ඔන්න ඔහොම..



වෙසක් සඳ ට....



















එහෙ පෑයුව ද
මෙහෙ පෑයුව ද
සඳ නුඹ ස ඳ ම ය!

දුක මට ය අපමණ
සඳ රූසිරි
නොරට දී නොදකින.


2009.05.10

මට නිදාගන්න බෑ

රුඩෝල්ෆ් කියලා පුංචි හාවෙක් හිටියා. මේ හා පැටියා හරිම ආසයි එයාගේ නැන්දගෙ ගෙදර යන්න. ඒ මොකද නැන්දගෙ ගෙදර මේ පුංචි හා පැටියට, එයාගෙම කියල කාමරයක් තියෙනවා. එයාටම වෙන්වුණ ඇඳක් තියෙනවා. සෙල්ලම් බඩු තියෙනවා. හා පැටිය හරි ආසයි ඒ සෙල්ලම් බඩු එයාගෙ විතරක් කරගන්න.

ඒත් මේ සැරේ නැන්දගෙ ගෙදර ගිය හා පැටියට පාළුවක් දැනුණා. එයාගේ අයියල, අක්කල, නංගිල, මල්ලිලා නැති නිසා තනිකමක් දැනුණා. තනිකම කොච්චර ලොකුවට දැනුණද කියනව නම් රුඩොල්ෆ්ට නින්ද ගියෙත් නෑ.


ඒක නිසා හා පැටියා එයාගෙ නැන්දගෙන් මෙහෙම ඇහුවා....

“අද රෑ මම වෙන කොහේ හරි නිදා ගන්නද නැන්දෙ ?”

“කොහෙද ?” .... නැන්දත් හා පැටියගෙන් ඇහුවා.

“හොඳ යාළුවෙක්ගෙ ගෙදර”

“රුඩෝල්ෆ් ට හිතෙනව නම්, යාළුවෙක් ගාව හොඳට නිදාගන්න පුළුවන් කියලා, එහෙම කරන්න”. නැන්දා හා පැටියට අවසර දුන්නා.

ඉතින් ඔන්න හා පැටියා එයාගෙ මිතුරු ලේන් පැටියෙක්ගෙ ගෙදර ගිහින් මෙහෙම ඇහුවා....
 

“අද මට මෙහෙ නිදාගන්න පුළුවන්ද ?”

“මොකෝ බැරි. එන්න එන්න ඇතුළට එන්න.” ලේන් පැටියා ගොඩක් ආසාවෙන්, හා පැටියව පිළිගත්තා. 


එදා රෑ තනියම නිදාගන්න නොලැබුණ සතුටෙන්, ලේන් පැටියගේ ඇඳේම හා පැටියත් නිදාගත්තා.

ක්..රා..ක්.... ක්රා..ක් .... ක්..රාක්

ටික වෙලාවක් ගියාට පස්සෙ හා පැටියට සද්දයක් ඇහුණා. ඒත් තද නිදිමත නිසා, හා පැටියට එහෙම්මම ආයෙත් නින්ද ගියා.

ආයෙත් ටික වෙලාවකට පස්සෙ....

ක්රාක්.... ක්රාක් .... ක්රාක්

“මොකද්ද ඒ සද්දෙ” කියාගෙන හා පැටියා ආයෙත් ඇහැරිලා, ඇඳේ ඉඳගත්තා.

හා පැටියගේ කටහඬ ඇහුණ ලේන් පැටියා මෙහෙම කීවා....

“මම මේ ඕක්ගෙඩි වගයක් හපනවා. රෑට හැම වෙලේම මට බඩගින්නක් එනවා. ඒ වෙලාවට මට මොනව හරි කන්න ඕනි”.

“ඔයා මට කරපු ආගන්තුක සත්කාර වලට ගොඩක් ස්තූතියි. ඒත් මේ සද්දෙ මැද මට නිදාගන්න බෑ” කියල කියපු හා පැටියා, ඊළගට ගියේ එයාගේ මිතුරු උරුලෑවෙක්ගෙ ගෙදර.

“යාළුවේ අද මට මෙහෙ නිදාගන්න පුළුවන්ද ?” .... හා පැටියා උරුලෑවගෙනුත් ඇහුවා. 


“ඔව් ඔව් .... සියපාරක් ඔව්. කවදාවත් කවුරුවත් මගෙත් එක්ක නිදා ගන්න අහල නෑ....” යි කීව උරුලෑවා, හා පැටියව ඇදගෙනම ගේ ඇතුළට ගිහින්, ඇඳට වැටුණා.

ඒත් වැඩිවෙලාවක් යන්න කලින් දැනුණ දුගඳක් නිසා ඇහැරුණ හා පැටියා, ඇඳේ කෙළවරටම ගිහින් මෙහෙම ඇහුවා....

“මොකද්ද ඒ ගඳ ?”

“මම හිතන්නෙ ගඳ එන්නෙ මං ගාවින්.. මට හොඳටම අමතක වුණා මගේ කාමරයේ තව එක්කෙනෙක් ඉන්නවා කියලා. මම බය හිතෙන හීනයක් දැක්කා. ඒ වෙලාවෙ මගේ ගඳ හොඳටම විහිදෙන්න ඇති ”... කියලා උරුලෑවා කීවා.

