තිත්තැත්ත



තවත් ඍතුවකට පසු - [හදවතට පාඩමක්]



ඉතින් ඊට පස්සෙ
ඍතුව පුරාවටම
මුකුලිත නොවූ පුශ්පයන් දෙස
හැරීවත් නොබැලුවෙමි.

රැගෙන යා හැකි කැකුළු පමණක්
හිමින් සීරුවේ,
තෝරා බේරා ගතිමි.
නේත‍්‍රා මංජරියෙන්
දිය දෝතක් ගෙන,
එකැකුළු සීරුවෙන් බහාලූවෙමි.
පැහැය රසවිඳ තව ටිකක්
යළිදු නොම එන ඍතුවට සමුදුනිමි.

දැන් ඉතින්,
එළිය මැද හිඳ අඳුර නොසයන්නට
හදවතට තරවටු කරමි.
සිහිල් මද පවනතරට එබෙන
රන් කෙඳි දහර සමගින්,
හිමින් සීරුවේ හාද වෙමි.

ඔබ මොබ සරන,
කුරුලු කිචි බිචි හඬට
දෙසවන දිග හරිමි.
අහස් කුස සිසාරා ගිජුලිහිණින් ද
පියා සලන බව පසක් කරගමි.

නෙක මල් මකරන්ද සුවඳ
හදවතින් උරා බොමි.
සුවඳ මල් වල පවා 
නටු අග කටු බව,
හදවතට කියා දෙමි.

කඳු හිස් මුදුනේ හැප්පී පාව යන
වළාකුළු හට,
රහසින්ම මුමුණමි.
මුදු මොලොක් දේ මිසක
මහා පර්වත ලේසියෙන්,
වේදනා නොවිඳින බව
හැඳින ගමි.

නිල්ල පිරි වන ලැහැබෙ
විසල් තුරු නරඹමි.
ස්නේහයේ මුල සවි ශක්ති කළ
අතු රිකිලි ලදළු සාරවත් බව
මඇසින්ම දැක ගමි.

නිශායම ගගනතෙ
වර්ණ අතරින් පතර,
දෙනෙත දුවවමි.
සඳ පවා දිලිහෙන්නෙ
ණයට ගත් හිරු රැසින් බව
හදවත පුස්තකයෙ ලියා ගමි.

අලුත් සිහිනයක් මවාගමි.
පින්සල කඳුළින්ම පොඟවා
හිමින් සීරුවේ ජීවිතය,
සිත්තම් කරමි.

කවුරු ගන්නට පැමිණියත්
එසිත්තම,
මහද වර්ණයන් දකින
ඇසකට මිසෙක
අන් කාටවත් නොදෙන්නෙමි.


මුතු පබා
2011.08.02

(නො)පායන හිරු(ට)


කලුගලක කවිය

රෝස සිහිනය



ජීවන උයන්තෙර එකළු කරලන්න
මගේ - රෝස සිහිනය
දිනිඳු හා විකසිතව
මා මුවගින් ගිලිහිච්ච
සිනහ කැන්, නැවත මට ගෙන එන්න

ඉමක් කොනක් නැති
සිහින කන්දරාව
දූවිල්ලක් වූවත් කම් නැත
රෝස සිහිනයේ
ජීවත් වෙන්නට එකම එක
ඉඳුවර සිහිනයක් මට ගෙන දෙන්න

සිදංගනාවියක් අප්සරාවියක්
නොවෙමි මම
අත්තටු පණ නැති
පාට සේදුණු සමනලියක්මි
මගේ - රෝස සිහිනයේ
දේදුන්නෙන් පාට ඇබිත්තක්
ඉල්ලගෙන, මගේ අත්තටු
මදක් හෝ සරසන්න

”ජීවිතය ගීතයකි”
එයට රිද්මයකින් පණ පොවන්නට
කවියක් වූ මගේ - රෝස සිහිනය
හදවතේ යළිදු පිබිදෙන්න


මුතු පබා
2007.03.03

(ලක්බිම.මංජුසාව.කවි - 2009.07.12)

තනි තරුව



පැතුම් මිලින කර මා හැර ගිය නුඹ
යළි කවදා මා හමුවන්නේ
සංසාරේ තව එක දවසක් හෝ
හමුවී මා සිත සනසන්නේ

කඳුළු ගීත මා අද ගොතනා
ඔබ වෙනුවෙන් මේ ලියැවෙන්නේ
එන්න එක වරක් මා හමුවට ඔබ
ඔබ නැතිවනෙ සිත ලතැවෙන්නේ

තනි තරුවක් මා ඈත අහසෙ අද
සුසුම් හෙළා ඉකිබිඳින හොරෙන්
සඳට මුළු හිතින් පෙම්කළ වරදට
ලොවම එරෙහි වී මටම ඉතින්


මුතු පබා
2007

කඳුළු බිංඳුව


වැටෙන්නට වෙර දරන
පිණි කඳුළු කැටයකට
පෙම් කරමි මම අදින
කවර දා නොසිතූ විලස


මුතු පබා
2005.12.06

නුඹයි මගෙ ජීවිතේ



මල්මාලි මගෙ පුංචි
නුඹට මම ආදරෙන්
නෙලුවානෙ මල් මිටක්
දොවාලා සෙනෙහසින්
මල් මදිය පවසන්න
මගෙ සිතේ ආදරේ
දන්නවාද රත්තරං
නුඹයි මගෙ ජීවිතේ


මුතු පබා
2006.07.22