හුන් සේවකයා, ඔහු අත තිබූ කහ පාට කොඩිය දුම්රිය රියදුරාට වනමින් සිටියේය. ඔහුගේ දකුණු අතේ වූ ඝන යකඩ පොල්ල ඈතට දිස්වූයේ, ඇසිල්ලකින් පහර ගසා කවුරුන් හෝ මරා දැමිය හැකි ආයුධයක් ලෙසය. ජනේලය තුළින් මට ඔහුව දැකගත හැකි වූ අතර, ඔහුගේ චලනයන් ද අනුගමනය කළ හැකි විය. මා පදිංචිව සිටින පරණ මහල් නිවාසයේ සිට දුම්රියපොළට වූයේ ගලක් ගැසිය හැකි තරම් දුරකි. දුම් කවුළුව කිසිම දුමක් පිට කළේ නැත. එය සෙනසුරාදාවක් වූ නිසා කෝපි කම්හල වසා දමා තිබුණි. සෑම බදාදාවකම සහ සිකුරාදාවකම දුම් කවුළුවෙන් කටුක අළුපැහැ දුමක් පිටවූ අතර, ඒ සැර දුම අලසකමින් මුළු දවසම අහල පහල ගැවසෙමින් තිබිණ.

හදිසියේම කිසිම දැන්වීමකින් තොරව සියලුම දේ ඛේදවාචකයක් විය. කහපාට කොඩියක් අත දරා සිටි මිනිසා මහළු පෙනුමකින් දිස්වූ අතර ඔහුගේ මුහුණ දුකින් බරවිය. සුදු ලෑලි ගෙවල් වසා සිටි පයින් ගස් වේදනාවෙන් සහ හුදකලා බවකින් දිස්වුණි. දුම්රියපොළේ නවතා තිබූ අනෙකුත් දුම්රිය දිස්වූයේ මිනී පෙට්ටි විලසය. තදබද වී රැස්වුණු මගීන් සුළු පිරිසක් ගල් ගැසුණා සේ නිහඬව සිටගෙන සිටි අතර, ඔවුන්ව නැවත යථා තත්වයට ගෙන ඒමට උත්සහ දැරීම නිශ්ඵල ක්‍රියාවක් හෙයින්, මරණය සිදුවිය හැකි වෙනස් ආකාරයන් පිළිබඳව නිදහසේ ගැඹුරට හිතන්නට මම හිස්ව තිබූ මුළුතැන්ගෙයට පසුබා ගියෙමි.



["Nasibu Mwanukuzi"ගේ "Days Of Summer" කතාවේ පරිවර්තනය.]

පරිවර්තනය : මුතු පබා
2010

(නො)දුටු උල්කාපාතය

නුඹගැබ සිසාරා 
දිවයන දෙනෙත ට
අහස් කුසුම්
හිනැහෙයි ලෙන්ගතුව
”අදත් නැහැ”යි කියන්නට
බලාපොරොත්තු වෙන
එතරුව....

කප්පරක් ප‍්‍රාර්ථනා
සිතෙහි ගුලිකර
එකමෙක පැතුමක්
ඉටු වේවායි පතන්නට,
කොතනකින් හෝ ගගනතේ
එතරුව
මතු වේ යැයි සිතුවද....
නුඹ විලසින්ම
එයද සැඟවී
අඳුරු වලා යට....

සුළං රැල්ලකට පවා
හදවත අරණේ
පිපි නොපිපි,
කැකුළු ද මල් ද
නටුවෙන් ගිලිහෙද්දි....
සුවඳ විහිදුවමින්
විකසිත වෙන්නට
පාරමිතා පුරන,
සෙනෙහසේ ඉඳුවර
සිහිනය පමණක්ම
හදවතේ සියලුම
වැර දමා රැකගමි....
මහඹරින් මතු වී
දෙනෙත අභියස
සිත්තම් වෙනතුරා....


