දෙහදක රිද්මය



නිමිත්ත : නොහඬන් සූරියකාන්තා ආදර අන්ඳරයේ කමලාදේවි, ඇගේ පෙම්වතා ක්ලෝඩ් සමග පලායන්නට පැමිණි අවස්තාව....


ඇස් වලින් පමණක්
දොඩන්නට අවසරය ඇති
ආදරය විතරක්ම ගෙන
ඉතින් අපි පලායමු

අපේ කැදැල්ලට
ගම්මුන්ට හොරෙන්

මා කුසේ නිදියනා
නුඹේ ලේ කැටියා ගෙන
කොහේ හෝ ඈතකට
දැන් ඉතින් මාව ගිනියන්න
කාටවත් කවමදාවත්
අපිව හොයාගත නොහැකි
දුරම දුර ඈතකට
හිරුද ඇහැරෙන්නට පෙරව

සුළඟේ තාලයට නැලවෙන
නේක මල් මිසක
කුරුළු කිරිලියන්ගේ
විහඟ ගී මිසක
නපුරු වූ අන් කිසිත් නැති
අපිටම වෙන්වූ අපේම දේශයකට
පලායමු දැන් හනික
නපුරු වූ ගම් දනව්වෙන් පිටව

ගලායන අප සොඳුරු පේ‍්‍රමයේ
ආදරණීය හද රිද්මයට,
නිදහසේ කන් දෙන්න
සෙනෙහසින් උතුරා යන
අප පේ‍්‍රම අන්ඳරය
ආදරෙන් බෙදාගන්නට
නූපන් දියණියද සමග
පැමිණි මා රැගෙන
දැන් ඉතින් පිටවෙන්න

මං ඔබට ආදරෙයි ක්ලෝඩ්....
අදින් පසු මගේ මුළු විජිතයම
ඔබට බාරයි....



මුතු පබා
2007

හිමි හිමින් නුඹ



වෙන්ව යනයුරු මගෙන් දුරට නුඹ
හිමි හිමින් දැනුණා
ජීවිතේ රස මීදුමක් සේ දිගන්තෙට ඇදුණා

නෙතග තනියට කඳුළු පොකුරක්
හැම ඉසිඹුවක රැඳුණා
සෝ සුසුම් වැල් සිහින් සර නැගුවා
සිහින සිතුවිලි දෑස අබියස ඇඳී මියැදී ගියා

හදබිතු පාරා උපන් වියෝ ගී
අතැඟිලි සසලව ගොනුවෙනවා
පහන් එළිය මගෙ දුරෑත බැබලෙනවා
සහන් එළියෙන් කව්දෝ සැනසෙනවා

හිමි හිමින් නුඹ මගෙන් ඈතට ඇදුණා
ජීවිතේ රස මීදුමක් සේ දිගන්තෙට ඇදුණා


මුතු පබා
2008.12.14

ගිම්හානයේ දවස්

අඩක් ඇර තිබූ කවුළුවෙන් හිරු රැස් පෙරී අවුත් නිදි බර මා දෙනෙත අභියස දිලිසෙන්නට වූ නිසා, අතපය ගසා දමා ඇඳෙන් බහින්නට මම දැඟලුවෙමි.

ඇඳෙන් නැගිට ඇඟ මැලි කඩද්දී, ඇට කටු කැඩෙන සද්දයක් මතු වූ නිසා මගේ ඇඟ කිළිපොළා යන්නට විය. සිරුරේ සමබරතාවය රැක ගන්නට අසමත් වූ මම, ඇඳ අද්දර තිබූ රතු පැහැ පුටුවේ ඇලවුණෙමි. දමා තිබූ ගුවන්විදුලියෙන් කාළගුණ වාර්තාව කියවමින් සිටි නිවේදකයාගේ උද්යෝගිමත් කටහඬින් මුළු කාමරයම පිරුණේය. මුළු දවසම පැහැපත් බවින් යුක්ත වෙන අතර, අහස ද පැහැදිලිව පවතින බව ඔහු කීවේය. ගෙවුණු මුළු රැය පුරාම මා දිගු නින්දක පසු වූවත්, ගුවන්විදුලිය දමා තිබූ නිසා සිහිනයක් එක දිගට දැකීම අසීරු කරුණක් විය. මොහොතකට මට මරණයේ දර්ශණයක් පෙනුණේය.

