Posted in
Labels:
Sinhala
|
Saturday, January 14, 2017
ටික වුණත් හිමත් වැටුණා
අයිස්කැට එ් අස්සෙන්.
නරියෙක්ගෙ මඟුලක්
කොහේවත් තියෙනවද මන්ද,
එ් පාර ඔන්න වැස්ස-
අව්වත් කොහොම කොහොම හරි
ගස් අස්සෙන් හොම්බම ඔබනවා.
අනේ මන්දා.... ඉතින්
පිරිමි වගේමයි,
යුරෝපයේ මේ දේශගුණය!
.
.
.
.
.
.
.
.
(සැ.යු. - සමහරක් ඔහොම ගෑණුත් ඉන්නවා ඈ..

)
2017.01.17
Posted in
Labels:
Sinhala
|
Thursday, January 12, 2017
දරා ගන්නට බැරිව
වළාකුළු පොදි ගැසේ
සැලි සැලී ඉනු බැරිව
මල් කිනිති බිම වැටේ
හිස් තැනක් පුරවන්න
විහඟ ගීයක් ඇසේ
මිහිදුම් සළුතිරක්
මල් යායේ ඇදේ
නිහඬ බව දැන දැනත්
මදනළක් සක්මනේ
ඉපදෙන්න වෑයමකි
විස්මයක් වස්සානයේ
2017.01.10
Posted in
Labels:
Sinhala
|
Monday, January 09, 2017
Posted in
Labels:
Sinhala
|
Sunday, January 08, 2017
ගොඩක්ම ගොඩක් කාලෙකින්
කවියක් දෙකක් තියා
අකුරක් දෙකක්වත්
ඇමිණුවේ නැති වුණාම-
කවි ලියන්න,
මට වගේම හැමෝටම අමාරුද?
Posted in
Labels:
Sinhala
|
Sunday, January 08, 2017
Posted in
Labels:
Sinhala
|
Saturday, July 23, 2016
මතක මතකැති
හිතක් ළඟ ඇති
මතකයට හිතැති
හිතක් නොමවෙති
Posted in
Labels:
Sinhala
|
Friday, December 25, 2015
හුඟක්ම හුඟක් රෑ වෙනකොට
වැහි වළාකුළු
පේන්නෙ නම් නෑ.
හැබැයි එහෙමයි කියල
වහින වැස්සෙන්
අඩුවකුත් නම් නෑ!
2015.12.25

දුක කියන්නේ මොකද්ද කියල අපි දැනන් හිටියට දුකක නියම වේදනාත්මක දුක දැනෙන්නේ අපි එ්කට මූණ දුන්නට පස්සෙයි. එ් වේදනාව මමත් මගේ පවුලේ අයත් මේ ටිකේ නොඅඩුව විඳිනවා. එ් අපේ ආදරණීය ආච්චි අම්මා අපෙන් ගතින් සමුගෙන වෙන් වුණ නිසයි. ආච්චි අම්මා වුණාට අපි පොඩි කාලේ ඉඳන්ම ඇයව ඇමතුවෙ මම්මා යනුවෙන්. එ් අපේ අම්මත්, ලොකු අම්මත්, මාමත් ඇයව අමතපු ආකාරය පොඩි කාලයෙ සිටම කන වැකුණ නිසා වෙන්නැති. අද මම්මා අපි අතර නෑ. ඇය අරඹයා මේ ලිපිය ලියන මේ දැණුත් මගේ ඇස් වලට කඳු උනනවා ඇය නැති ශෝකය නිසාවෙන්.
ඉපදුන හැමෝම අවසානයේ නැති වෙනවා කියන ධර්මය මම අනන්තවත් අහල තියෙනවා. එ්ත් අර සමහරක් අය කියන්නේ 'කියනවා වගේ ලේසි නෑ විඳිනකොට' කියලා. අන්න එ් කතාව නම් ඇත්තටම ඇත්ත. මම්මා නැති වේදනාව ඇත්තටම ගැඹුරු වේදනාවක්ම තමා.
කට වචනෙට මිනිස්සු කීවට 'ගතින් නැතත් හිතින් ළඟ ඉන්නවනෙ' කියලා -- හිතින් වගේම ගතිනුත් අපි ආදරය කරන අය හැමදාමට අප ළඟ ඉන්නවනම් කොච්චරද කියල මට හිතෙවා. ආදරණියයන් ඈත්වෙනකොට ඔවුන්ගේ මතකයන් අපිව බදාගන්නවා. මතකයන් ලස්සනයි. එ්ත් දුක..
අපි-- අක්කියි මමයි නංගියි පුංචි කාලයේ ඉව්ව ප‍්‍රථම සෙල්ලම් බතේ මතකයන් පවා තියෙන්නෙ මම්මත් එක්ක. කුස්සිය පැත්තෙ මිදුලෙ ගල් තුනකින් පොඩි ලිපක් හදලා ඉව්ව ඒ සුදු බතේ මතක චිත‍්‍රයන් දැනුත් මගේ මනසේ ඇඳෙනවා. මම එදා හිතන් හිටියේ අපි උයන්නේ වැලිබත් කියලා. මට මතකයි මම මම්මගෙන් ඇහුවා 'මම ඕකට තව වැලි ටිකක් දාන්නද' කියලත්. අද එ් සිද්දීන් සුන්දර මතක වුණාට ඇස් තෙත් කරන්නට සමත් තියුණු මතකයන්.