මුතු පබා
2009

(ලක්බිම.මංජුසාව.කවි - 2010.01.03)

ළමයා සහ සමනලයා



දේදුන්නෙන් මන පාට ගෙනැල්ලා
හිනැහෙන්නට මල් සරසන්නා
සමනලයෝ පොඩි මෙහෙට වරෙල්ලා
රංචු පිටින් දැන් පියාඹලා

මල් වගෙ ලස්සන පුංචි ළමෝ
පිනවන්නයි ඉගිලෙන්නෙ බබෝ
මලින් මලට ගොස් රොන් ගන්නෝ
රංචු පිටින් දැන් ඉගිලෙන්නෝ

තුරුලිය මල්ගොමු මගෙ උයනේ
ලස්සන සිරියෙන් නැලවෙන්නේ
සමනලයෝ නුඹ නොදැක්ක සේ
අහක බලා කිම ඉගිලෙන්නේ

නෙක නෙක මල්ගොමු මං රසවිඳිනවා
මල්පොඩි නොතලා ඉන් පැණි උරනවා

පොඩි ළමයෝ නුඹ බලන්න එනවා
සිරිපා වඳින්න සමනල යනවා



මුතු පබා
2006.08.21

සතුට

වෙලාව අළුයම දොළහයි. මිත්යා කුල්ඩරොව් උනන්දු මුහුණකින් සහ අවුල් වූ හිසකෙසින්, සිය දෙමව්පියන් වෙසෙන මහල් නිවාසයට පියාඹා ගොස්, කඩිමුඩියේ එහි ඇති සෑම කාමරයකටම දිවුවේය. ඒ වෙනකොටත් දෙමව්පියන් ද, නව කතාවේ අන්තිම පිටුවත් කියවා අහවර කර තිබූ සිය සොහොයුරිද ඇඳට ගොස් සිටි අතර, පාසැල් යන සහෝදරයින් නින්දේ පසු වූවෝය.

''කොහේ ඉඳලද ඔයා ආවෙ ?'' ඔහුගේ දෙමව්පියන් මවිතයෙන් කඳුළු සැලුවෝය. ''මොකද්ද ප්‍රශ්නෙ ?''

''අහ්.... අහන්න එපා ! අහන්න එපා ! මම ඒක කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ. හොඳ විදිහට හිතුවොතින් ඒක ඇත්තටම විශ්වාස කරන්නත් බෑ. සිනාසුණු මිත්යා දෙපයින් සිට දරාගන්නට අපහසු සතුට, අත්පුටුවකට බර දී මැඩ පවත්වා ගත්තේය.

''ඒක විශ්වාස කරන්නත් බැහැ ! ඔයාලට හිතාගන්නත් බැහැ ! මේ බලන්න !''

ඔහුගේ සොහොයුරිය ඇය වටා වූ පුළුන් වලින් පුරවන ලද පොරොවනය පැත්තකට විසිකර, සිය සහෝදරයා ළඟට පැමිණියාය. පාසැල් යන සහෝදරයින් ද අවදි වූවෝය.

''මොකද්ද ප්‍රශ්නෙ ? ඔයා, ඔයා වගේ නෙමෙයි !''

''ඒ මම ගොඩක් සන්තෝසෙන් ඉන්න නිසයි. අම්මෙ ! ඔයාලා දන්නවද.. දැන් මුළු රුසියාවම මාව දන්නවා ! මුළු රුසියාවම ! දැන් වෙනකල් ඔයාලා විතරයි දැනගෙන හිටියෙ 'දිමිත්‍රි කුල්ඩරොව්' කියන රජයේ ලිපිකරුවා ගැන. ඒත් දැන් මුළු රුසියාවම මාව දන්නවා ! අම්මේ ! අනේ දෙයියනේ !''

මිත්යා උඩ පැන්නේය, ඒ කාමරයෙන් මේ කාමරයට දිව්වේය. ඊටපසු නැවතත් ඉඳගත්තේය.