මරණයේ අදිසි හස්තය කෙමෙන් කෙමෙන් මගේ ගෙල වටා ළං වූ නිසා, මට මහත් පිළිකුළක් දැනුණි. මගේ උදරය දඟලන්නට විය. පියවි ස්වභාවයට එන්න තැත් දරමින්, මගේ පුංචි කාමරයේ අනෙක් පස තිබූ මුව සෝදන බේසම ළඟට ගියෙමි. බාගෙට පිරී තිබූ වතුර වීදුරුවක් ඉක්මණින් අතට ගත් මම, අසීරුවෙන් එය බිව්වෙමි. ඉන්පසු මගේ මනස සංසුන් කරගැනීමට හිස දියේ ගිල්වන්නට පෙර, වතුර සීතල කරගැනීම සඳහා ජල කරාමය ඇර තැබුවෙමි. මෘදු සුළඟක් හමායන අතර, දවසේ වැඩි හරියක් මුහුද නිශ්චලව පවතින බව නිවේදකයා පවසනවා මට ඇසුණි.

පහළ වීථීයෙන් ඇසෙන කෝච්චි සහ රථවාහන වල ගොරහැඩි ශබ්ද අතරින්, පිටත තුරුහිස් වල ලැග උන් කුරුලු කොබෙයියන් ගීත ගයන නද ඇසෙන්නට විය. මිනිස්සු වැඩට යනවා! මට සැණෙකින් සිතුණි. ඒ සිතුවිල්ලත් සමග අලුත් දවසක සිතුවිලි මනසට ගලා එන්නට විය. විවිධාකාර අතුරු අන්තරා සැඟවී සිට පහර දිය හැකි දවසක්. පාර තොටේ මිනිසුන් එකිනෙකා නොහඳුනන බැවින්, එහි දී සිදුවෙන එවැනි විපත්ති පිළිබඳ කිසිවෙක් සැලකිලිමත් නොවෙති. නමුත් වීථී පුරා පවතින නන්නාඳුනන නිහඬතාවය බිඳිය හැක්කේ ද විපතකටම පමණි.


හිසේ තෙත තිබියදී ආ මගින්ම නැවතත් ඇඳ ළඟට පැමිණි මම එහි ඉදගත්තෙමි. එවිට ඇඳෙන් ක්‍රීක් ශබ්දයක් නැගුණු අතර, ඇඳේ වූ රෝස පැහැ ඇතිරිල්ල ඉවත දමා එය හිමින් සීරුවේ බිමට වැටෙනායුරු බලා සිටියෙමි. කුරුලු කිරිලියන් ඝෝෂාකාරීව කෑ ගසමින් සිටි අතර, කාන්තාවක් ඇගේ දරුවාට අඬගසනවා මට යාන්තමින් ඇසුණි.

මම කවුළුවෙන් එළිය බැලුවෙමි. ලා නිල් අහසේ සුදු වළාකුළු සෙමෙන් පාවෙමින් තිබුණි. රතුපාට ගඩොලින් තැනූ දුම් කවුළුව සුපුරුදු පරිදි එලෙසින්ම තිබුණි. එහි ජරාවාස වූ බිත්ති ඒ අවට තිබූ අනෙකුත් ගොඩනැගිලි වලට වඩා උසින් දිස්වුණි. දුම් කවුළුව නිල් අහස්තලයට විරුද්ධව පැහැදිලිව කැපී පෙනුණු අතර, නිහඬ ස්මාරකයක් ලෙස දිස්වුණු එය අවට පරිසරයෙන් ද පහසුවෙන් වෙන්කොට හඳුනාගත හැකිවිය. ඊට එහා මිටි කඳු මුදුනේ කඳවුරක් වැනි දෙයක් පිහිටුවා ඇති අයුරු මම දුටුවෙමි. කන්දේ බටහිර දෙසින් රතු පැහැ පියසි වලින් සමන්විත සුදු පැහැ ලෑලි ගෙවල් පෙළක් තිබූ අතර, ඉන් කොටසක් පයින් ගස් වලට මුවා වී තිබුණි.

