සිහිනයක්(ම) වූ සිහින සිත්තම


ඉදුසමුවෙ සත් මහිම ගලපා
පුර හඳේ රන්කිරණ හා
ස්නේහයේ අරුමය කියා දුන්
සිහින සිත්තම බොඳ වුණා

පිපෙන්නට පෙර සුවඳ විදහා
මිහිරි හඳ ඇඳි රේඛා සොබා
හද විමන් දොරකඩ සතපවා
සිහින සිත්තම දුර ගියා

අහස් කුස දුර දිලෙන තරුවල
මිරිඟු දිය සඟවා තබා
වසන්තය හද ළඟට ගෙනැවිත්
සිහින සිත්තම ගොළුවුණා

ළවැලි මත ඇති මතක සළකුණු
දරා සිටියත් සැඩ සුළං නැගෙනා
සිනහකැන් අකා මකා සැහැසිව
සිහින සිත්තම නික්මුණා

සිතිජ ඉම්වල සිතුමිණි සඟවා
දුකඳුළු දස අත විසිරුවා
හද පවුරක රූ කැටයම් කොට එ්
සිහින සිත්තම ගිලිහුණා


2012.02.07

(ලංකාවිත්ති - 2012 අප්‍රේල් කලාපය)

My Heart Has..


ප‍්‍රාර්ථනා



තවත් උදෑසනක්!
දොඩමළු ප‍්‍රාර්ථනා
හේමන්ත මීදුමේ
පාවෙයි....


වසන්තයත් යන්න ගියා නම්



වසන්තයත් යන්න ගියා නම්
ගිම්හානෙත් යන්න ගියා නම්
හේමන්තෙත් යන්න යනවනම්
කුමට ඉන්නෙ තවත් බලා
සිසිරයෙ සසිරිය එනවද පායා

කැකුළු පීදුනා
මල් ඵල හට ගෙන
සුවඳ තැනින් තැන පියෑඹුවා
ඉරට හඳට හාද වුණත්
අවසානයේ මලට මෙන්ම
මල් සුවඳට
සමුගන්නට වෙලාව ආවා

දැන් කොළත් හැලෙනවා
දුකින් වුණත් හිමින් වුණත්
හැලිලම යනවා
ටික දිනකින් සීත ඒවි
නිරුවත් තුරුවැල් සිඹීවි
පමා නොවී හිම පියලිත්
අහස මවාවී


2013.08.30

හේමන්තයට බැරිවෙයිද....



හේමන්තයට 
බැරිවෙයිද දන්නෙ නෑ-
සිසිරය 
මග ඇරල
කෙළින්ම,
වසන්තය 
කැඳවන්න.

2013.10.14

සුළඟ නිසා..



සුළඟ නිසා
මුහුණෙ හැප්පෙන
කෙස්රොද වදයක්.
එය දැන දැනත්
කෙස්රොද අවුස්සා
සුළඟ කරන්නේ
වරදක්.

2013.09.15

කටු අග පිපි මල්


දවසග බිඳි හද