 ''ඇයි ? මොකද්ද වුණේ ? අපිටත් තේරෙන්න කියන්නකො !''

''ඔයාලා ජීවත් වෙන්නෙ කැලෑවෙ සත්තු වගේ. කිසිම පත්තරයක් කියවන්නෙ නෑ. ඒවයෙ පලවෙන කිසිම දෙයක් ගැන සැලකිල්ලක් නෑ. ගොඩක් රසවත් දේවල් පත්තරවල පලවෙනවා. මොනවහරි දෙයක් වුණොත්, හැමෝම ඒක එක වර දැනගන්නවා. කිසිම දෙයක් සැඟවිලා නැහැ. මම කොච්චර සන්තෝසෙන්ද ! අනේ දෙයියනේ ! ඔයාලා දන්නවද ප්‍රසිද්ධ මිනිස්සුන්ගෙ නම් විතරයි පත්තරවල පලවෙන්නෙ. දැන් එයාලා මගේ නමත් පල කරලා !''

''මොනාද ඔයා කියන්නෙ ? කොහෙද ?''

පියාගේ මුහුණ පුදුමයෙන් පිරුණේය. දීප්තිමත් දෑසින් ශුද්ධ පින්තූරය දෙස බැලු මව කුරුසියේ ලකුණ අඳින්නට වූවාය. ඇඳෙන් පැනගත් පාසැල් යන සහෝදරයින්, ඇඳන් සිටි රාත්‍රි ඇඳුම පිටින්ම සිය සහෝදරයා ළඟට පැමිණියෝය.

''ඔව් ! මගේ නම පලවෙලා ! දැන් මුළු රුසියාවම මං ගැන දන්නවා. මතක සටහනක් විදිහට පත්තරේ තියාගන්න අම්මා ! අපි මේක ඉඳල හිටලා කියවමු! බලන්න !''

පුවත් පතක පිටපතක් සාක්කුවෙන් එළියට ගත් මිත්යා, එය සිය පියාගේ අතට දී, නිල් පාටින් ලකුණුකොට ඇති කොටස පෙන්නුවේය. ''මෙතැන කියවන්න ! ''.. පියා ඔහුගේ කණ්ණාඩිකුට්ටම පැළඳ ගත්තේය.

''ඉතින් කියවන්න !''

ශුද්ධ පින්තූරය දෙස නැවතත් දීප්තිමත් දෑසින් බැලු මව, කුරුසියේ ලකුණ අඳින්නට වූවාය. උගුර පාදගත් පියා එය කියවන්නට වූවේය.

''දෙසැම්බර් විසිනමය පස්වරු හතට රජයේ ලිපිකරුවකුවන දිමිත්‍රි කුල්ඩරොව්.......''

''ඔය දැක්කද ! දැක්කද ! දිගටම කියවන්න !''

'' ....... දිමිත්‍රි කුල්ඩරොව්, ලිට්ල් බ්‍රෝනයියා හි, කොසිහිනිස් ගොඩනැගිල්ලේ බීර වෙළඳසැලක සිට වෙරි මතින් පැමිණෙමින් සිටිද්දි.....''

''ඒ මමයි 'සෙම්යොන් පෙට්‍රොවිච්'චුයි.... ඔක්කොම හරියට විස්තර කරලා තියෙනවා. දිගටම කියවන්න ! අහන්න !''

