පිළිකාව


අයැදුම



සීත හිම මා
සඟවන්නට මත්තෙන්
මාව ගෙන ගොස්
කවි පොතේ
උණුසුම්ව සඟවනවාද?


මුතු පබා
2007.01.10

මගේ මල්ලියේ














පාට සරුංගලේ අරගෙන
මුහුදු වෙරළෙ එන්න දුවමු
මගේ මල්ලියේ
අයිය එක්ක දුවලා යමු
මගේ මල්ලියේ

දිගට දිගේ අන්න නයෙක්
පියඹනවා නිල් අහසේ
බලන්න මල්ලියේ
අයිය එක්ක දුවලා යමු
මගේ මල්ලියේ

පාට පාට ඒ නයාට
වැඩියෙන් අපෙ සරුංගලේ
හරිම හැඩයි නේ මල්ලියේ
අයිය එක්ක දුවලා යමු
මගේ මල්ලියේ

සිප්පි කටුත් වෙරළෙ ගොඩයි
පුංචි දෙපා තුවාල වෙයි
දිව යන්නේ පරිස්සමින්
පුංචි මල්ලියේ
අයිය එක්ක දුවලා යමු
මගේ මල්ලියේ


මුතු පබා
2007.02.15

රැවටුණු දා ලෝකයෙන්




නව වසරට සුපැතුම් !



නැවුම් සුවඳ මිහිමත හොඳින් සිපගන්න
සහනයෙ අරුණැල්ල නොඅඩුව විහිදෙන්න
නව වසරේ පියගැටපෙළ නැග යන්න
ඝනදුර වළා දුරු වී සඳළිය බේරෙන්න

ලය තුළ බුරන ගින්නට සිත යොමුවෙන්න
බැහැරට ඇවිළි ගිනි දෙවනුව දකින්න
ජීවිතය අනියතය අවබෝධය ඇතිවෙන්න
ඇටකටු පවා පස් වන වග තේරෙන්න

උතුර දකූණ දෙකොණ එකට යාවෙන්න
කුල මල ජාති ආගම් බේද දුරුවෙන්න
සැම දන රුහිර රක්තය වග වැටහෙන්න
අප දහදිය කඳුළින් සිරිලක සරුවෙන්න

මිතුදම් සොයුරුදම් සමගින් පිබිදෙන්න
පිය පුතු දුවා සෙනෙහෙන් නැහැවෙන්න
කෙලෙස් කසට මිලිනව මනුදම් සුපිපෙන්න
ලතෙත් ගුණ වැඩුමට නුවණැස පෑදෙන්න

සාමයෙ සිළුව පළමුව සිත දැල්වෙන්න
එමගින් අවට වට පිටාවම එළිවෙන්න
සිරිලක් ධජය නිවහල් සුළගෙ ලෙලදෙන්න
මෙය පැතුමකට නොවි සීමා ඉටුවෙන්න


මුතු පබා
2007.12

දුක්බර නත්තල



සීතලේ සුදු හිම කැටිති අතරින්
පා තබන විට මා තනිවෙමින්
සිත දවයි මා හඬන කඳුළින්
මා දමා නුඹ වෙනතක ගිහින්

උඳුවපේ ඇති අසිරි බල බල
එකට උන් පෙර නත්තලේ
මතකයන් හද මෝදු වෙන විට
සිත අහස මගෙ බොඳ උනේ

තනි උනත් මා විරහ කඳුළින්
ගෙවෙන මේ සුභ නත්තලේ
මා දමා නුඹ සිනාසෙන් සඳ
අහිතක් නෑ මගෙ සිත් ගැබේ


මුතු පබා
2005.12.22

නැවුම් ප‍්‍රාර්ථනා



හුදෙකලා සිතඹරේ
ඈ - ත - ට ඇදෙන
අඳුරු මේකුළු....

අතරින් පතර
සුදිලෙයි දියමන්ති!


මුතු පබා
2009.12.14

සිසිරයේ වසන්තය



මේ සීතලම සීතල සිසිරය වුව
මල් පිපෙන වසන්තයමැයි
සිතෙයි මට !

ජීවිතයේ එතෙකැයි මෙතෙකැයි
කවමදාවත් කිව නොහැකි,

සිහින සිතුමන් ප‍්‍රාර්ථනා
තිඹිරිගෙයිම මියැදෙද්දි....
සිසිරයේ මේ සොඳුරු වසන්තය
මගේ හදවතට

කොහෙන් කොහොම නම්
එබුණාද....?

ගිලන් වූ හදවතට
නේක මල් සුවඳ අතුරන
හදකුටියෙ පාළු බිතු පුරා
ජීවිතය පාට පාටින් සිත්තම් කරන
සිසිරයේ මේ සොඳුරු වසන්තය

මගේ ලෝකයට
කොහෙන් කොහොම නම්

ආවාද....?

මුළු රැයම හදෙහි සැතපෙන
අරුණැල්ල සමගින්
යළි යළිත් අළුත් වෙන,
සිසිරයේ මේ සොඳුරු වසන්තය
කොහෙන් කොහොම නම්

මතු වුණිද....?

ඉමක් කොනක් නැති ආකාහේ සිට
මතනියට උන් පුංචි තරුවක් විලස

දුරින් හිඳ වුව ළඟින් සිටිනා,
සිසිරයේ මේ සොඳුරු වසන්තය
ලියා නිම කළ නොහැකි
කවියකි තවම මට....!


මුතු පබා
2010.02.20