පස්වෙනි මහලේ තිබූ මගේ කාමරයේ සිට එළිය බලන විට, නගරයේ විශාල කොටසක් පෙණුනේ, එක පිට එක කතිර ගැසී අවුල් ජාලයක් ලෙස දිස්වුණු රේල්පීලි රාශියක් ද සමගිනි. එය දුම්රියපොළට කාර්යබහුල උදෑසනක් විය. කෝච්චියක් වෙනස් මගකින් යන්නට සලස්වා තිබූ අතර, දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවකයෙක් එහි රියදුරාට මග පැහැදිලි කරමින් සිටියේය. නිල් පාට නිල උඩවැස්මක් සහ රතුපාට තොප්පියක් පැළඳ හුන් සේවකයා, ඔහු අත තිබූ කහ පාට කොඩිය දුම්රිය රියදුරාට වනමින් සිටියේය. ඔහුගේ දකුණු අතේ වූ ඝන යකඩ පොල්ල ඈතට දිස්වූයේ, ඇසිල්ලකින් පහර ගසා කවුරුන් හෝ මරා දැමිය හැකි ආයුධයක් ලෙසය. ජනේලය තුළින් මට ඔහුව දැකගත හැකි වූ අතර, ඔහුගේ චලනයන් ද අනුගමනය කළ හැකි විය. මා පදිංචිව සිටින පරණ මහල් නිවාසයේ සිට දුම්රියපොළට වූයේ ගලක් ගැසිය හැකි තරම් දුරකි. දුම් කවුළුව කිසිම දුමක් පිට කළේ නැත. එය සෙනසුරාදාවක් වූ නිසා කෝපි කම්හල වසා දමා තිබුණි. සෑම බදාදාවකම සහ සිකුරාදාවකම දුම් කවුළුවෙන් කටුක අළුපැහැ දුමක් පිටවූ අතර, ඒ සැර දුම අලසකමින් මුළු දවසම අහල පහල ගැවසෙමින් තිබිණ.

හදිසියේම කිසිම දැන්වීමකින් තොරව සියලුම දේ ඛේදවාචකයක් විය. කහපාට කොඩියක් අත දරා සිටි මිනිසා මහළු පෙනුමකින් දිස්වූ අතර ඔහුගේ මුහුණ දුකින් බරවිය. සුදු ලෑලි ගෙවල් වසා සිටි පයින් ගස් වේදනාවෙන් සහ හුදකලා බවකින් දිස්වුණි. දුම්රියපොළේ නවතා තිබූ අනෙකුත් දුම්රිය දිස්වූයේ මිනී පෙට්ටි විලසය. තදබද වී රැස්වුණු මගීන් සුළු පිරිසක් ගල් ගැසුණා සේ නිහඬව සිටගෙන සිටි අතර, ඔවුන්ව නැවත යථා තත්වයට ගෙන ඒමට උත්සහ දැරීම නිශ්ඵල ක්‍රියාවක් හෙයින්, මරණය සිදුවිය හැකි වෙනස් ආකාරයන් පිළිබඳව නිදහසේ ගැඹුරට හිතන්නට මම හිස්ව තිබූ මුළුතැන්ගෙයට පසුබා ගියෙමි.



["Nasibu Mwanukuzi"ගේ "Days Of Summer" කතාවේ පරිවර්තනය.]

පරිවර්තනය : මුතු පබා
2010

(නො)දුටු උල්කාපාතය

නුඹගැබ සිසාරා 
දිවයන දෙනෙත ට
අහස් කුසුම්
හිනැහෙයි ලෙන්ගතුව
”අදත් නැහැ”යි කියන්නට
බලාපොරොත්තු වෙන
එතරුව....

කප්පරක් ප‍්‍රාර්ථනා
සිතෙහි ගුලිකර
එකමෙක පැතුමක්
ඉටු වේවායි පතන්නට,
කොතනකින් හෝ ගගනතේ
එතරුව
මතු වේ යැයි සිතුවද....
නුඹ විලසින්ම
එයද සැඟවී
අඳුරු වලා යට....