..... පැමිණෙමින් සිටිද්දි ලිස්සා ගොස්, 'ඉවාන් ද්‍රෝතෝව්' නම් යුහ්නෝෆ්ස්කයි දිස්ත්‍රික්කයේ, ඩුරිකිනෝ නම් ගම්මානයේ සිට පැමිණි පිටිසර වැසියෙකුගේ හිමයානයේ අශ්වයා යටට වැටී ඇත. තැතිගත් අශ්වයා හිමයානය තුළ සිටි මොස්කව් වෙළෙන්දකු වන ව්‍යාපාරික සංගමයේ දෙවැන්නා වූ 'ස්ටෙෆාන් ලුකෝව්' ඒ තුළ සිටිද්දි, 'කුල්ඩරෝෆ්' වද පාගාගෙන ඔහුගේ ඇඟට උඩින් හිමයානය ඇදගෙන ගොස් තිබූ අතර, කලබල වී දිවූ අශ්වයාව නවතා ඇත්තේ, ඒ අවට නිවෙස් වල කුලීකරුවන්ය. ඔවුන් සිහිසුන්ව සිටි 'කුල්ඩරෝව්' පොලීසියට රැගෙන ගොස් බාර දී ඇති අතර එහිදී ඔහුව වෛද්‍ය පරීක්ෂණයට ලක් කොට ඇත. 'කුල්ඩරෝව්' ගේ හිසට එල්ල වී ඇති පහර.............''

''ඒ කරත්තෙ යකඩෙකින් තාත්තෙ.... කියවන්න ! ඉතුරු ටිකත් කියවන්න ! ''

''...... එල්ල වී ඇති පහර දරුණු ලෙස සිදු වී නැති බවට වාර්තා විය. අනතුරට ලක් වූ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත.''

''එයාලා මට කීවා මගෙ ඔළුව පිටිපස්ස සීතල වතුරෙන් තවන්න කියලා. ඔයාලා දැන් ඒක කියෙව්වනෙ. ඉතින් ! දැක්කනෙ. දැන් ඒ විස්තරය මුළු රුසියාවෙම පැතිරිලා. කෝ ඕක මෙහෙට දෙන්න !''

පත්තරය බලෙන් ඇදගත් මිත්යා එය නමා ඔහුගේ සාක්කුවෙ දමා ගත්තේය. ''මම දුවලා ගිහින් 'මකරොව්ස්' ට මේක පෙන්නන්නම්.... 'ඉවානිත්ස්කයිස්' ට පෙන්නන්නනත් ඕනෑ.... 'නතාස්යා ඉවානොව්නා', එතකොට 'වස්සිලිට්ච්'.... මම දුවලා යන්නම්''
තොප්පි මල සමග තොප්පිය දමාගත් මිත්යා, ජයෙන් පිනාගිය ප්‍රීතියෙන් වීථීය කරා දිව්වේය.


["Anton Chekov | ඇන්ටන් චෙකෝෆ්" ගේ "Joy" කෙටි කතාවේ පරිවර්තනයකි. පිංතූරය - 1883 චෙකොෆ්ගේ රුව ඇසුරින් අඳින ලද්දකි.]

පරිවර්තනය : මුතු පබා

(සියත - 2010.02.28)

හුදෙකලා වසත් කව



ඇතිමුත් අතු අග
නෙක මල් පොකුරට පිපී
සුවඳ දෙන මනරම්.
මද පවනකට වුව
රඟදෙන ලලිත රැඟුමන්.

එකමෙක තුරක පමණක්
නැත තවම
මල් තියා පොට්ටුවත්.
එහෙත් ළපළුය
හරිත දම්....
මද පවනකින් වුව
හිරකර ගත්,
පිණි පොකුරෙන්
මිහිකත තෙමන.


මුතු පබා
2010.04.11

එදවස එනතෙක්....




සිතපුරා සුපිපුණු
සුවඳ සෙනෙහේ මල
වේදනාවෙන් දැවෙන්නේ
නුඹ පමණක්ම නොව

තිමිර වළා දෙපළු කර
රත්රන් හිරුකිරණ
ජීවිතය ඇබිත්තක්වත්
එළිය කරනතෙක්
තැවෙන්නේ....
නුඹ පමණක්ම නොව