මම්මගෙ අඩුව පුරවන්න මේ ලෝකෙ කිසි කෙනෙක්ට බෑ. ඇගෙන් අපි ඉගෙන ගත් දේ බොහෝයි
අපි පුංචි කාලයේ මම්මා අපිට ළමාසාරි අන්ඳවගෙන දහම් පාසැල් යනවා. පාසැලේ්දී, දහම් පාසැලේදී වගේම මහ ගෙදර පැවැත්වූ මොන්ටිසූරියේදීත් ඇගෙන් අකුරු කරපු, හොඳ නරක, ගුණ ධර්ම උගත් දරු දැරියන් ඕනෑ තරම්. ගමේ සියල්ලෝම පාහේ මම්මව ඇමතුවෙ ටීචර් කියලා. මට මතකයි මම්මව පන්සැල් එක්කන් ගිය එක වතාවකදී, එදා පන්සලට ඇවිත් උන්න මැදිවියේ දෙතුන් දෙනෙක් 'ආනේ මේ ටීචර්නෙ' කියාගෙන ඇවිත් මම්මව දෙපැත්තනේ වත්තම් කරන් බුදු මැදුරට එක්කන් ගියා. එදා මට දැණුනෙ කියාගන්න බැරි තරම් ආඩම්බරයක්. මම්මා ඇස් ලොකු කරන් එ් කීපදෙනා දිහා බැලුව විදිහ, මම්මගෙ මූණේ එ් වෙලාවෙ තිබ්බ පුදුමසහගත හිනාව මට දැනුත් හොඳට මතකයි. අවුරුදු 90 කට කිට්ටු කරලා හිටිය ටීචර්ව දැකලා එ් ළමයින්ගේ හිතේ ඉපදුණු බැතිබර බව කොච්චරද..
ගමේ තිබ්බ මගුල් ගෙවල් වලටත් මම්මව නැතුවම බැරි චරිතයක් වුණා. එ් ගමේ ජයමංගල ගීත කණ්ඩායම පුරුදු පුහුණු කරෙත් මම්මා නිසයි. එ් දවස්වල කණ්ඩායමේ හිටිය බාලම කෙනා මම. ජයමංගල ගාථාවන් මතකයෙන් නිවැරදිව කීවත් මට අමතක වුණු එකම දේ තමා ගාථාවන් අවසානයේ ආචාර පවත්වන්න දෑත ඔසවලා වඳින එක. ඉතින් මම්මා මගේ ළඟ හිටිය අක්ක කෙනෙක්ට කියල තිබුණා වඳින්න දෑත රවුමට ඔසවලා ගද්දි මගේ අතට පොඩි තට්ටුවක් දාන්න. එ් මතකයන් ඔස්සේ අද මම්මව තට්ටු වෙන්නෙ හදවතේ ගැඹුරුම තැනට.
ගමනට වගේම ගෙදරටත් මම්මා ඇන්ඳේ ඔසරියම තමා. මගේ මනසට මේ දැනුත් මම්මා මහ ගෙදර එහා මෙහා ගිය විදිහ මැවී පේනවා. හවසට මල් කඩලා බුදු කාමරේ මම්මා පංසිල් ගත්ත විදිහ. මිදුලෙ කොනේ ජම්බෝල ගහ ළඟ හදලා තිබ්බ පහන් කණුවේ පහන පත්තු කරලා මම්මා වැඳන් ඉන්නවා මට මේ දැනුත් මැවිල පේනවා. එ් මතකයන් කොච්චර සුන්දරද. එ්ත් එ්වා මතක් වෙන වාරයක් වාරයක් පාසා හිත දැවෙනවා. නෙතු හැඬෙනවා.
අදට හරියටම මම්මා අපෙන් සමුගෙන දවස් 7ක් වෙනවා. මම්මව තව එකම එක වාරයක් හෝ හැබැහින් දැක ගන්න තිබ්බ නම් කොච්චරද කියල හිතෙන වාර ගණන අන්නතයි. අප‍්‍රමාණයි. නොරට විසීම කරුමයකටත් එහා ගිය කරුමයක් බව දැනෙන්නේ මේ වගේ අවස්තාවන්වලදී තමා. ආදරණියයන්ව අඩුම ගණනේ ඔවුන්ගේ අවසාන මොහොතෙදිවත් දැක බලා ගන්න වාසනාවක් නැති වෙනකොටයි. මම්මා අපෙන් සමුගත් පුවත මහ පාන්දරයාමෙ ලොකු මල්ලි දුරකථනයෙන් මට කියනකොට මට ඉස්සෙල්ලාම කියවුණේ 'අයියෝ' කියන වචනයයි. එතකොට හිතට කඩාගෙන බිඳගෙන ආව දුක නම් අදටත් අඩුවක් නෑ. මම්මා ගතින් අපි ළඟ නැති හිස් අඩුව හැමදාම අපි අතරෙ තියෙනවා සහතිකයි. එ්ත් අයියෝ.. එ්කට මොනා නම් කියල කරන්නද.. ඉකිය, කඳුළ හිර කරන් මතකයන් අවදිකර හූල්ලනවා ඇරෙන්න. හදවතින් ඇයට නමස්කාර කරනවා ඇරෙන්න.
ආදරණීය මම්මේ අපි ඔබට හැමදාමත් ආදරෙයි. ආදරණීය ඔබට නිවන් සුව අත්වේවා..!!