සුළං රැල්ලකට පවා
හදවත අරණේ
පිපි නොපිපි,
කැකුළු ද මල් ද
නටුවෙන් ගිලිහෙද්දි....
සුවඳ විහිදුවමින්
විකසිත වෙන්නට
පාරමිතා පුරන,
සෙනෙහසේ ඉඳුවර
සිහිනය පමණක්ම
හදවතේ සියලුම
වැර දමා රැකගමි....
මහඹරින් මතු වී
දෙනෙත අභියස
සිත්තම් වෙනතුරා....


මුතු පබා
2009

(ලක්බිම.මංජුසාව.කවි - 2010.01.03)

ළමයා සහ සමනලයා



දේදුන්නෙන් මන පාට ගෙනැල්ලා
හිනැහෙන්නට මල් සරසන්නා
සමනලයෝ පොඩි මෙහෙට වරෙල්ලා
රංචු පිටින් දැන් පියාඹලා

මල් වගෙ ලස්සන පුංචි ළමෝ
පිනවන්නයි ඉගිලෙන්නෙ බබෝ
මලින් මලට ගොස් රොන් ගන්නෝ
රංචු පිටින් දැන් ඉගිලෙන්නෝ

තුරුලිය මල්ගොමු මගෙ උයනේ
ලස්සන සිරියෙන් නැලවෙන්නේ
සමනලයෝ නුඹ නොදැක්ක සේ
අහක බලා කිම ඉගිලෙන්නේ

නෙක නෙක මල්ගොමු මං රසවිඳිනවා
මල්පොඩි නොතලා ඉන් පැණි උරනවා

පොඩි ළමයෝ නුඹ බලන්න එනවා
සිරිපා වඳින්න සමනල යනවා



මුතු පබා
2006.08.21

සතුට

වෙලාව අළුයම දොළහයි. මිත්යා කුල්ඩරොව් උනන්දු මුහුණකින් සහ අවුල් වූ හිසකෙසින්, සිය දෙමව්පියන් වෙසෙන මහල් නිවාසයට පියාඹා ගොස්, කඩිමුඩියේ එහි ඇති සෑම කාමරයකටම දිවුවේය. ඒ වෙනකොටත් දෙමව්පියන් ද, නව කතාවේ අන්තිම පිටුවත් කියවා අහවර කර තිබූ සිය සොහොයුරිද ඇඳට ගොස් සිටි අතර, පාසැල් යන සහෝදරයින් නින්දේ පසු වූවෝය.

''කොහේ ඉඳලද ඔයා ආවෙ ?'' ඔහුගේ දෙමව්පියන් මවිතයෙන් කඳුළු සැලුවෝය. ''මොකද්ද ප්‍රශ්නෙ ?''

''අහ්.... අහන්න එපා ! අහන්න එපා ! මම ඒක කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ. හොඳ විදිහට හිතුවොතින් ඒක ඇත්තටම විශ්වාස කරන්නත් බෑ. සිනාසුණු මිත්යා දෙපයින් සිට දරාගන්නට අපහසු සතුට, අත්පුටුවකට බර දී මැඩ පවත්වා ගත්තේය.

''ඒක විශ්වාස කරන්නත් බැහැ ! ඔයාලට හිතාගන්නත් බැහැ ! මේ බලන්න !''

ඔහුගේ සොහොයුරිය ඇය වටා වූ පුළුන් වලින් පුරවන ලද පොරොවනය පැත්තකට විසිකර, සිය සහෝදරයා ළඟට පැමිණියාය. පාසැල් යන සහෝදරයින් ද අවදි වූවෝය.

''මොකද්ද ප්‍රශ්නෙ ? ඔයා, ඔයා වගේ නෙමෙයි !''

''ඒ මම ගොඩක් සන්තෝසෙන් ඉන්න නිසයි. අම්මෙ ! ඔයාලා දන්නවද.. දැන් මුළු රුසියාවම මාව දන්නවා ! මුළු රුසියාවම ! දැන් වෙනකල් ඔයාලා විතරයි දැනගෙන හිටියෙ 'දිමිත්‍රි කුල්ඩරොව්' කියන රජයේ ලිපිකරුවා ගැන. ඒත් දැන් මුළු රුසියාවම මාව දන්නවා ! අම්මේ ! අනේ දෙයියනේ !''

මිත්යා උඩ පැන්නේය, ඒ කාමරයෙන් මේ කාමරයට දිව්වේය. ඊටපසු නැවතත් ඉඳගත්තේය.