දරාගන්නට නොහැකිව
අහස පොළොව අතරට
මුසුවෙන
....
බරැති සුසුම් රැලි
නුඹගේ පමණක්ම නොව

බොඳවගිය නෙත් තුළින්
ගගනත කුසුම් දෙස
බලා ඉන්නේ....
නුඹ පමණක්ම නොව

සුළඟත එවන
පියාඹන හාදුවල කැටිවුණ 
නිමක් නොවනා ආදරය
දැනේදැයි ලතවෙන්නෙ
නුඹ පමණක්ම නොව

”සොඳුර....
නුඹ මගේ පණ නලයි
මගේ මුළු ජීවිතයයි”
කියා සිතනුයෙ ද....
නුඹ පමණක්ම නොව


මුතු පබා
2010.04.10

තනියට තරුමල්

රෑ සමනලී



සමනලී සමනලී
මගේ විතරයි නුඹ සමනලී

හිරු දේවිය හිමි නුඹට විතරද
සඳ දෙව්දුව හිමි නුඹට විතරද
රෑ සමනලී මං

නුඹට විතරක් හිමි නොවේ

සල්ලාල බඹරෙකු ලෙස
මා නොදකින්න
ගින්දරකි මට දැන්
වරක් කෙරූ පව
සමනලී මට සමාවෙන්
නුඹ මගේ වී

පෙමින් බැඳෙන්නට
නැත මට අවසර
ඇස් මස් ඉස් මගෙ
දන් දී ඇත මා
රෑ සමනලී මං
නුඹට විතරක් හිමි නොවේ


සෙනෙහස අඳ නොවෙ
දෙනෙත විවර සඳ
වාවනු නොහැකියි
නුඹෙ අසරණකම
සමනලී මට සමාවී 
මගේ විමානෙට යමු ඉගිලී

මං සිරකාරිය දැන් සිරකාරිය
සම්මතය සිරගෙදර
ඇසුවොතින් මධු වදන්
මතුදාත් අපහාස සිරගෙදර
රෑ සමනලී එවිට මං
නුඹට විතරක් හිමිනොවුණ



මුතු පබා
2009.01

වසන්තය



පිඹිනු මැන නලාව !
දැන් ඉතින්....
පී‍්‍රති විය යුතු කාලයයි !
කුරුළු කිරිලියන්
දිවා රෑ, සොම්නසින් !
රෑ කොවුලෝ ද
මිටියාවතේ....
සින්දුවෙහි දක්ෂ
කුඩා විහඟුන්,
සොම්නසින් උනන්දුව
වසන්තය පිළිගනී....

ගෑණු පිරිමි පුංචි ළමෝ
උතුරායන සන්තෝසෙන් !
කුකුළෝ ද හඬලති.
ඔබත් හඬ නගයි !
බාල බිළිඳු මොළකැටි නද,
වසන්තය....
සන්තෝසෙන් පිළිගනී.

පුංචි බැටළුවෝ
දුව එන්න මා ළඟට
සිඹින්න මසුදු ගෙල.
ඉඩදෙන්න මට නුඹේ
සුදු ලොම පිරිමදින්න....
සිඹින්නට නුඹේ,
මුදු මුහුණ.
සොම්නසින් ඉපිල
වසන්තය පිළිගන්න....



"විලියම් බ්ලේක් | William Blake" ගේ "Spring" කවියේ අනුවර්තනය.

අනුවර්තනය: මුතු පබා

සඳුට රහසේ

Image and video hosting by TinyPic

සඳුට රහසේ ගීත ලියනවද
හිරුට රහසේ ගීත ලියනවද
කාට රහසේ ගීත ලීවද
නුඹට නොවන ගී කාට ලියන්නද

තරු මුතු පිණිබිඳු දේදුනු මල්ගොමු
ගොණුකර අමුණන ගී පද මටමද

මා හද නිබදව සෙනෙහෙන් පුරවන
නුඹට නොවන ගී කාට ලියන්නද


ලොව ඇත සහසක් කුමාරිකාවන්
කිවිඳුන් මනරම් ගී හට පෙම් බැඳ

එනමුදු කිවිඳුන් හදරැඳි කුමරියෙ
නුඹට නොවන ගී කාට ලියන්නද



2008.12

ගී පද : මුතු පබා
ගී මියැසිය : කපිල මැද්දේගොඩ
ගායනය : විශාරද ප්‍රසාද් කරුණාමුණි සහ ඉරෝෂා මැද්දේගොඩ


සිංදුව අහන්න....

