Posted in
Labels:
Sinhala,
කවි
|
Thursday, September 16, 2010
සුවඳයි පෙම මල් සුවඳයි
එළියයි පෙම රන්තරු එළියයි
ආදරෙයි මං ආදරෙයි
ඔබටමයි මේ ඇත්තමයි
හිත මගේ ඔබම හොයනවා
සිතුම් පොදි පිටින් පිපෙනවා
ජීවන ගීයම එළි කරයි
ඒ ඔබ තමයි මේ ඇත්තමයි
ඇවිදින් කියන් මට ආදරෙයි
මගේ සිහිනය ඔබ තමයි
සෙනෙහේ පොහොට්ටුව හිනැහිලා
පිපෙන්නට මග බලනවා
ඔබේ සුවඳට හද දුවයි
ජීවන සුවඳත් එය තමයි
සොයා එන්නකො හද මග බලයි
මා නුවන් පොඩි මුරණ්ඩුයි
සැනසෙන්නම් මා සැනසෙන්නම්
සිහිනයක් නොවී ඔබ එනවනම්
මුතු පබා
2006.08
Posted in
Labels:
Sinhala,
කවි
|
Saturday, September 04, 2010
කළුවර අහසේ
ගස් අතු අතරින්
මැවුණා එකපාරටම
නිවි නිවී දිලෙන
රතුම රතු තරුවක්
නෑ.. අයියෝ....
කොහාටද පියාඹන
අහස්නැවක්..
මුතු පබා
2007.04.20
Posted in
Labels:
Sinhala,
කවි
|
Wednesday, September 01, 2010
රෙදි අම්මා මාව නාවලා
ගෙට ගත් දවසෙ,
අප්පච්චි ලොකුවට පාටියක්
දැම්මා මතකයි.
මාමලා නම් මං දිහා
රකුසු ඇස් වලින් බැලුවා.
ඒත් අප්පචි මට ලැබුණ
තෑගි සල්ලියෙන්,
එයාලා බීපු ණය ගෙව්වා.
කුඩම්මා ගමේ ගෙට
කැන්ඳන් ආපු දා,
අප්පච්චි මට
හොඳටෝම ගැහුව මතකයි.
ඒ දවස් වල මං
හිරුට කළින් අවදිවෙලා
උයල පිහල ඉස්කෝලෙ ගියා.
මං බඩගින්නෙ
ගෙදර එනකොට,
කුඩම්මා මගේ කෑම පංඟුව
වයිටට දාලා තිබුණා.
මං අසනීපෙන් ගෙදර
හිටිය දවසක,
අප්පච්චිත් ගෙදර
උන්නා මතකයි.
තිබුණ අමාරුකම් නම්
එදා වැඩි වුණා.
ඒත් අසනීප පිටම මං
පහුවදා ඉස්කෝලෙ ගියා.
අද මගේ දුවත්
නාවලා ගෙට ගන්නවා.
අප්පච්චි කව්දැයි දුව
අදත් මගෙන අහයි !
පිළිතුර වෙනදාක
දෙන පොරොන්දුවෙන්
මං දුවව අදත් මග අරිනවා.
මුතු පබා
2008.05.22
එක් සිසුවෙක් සිය ගුරුතුමා ළඟට ගොස් "ගුරුතුමනි..., ගොඩක් කතා කිරීමෙන් හොඳක් සිද්ද වෙනවද?" යැයි ඇසුවේය.
සිය සිසුවා දෙස බැලූ ගුරුතුමා, "මැඩියෝ, දිවා රෑ හඬ නගනවා. නමුත් කවුරුත් උන්ට අවදානය යොමු කරන්නේ නැහැ. ඒත් බලන්න උදේ පාන්දර හඬලන කුකුළා දිහා.. දවසේ වැදගත් මොහොතක ඇහෙන උගේ හඬ නිසා සියලූම දෙනා අවදි වෙනවා.. වැඩියෙන් කතා කිරීමට වඩා වැදගත් වෙන්නෙ, සුදුසු දේ සුදුසු වෙලාවට පමණක් පැවසීමයි...", සිය සිසුවාට තේරුම් බේරුම් කර දුන්නේය.
(ජන කතාවක් ඇසුරිනි.)
පරිවර්තනය : මුතු පබා
2010.08.26
Posted in
Labels:
Sinhala,
කවි
|
Tuesday, August 24, 2010
සිනාසෙනු මැන හදවත රිදුනද
සිනාසෙනු මැන හදවත බිඳුනද
අහස පුරාවට මේකුළු ඇති සඳ
නිසැකය ඔබ එය වටහා ගනු ඇත
බිය සැක අතරින් සිනාසුනොත් නුඹ
නුඹ වෙනුවෙන් හෙට හිරු දිලිසෙනු ඇත
සිනාසෙනු මැන - සිනාසෙනු මැන
සතුටු සිනාවෙන් ඔබෙ මුව සරසනු
සෝ දුක් සලකුණු සඟවා හිනැහෙනු
කඳුලක් ලං වෙනමුත් යම් මොහොතක
ඉසිඹුව එයමය දිරිමත් විය යුතු
සිනාසිය යුතු, හඬා කුමන පල?
දිවියෙහි වටිනාකම වැටහෙන්නේ
සිනාවකින් එය සැරසුවොතින්මය!
චාලි චැප්ලින්ගේ "Modern Times" චිත්‍රපටයේ "Smile" තේමා ගීතයේ පරිවර්තනයකි.
පරිවර්තනය : මුතු පබා
2010.04
Posted in
Labels:
Sinhala,
කවි
|
Sunday, August 22, 2010
නුඹ මා ළඟ
නොමැති හෙයින්
දිවිය,
සොම්නසට වඩා
දොම්නසට බර
බව සැබැවි.
එහෙත් නුඹ මට
ආදරේ බව නම්
සත්තම සත්තයි !
මුතු පබා
2010.08.22
Posted in
Labels:
Sinhala,
කවි
|
Thursday, August 19, 2010
පුංචි ගෙවල් සෙල්ලම් බත් හැදුව පුංචි කාලේ
යන්නට හැකිනම් මා හට පුංචි බාල කාලේ
කිරි කිරි බෝලෙට හිත යයි රැලි රැලි මාලේ
ආලිස්සම් කවඩි සිනා පෑව පුංචි බාලේ
බට්ටො පැනල හැංඟිමුත්තො කරපු බාල කාලේ
අතුරු මිතුරු දඹ දිවතුරු ඇඟිලි ගැනපු කාලේ
එනවානම් ආයෙත් ඒ පුංචි බාල කාලේ
දිව යන්නට ඉපිලෙන්නට පුංචි පැංචි වාගේ
මුතු පබා
2006.07.18
Posted in
Labels:
Sinhala,
කවි
|
Friday, August 13, 2010
සහස්රැස් සිපගද්දි
වළාපෙති හොර රහසෙ....
මුමුණද්දි නුඹ ඉතින්
ඔය හිතේ ආදරේ....
රත්තරං මම ඉතින්
බිම බලන් දැන් ඉන්නෙ....
ආදරේ නැතිව නොව
ලැජ්ජාව හින්දානෙ....
මුතු පබා
2006