 ''ඇයි ? මොකද්ද වුණේ ? අපිටත් තේරෙන්න කියන්නකො !''

''ඔයාලා ජීවත් වෙන්නෙ කැලෑවෙ සත්තු වගේ. කිසිම පත්තරයක් කියවන්නෙ නෑ. ඒවයෙ පලවෙන කිසිම දෙයක් ගැන සැලකිල්ලක් නෑ. ගොඩක් රසවත් දේවල් පත්තරවල පලවෙනවා. මොනවහරි දෙයක් වුණොත්, හැමෝම ඒක එක වර දැනගන්නවා. කිසිම දෙයක් සැඟවිලා නැහැ. මම කොච්චර සන්තෝසෙන්ද ! අනේ දෙයියනේ ! ඔයාලා දන්නවද ප්‍රසිද්ධ මිනිස්සුන්ගෙ නම් විතරයි පත්තරවල පලවෙන්නෙ. දැන් එයාලා මගේ නමත් පල කරලා !''

''මොනාද ඔයා කියන්නෙ ? කොහෙද ?''

පියාගේ මුහුණ පුදුමයෙන් පිරුණේය. දීප්තිමත් දෑසින් ශුද්ධ පින්තූරය දෙස බැලු මව කුරුසියේ ලකුණ අඳින්නට වූවාය. ඇඳෙන් පැනගත් පාසැල් යන සහෝදරයින්, ඇඳන් සිටි රාත්‍රි ඇඳුම පිටින්ම සිය සහෝදරයා ළඟට පැමිණියෝය.

''ඔව් ! මගේ නම පලවෙලා ! දැන් මුළු රුසියාවම මං ගැන දන්නවා. මතක සටහනක් විදිහට පත්තරේ තියාගන්න අම්මා ! අපි මේක ඉඳල හිටලා කියවමු! බලන්න !''

පුවත් පතක පිටපතක් සාක්කුවෙන් එළියට ගත් මිත්යා, එය සිය පියාගේ අතට දී, නිල් පාටින් ලකුණුකොට ඇති කොටස පෙන්නුවේය. ''මෙතැන කියවන්න ! ''.. පියා ඔහුගේ කණ්ණාඩිකුට්ටම පැළඳ ගත්තේය.

''ඉතින් කියවන්න !''

ශුද්ධ පින්තූරය දෙස නැවතත් දීප්තිමත් දෑසින් බැලු මව, කුරුසියේ ලකුණ අඳින්නට වූවාය. උගුර පාදගත් පියා එය කියවන්නට වූවේය.

''දෙසැම්බර් විසිනමය පස්වරු හතට රජයේ ලිපිකරුවකුවන දිමිත්‍රි කුල්ඩරොව්.......''

''ඔය දැක්කද ! දැක්කද ! දිගටම කියවන්න !''

'' ....... දිමිත්‍රි කුල්ඩරොව්, ලිට්ල් බ්‍රෝනයියා හි, කොසිහිනිස් ගොඩනැගිල්ලේ බීර වෙළඳසැලක සිට වෙරි මතින් පැමිණෙමින් සිටිද්දි.....''

''ඒ මමයි 'සෙම්යොන් පෙට්‍රොවිච්'චුයි.... ඔක්කොම හරියට විස්තර කරලා තියෙනවා. දිගටම කියවන්න ! අහන්න !''

..... පැමිණෙමින් සිටිද්දි ලිස්සා ගොස්, 'ඉවාන් ද්‍රෝතෝව්' නම් යුහ්නෝෆ්ස්කයි දිස්ත්‍රික්කයේ, ඩුරිකිනෝ නම් ගම්මානයේ සිට පැමිණි පිටිසර වැසියෙකුගේ හිමයානයේ අශ්වයා යටට වැටී ඇත. තැතිගත් අශ්වයා හිමයානය තුළ සිටි මොස්කව් වෙළෙන්දකු වන ව්‍යාපාරික සංගමයේ දෙවැන්නා වූ 'ස්ටෙෆාන් ලුකෝව්' ඒ තුළ සිටිද්දි, 'කුල්ඩරෝෆ්' වද පාගාගෙන ඔහුගේ ඇඟට උඩින් හිමයානය ඇදගෙන ගොස් තිබූ අතර, කලබල වී දිවූ අශ්වයාව නවතා ඇත්තේ, ඒ අවට නිවෙස් වල කුලීකරුවන්ය. ඔවුන් සිහිසුන්ව සිටි 'කුල්ඩරෝව්' පොලීසියට රැගෙන ගොස් බාර දී ඇති අතර එහිදී ඔහුව වෛද්‍ය පරීක්ෂණයට ලක් කොට ඇත. 'කුල්ඩරෝව්' ගේ හිසට එල්ල වී ඇති පහර.............''