හදමිණි



මොහොතකට
නොනවතිමි
බලමි හාරා

විසිර ඇත
මැණික්
හද පුරා

පෙන්වමි
ලෝකයට

දිලෙන
මැණිකක්
දෙකක්
වුව

අනේ !
කොතරම්
වටිනවද..



මුතු පබා
2008.06.05

උත්සහවන්ත පුංචි කොළය


එකමත් එක කාලෙක ගසක පුංචිම පුංචි කොළයක්, සුසුම් හෙලමින් අඬනවා ඒ ගහේම රිකිල්ලකට ඇහුණා. තද හුළඟක් සමග කුණාටුවක් හමද්දි කොළ දළු ඇඬුවත්, නිකරුණේ නොහඬන නිසා රිකිල්ල පුංචි කොළයෙන් මෙහෙම ඇහුවා....

”මොකද්ද ප්‍රශ්නෙ පුංචි යාළුවේ ?”

”හුළඟ මට මේ දැන් කීවා, කවදහරි දවසක එයා මාව ගහෙන් වෙන්කරලා බිමට දානවා කියලා”.... පුංචි කොළය ගොඩක් දුකෙන් රිකිල්ලට උත්තර දුන්නා.

රිකිල්ල ඒ කතාව ඒ වෙලේම ගහේ අත්තකට කීවා. අත්ත ඒක මුළු ගහටම කීවා. ඒ කතාව ඇහුණ ගහ, සර සර හඬින් මුළු ගහම හොලවලා, පුංචි කොළයට මෙහෙම කීවා....




 ”බයවෙන්න එපා පුංචි කොළය. ඔයා ගහ හයියෙන් අල්ලගෙන ඉන්න. එතකොට ඔයාට මගෙන් වෙන් වෙන්න ඕනෑ වෙනකල්, කාටවත්ම බෑ ඔයාව බලෙන් වෙන් කරන්න.”

ඒ කතාව ඇහුණට පස්සෙ පුංචි කොළය, සුසුම් හෙළමින් ඇඬීම නතර කළා. ඒ වෙනුවට එයා තාමත් පිහාටු නොයිඳුනු, කැදැල්ලෙන් එළියට යන්නට බැරි කුරුළු පැටවුන්ට ලස්සනට සිංඳු කීවා.


සමහරක් වෙලාවට ගහ එයාගේ කොළ යාළුවෝ, අතු ඉති, රිකිලි එක්ක, එහාට මෙහාට තාලෙට හෙලවෙනකොට, පුංචි කොළයත් කවමදාවත් කාටවත්ම එයාව ගහෙන් වෙන් කරන්න බෑ කියල හිතාගෙන, ගොඩක් සන්තෝසෙන් එහාට මෙහාට නැලවි නැලවි තාලෙට නැටුම් නැටුවා.

ඉතින් ඔන්න ඔහොම පුංචි කොළය ඔක්තෝබර් මාසය වෙනකල්ම, කොළ පාටින් වැඩුණා.


ඒත් ටික දවසකට පස්සෙ හේමන්තයේ දීප්තිමත් දවස් උදා වුණාම, පුංචි කොළය දැක්කා එයාගෙ වට පිටාවෙ ඉන්න අනෙක් කොළ යාළුවෝ, ලස්සන ලස්සන පාටින් හැඩවෙලා ඉන්නවා. සමහරක් කොළ කහ පාටින්. සමහරක් කොළ තදම තද රතු පාටින්. තවත් සමහරක් කොළ ඒ පාට දෙකෙන්ම ලස්සන ඉරි වලින් හැඩවෙලා. ඉතින් පුංචි කොළය ගහෙන් මෙහෙම ඇහුවා....

” අනේ ! මටත් කියන්කෝ.... ඇයි මගේ ගොඩක් යාළුවෝ ලස්සන ලස්සන පාට ඇඳුම් ඇඳන් ඉන්නෙ කියලා”....

” ඒ කොළ ඔය ලෑස්ති වෙලා ඉන්නෙ පියාඹලා යන්නයි. ඒ සන්තෝසෙටයි එයාලා ඔය සැරසිලා ඉන්නෙ”.... කියල ගහ උත්තර දුන්නා.

ඒ කතාව ඇහුණ පුංචි කොළයටත් ඉක්මණින් පියාඹන්න ඕනෑ වුණා. ඒක නිසා පාට පාටින් හැඩවෙලා ඉන්න අනෙක් යාළුවෝ වගේම, පුංචි කොළයත් උත්සහ කරලා රත්තරං පාට ඇඳුමකින් සැරසුණා.

ඒත් එයාගෙ අතු ඉති යාළුවෝ අළු පාටින් ඉන්නවා දැක්කම පුදුම වෙලා මෙහෙම ඇහුවා....

”අනේ ! අතු ඉති.... ඔයාලා තවමත් අළු පාටින් ඉද්දි, ඇයි අපි විතරක් පාට ඇඳුම් වලින්? ”

”අපේ රාජකාරිය තවමත් ඉවර නැති නිසා, වැඩ කරන ඇඳුම ඇඳන් අපි ඉන්න ඕනෑ. ඒත් ඔයාලගේ රාජකාරිය ඉවරයි. ඒක නිසා නිවාඩුව ගතකරන්න පියාඹලා යන්නයි, ඔයාලා ඔය පාට පාට ඇඳුම් ඇඳන් ඉන්නෙ ”.... කියල අතු ඉති උත්තර දුන්නා.




එතකොටම බොහොම අමාරුවෙන් හති දාගෙන ආව හුළඟක්, පුංචි කොළයව ගහෙන් වෙන් කළා. ඊට පස්සෙ පුංචි කොළයට හිතන්නවත් ඉඩ නොතියා එයාව වාතයේ උඩටම අරගෙන, ගින්දර පොකුරක් වගේ දිස්වෙන්න ඒ පැත්තට මේ පැත්තට වේගයෙන් කරකවලා, වැට අද්දර තවත් කොළ යාළුවෝ නිදාගෙන ඉන්න බිමට හිමීට වැට්ටෙව්වා.

බිමට වැටුණ පුංචි කොළයට නින්ද ගිහින් හීනයක් පෙනෙන්න ගත්තා. ඒත් පුංචි කොළය එයාගේ රාජකාරිය ඉවර කරලා තිබුණ නිසා, දැක්ක හීනය මොකද්ද කියලා කියන්න ආයෙමත් ඇහැරුණේ නම් නෑ.



පරිවර්තනය : මුතු පබා
සිතුවම් : රුවන්මලී


කතන්දරය බූන්දිය හරහා කියවන්නට: උත්සහවන්ත පුංචි කොළය

උදාහිරු ගීතය



අරුණෝදයේ කඩුව
සිඳියි අහසින්
රාත‍්‍රී ආවරණය,
උදෑසන එබෙයි
පොරොවනයෙන් එළියට
සීනුවේ නින්නාද හඬ අසන්නට
තොටිල්ලෙන් නැගිටින දරුවකු විලස.

අවදිවන්න ! අවදිවන්න !
සියලූ වැඩ කරන්නනි !
රැකියාවට ! රැකියාවට !
ඔබ යා යුතුමයි !

බස්රථ, කුලීරථ
නදදෙයි ගොරහැඩිව,
කෝච්චිය හූ තියයි.