''ඒ කරත්තෙ යකඩෙකින් තාත්තෙ.... කියවන්න ! ඉතුරු ටිකත් කියවන්න ! ''

''...... එල්ල වී ඇති පහර දරුණු ලෙස සිදු වී නැති බවට වාර්තා විය. අනතුරට ලක් වූ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත.''

''එයාලා මට කීවා මගෙ ඔළුව පිටිපස්ස සීතල වතුරෙන් තවන්න කියලා. ඔයාලා දැන් ඒක කියෙව්වනෙ. ඉතින් ! දැක්කනෙ. දැන් ඒ විස්තරය මුළු රුසියාවෙම පැතිරිලා. කෝ ඕක මෙහෙට දෙන්න !''

පත්තරය බලෙන් ඇදගත් මිත්යා එය නමා ඔහුගේ සාක්කුවෙ දමා ගත්තේය. ''මම දුවලා ගිහින් 'මකරොව්ස්' ට මේක පෙන්නන්නම්.... 'ඉවානිත්ස්කයිස්' ට පෙන්නන්නනත් ඕනෑ.... 'නතාස්යා ඉවානොව්නා', එතකොට 'වස්සිලිට්ච්'.... මම දුවලා යන්නම්''
තොප්පි මල සමග තොප්පිය දමාගත් මිත්යා, ජයෙන් පිනාගිය ප්‍රීතියෙන් වීථීය කරා දිව්වේය.


["Anton Chekov | ඇන්ටන් චෙකෝෆ්" ගේ "Joy" කෙටි කතාවේ පරිවර්තනයකි. පිංතූරය - 1883 චෙකොෆ්ගේ රුව ඇසුරින් අඳින ලද්දකි.]

පරිවර්තනය : මුතු පබා

(සියත - 2010.02.28)

හුදෙකලා වසත් කව



ඇතිමුත් අතු අග
නෙක මල් පොකුරට පිපී
සුවඳ දෙන මනරම්.
මද පවනකට වුව
රඟදෙන ලලිත රැඟුමන්.

එකමෙක තුරක පමණක්
නැත තවම
මල් තියා පොට්ටුවත්.
එහෙත් ළපළුය
හරිත දම්....
මද පවනකින් වුව
හිරකර ගත්,
පිණි පොකුරෙන්
මිහිකත තෙමන.


මුතු පබා
2010.04.11

එදවස එනතෙක්....




සිතපුරා සුපිපුණු
සුවඳ සෙනෙහේ මල
වේදනාවෙන් දැවෙන්නේ
නුඹ පමණක්ම නොව

තිමිර වළා දෙපළු කර
රත්රන් හිරුකිරණ
ජීවිතය ඇබිත්තක්වත්
එළිය කරනතෙක්
තැවෙන්නේ....
නුඹ පමණක්ම නොව

දරාගන්නට නොහැකිව
අහස පොළොව අතරට
මුසුවෙන
....
බරැති සුසුම් රැලි
නුඹගේ පමණක්ම නොව

බොඳවගිය නෙත් තුළින්
ගගනත කුසුම් දෙස
බලා ඉන්නේ....
නුඹ පමණක්ම නොව

සුළඟත එවන
පියාඹන හාදුවල කැටිවුණ 
නිමක් නොවනා ආදරය
දැනේදැයි ලතවෙන්නෙ
නුඹ පමණක්ම නොව

”සොඳුර....
නුඹ මගේ පණ නලයි
මගේ මුළු ජීවිතයයි”
කියා සිතනුයෙ ද....
නුඹ පමණක්ම නොව


මුතු පබා
2010.04.10