මම දෙපය අද්දවමි පෝළිමේ
අප‍්‍රාණිකව අඩි ශබ්ද නගා
දුම්රිය වේදිකාවේ,
තෙරපි තෙරපී ගොඩවෙමි
මගේ ජීවිතේ සියලූම සාරය
දෙහි ගෙඩියක් විලස
මිරිකා දමන දුම්රිය මැදිරියට



["Oswald Mbuyiseni Mtshali" ගේ "The Song Of Sunrise" කවියේ පරිවර්තනය.]

පරිවර්තනය : මුතු පබා

(ලක්බිම.මංජුසාව.කවි - 2010.11.14)

_____________________________________

පුංචි හැඳින්වීමක්

1940 ජනවාරි මස 17 වෙනිදා උපත ලද ඔස්වල්ඩ් ම්ත්ශාලි සූලු බසින් මෙන්ම ඉංග්‍රීසියෙන් ද කාව්‍යකරණයේ නියැලුණු කවියෙකි. මොහු කොලොම්බියා සරසවියෙන් අධ්‍යාපනය ලැබූ අතර ඔහුගේ ප්‍රථම කවි පොත ''Sounds of a Cowhide Drum'' නමින් පිටවිය. කළු සුදු බේදයේ නොවැදගත්කම පිළිබඳව දකුණු අප්‍රි‍කාවේ වැඩකරකරන්නන්ගේ දෘෂ්ඨි කෝණයෙන් ලියූ මේ පොත සාර්ථක වූයේ, එය ප්‍රචාරය කෙරූ සුදු ජාතික ලයනල් ඒබ්‍රහම්ස් ට වටිනා ලාභයක් උපදවා දෙමිනි.

නංගි බබෝ



බයියං කා හනිකට ලොකු
වෙන්න මගේ නංගි බබෝ
අයිය කියන දේ අහල
දැන් මේ කට කන්න බබෝ

සුදුරැලි ගවුමෙන් සරසල
කොන්ඩ කැරලි දෙකක් ගොතා
මල් පොකුරක් අතේ තියල
පාසැල් එක්කම් යන්නම්
මගේ පුංචි නංගි බබෝ
දැන් මේ කට කන්න බබෝ

හැංඟි මුත්තො හැංඟියා
අයිය ඔන්න හැංඟෙනවා
මගේ පුංචි නංගි බබෝ
අයියව එතකොට හොයන්න
නාඩා ඉතින් බයි කන්නකො
බයියං කා ලොකු වෙන්නකො

දංඬි පැටව් පහළ වෙලේ
නංගි බබා කෝ අහනවා
නමිනං ගහෙ මල් පිපිලා
ගෙඩි දෙන්නට මග බලනවා
ඒවයෙ අසිරිය විඳින්න
බයියං කා ලොකු වෙන්නකො


මුතු පබා
2006.12.03

ප‍්‍රිය ආදරී



අඬන් එපා ප‍්‍රියාදරී
කඳුළු බලා සමුගන් බැහැ
කඳුළු බලා සමුගන් බැහැ
අඬන් එපා ප‍්‍රියාදරී

එක සෙවණේ ආදර බස් තෙපලන්නට
මං ආසා නැතුවා නොව මගේ ලයාදරී
හිත කියනා ලෙස ඉන්නම්
යුද්ධය අද නැවතේ නම් මගේ පෙම්බරී

බංකර යට තට්ට තනිය මකාගන්න
නාඩා නුඹ හිනහෙන්නකෝ මගේ සුන්දරී
උතුරු කිරණ ගත දවද්දි, මහිත දැවෙයි
නුඹෙ කඳුළැලි මැවුනෝතින් මගේ අහිංසකී

මඩ වතුරෙන් පවස නිවන දවස් ඇතත්
හිතට දුකක් දැනේනෙ නැහැ මගේ කුමාරී
නුඹෙ නොමියෙන සෙනෙහෙ දයා
ශක්තිය වෙයි සැමදා මට, මගේ ප‍්‍රියාදරී


මුතු පබා
2006.12.23

ආයාචනය