“ඔයා මට කරපු ආගන්තුක සත්කාර වලට ගොඩක් ස්තූතියි. ඒත් මේ ගඳත් එක්ක මට නිදාගන්න බෑ” කියල කියපු හා පැටියා, ඊළගට ගියේ එයාගේ මිතුරු ඉත්තෑවගෙ ගෙදර.

”අනේ යාළුවේ මට අද රෑ මෙහෙ නිදා ගන්න පුළුවන්ද ?”

“නැතුව නැතුව, ඔයාට පුළුවන් මගේ ඇඳේම නිදා ගන්න. මම නිදාගන්නම් බිම” කියල ඉත්තෑවා කීවා. 


“හුරේ” .... හා පැටියා සන්තෝසෙන් ඉත්තෑවගේ ඇඳේ පෙරළුනා.

ඒත් ටික වෙලාවකට පස්සෙ....“ඌ...යි....ඌ...යි....ඌයි”


හා පැටියා වේදනාවෙන් කෑ ගහලා .... ”මොනවද මේ ඇඳේ තියෙන්නෙ” කියලා ඇහුවා.

“ඒ මගේ ඉත්තෑකූරුනේ. සමහර වෙලාවට මගේ ඉත්තෑකූරු ඇඳේදි ගැලවෙනවනෙ” .... ඉත්තෑවා උත්තර දුන්නා.

“ඔයා මට කරපු ආගන්තුක සත්කාර වලට ගොඩක් ස්තූතියි. ඒත් මේ ඉත්තෑකූරුත් එක්ක මට නිදාගන්න බෑ” කියල, හා පැටියා එහෙනුත් යන්න ගියා.


ඊට පස්සෙ හා පැටියා ආවෙ එයාගේ මිතුරු වලස්පැටියගෙ ගෙදර. 

“මට අද මෙහෙ නිදාගන්න පුළුවන්ද?”

“ඔව් ඔව්.... ඔයාගෙ ගෙදර වගේම මෙහෙ ඉන්න පුළුවන්.” වලස් පැටියත් කීවා.

හා පැටියා හිටියේ ගොඩක් මහන්සියෙන්. ඒක නිසා ගේ ඇතුළට ඇවිත් බිම පෙරළුනා විතරයි හොඳටම නින්ද ගියා.

ඒත් ටික වෙලාවකට පස්සෙ ඇහුණ ගෙරවිලි හඬක් නිසා, හා පැටියා ගැස්සිලා ඇහැරුණා.

“අයියෝ අහස ගොරවනව වගේ” කියලයි හා පැටියට හිතුණෙ.

ඒත් ගොරවන්නෙ අහස නෙමෙයි, වලස් පැටියා බව හා පැටියට ඉක්මණින් තේරුම් ගියා.
 

“මේ ගෙරවිල්ල නිසා මට නිදා ගන්න බෑ” යි හිතුව හා පැටියා, ඊළගට ගියේ එයාගේ යාළු බකමූණගෙ ගෙදර.

“අද රෑ මට මෙහෙ නිදා ගන්න පුළුවන්ද ?”

“ඔයාට මෙහෙ නිදාගන්නම ඕනි නම්, මොකෝ බැරි.... එන්න ඇතුළට.” බකමූණා එයාගෙ යාළුවව ගේ ඇතුළට ගත්තා.

හා පැටියා හිටියේ ගොඩක් මහන්සියෙන් නිසා එයාට හරි ඉක්මණින් නින්ද ගියා.

ටික වෙලාවකට පස්සෙ එළියක් පත්තු වෙලා තියෙනවා නිදාගෙන හිටිය හා පැටියගෙ ඇස් වලට දැනුණ නිසා, එයා ආයෙමත් ඇහැරුණා.

“යාළුවේ ඔය එළිය නිවන්නකෝ” .... හා පැටියා බකමූණට කීවා. 


“අනේ ඒකනම් කොහොමටවත් කරන්න බෑ. රෑට තමයි මම පොත් පත් කියවන්නෙ. ඒක නිසයි මම මට හිතුන දේම කරන්නෙ” කියලා, බකමූණා හා පැටියට උත්තර දුන්නා. 

“එහෙමනම් ඔයාට හිතෙන විදිහට කියන්නකො යාළුවේ, මට අද රෑ නිදා ගන්න පුළුවන් තැනක්.”

“ආ.... ඒකට උත්තරේ හරිම ලේසියි නේ.... යන්න ගිහින් ඔයාගෙ ඇඳේම නිදා ගන්න”.... බකමූණා උත්තර දුන්නා.

බකමූණා කියපු දේ ඇහුව හා පැටියා, ගොඩක් නිදිමතෙන් ගොඩක් මහන්සියෙන් එයාගෙ නැන්දගෙ ගෙදර යන්න ගියා.

හා පැටියට එයාගෙ ඇඳ දැක්කම ගොඩක් සන්තෝස හිතුණා. ඒක නිසා දුවගෙන ගිහින් එයාගෙ ඇඳට පැන්නා.

ඊට පස්සෙ .... ”අම්මෝ දැනෙන සනීපෙ කියලා අත් කකුල් දිග ඇරියා.” 


“හපන සද්ද නෑ, කිසිම ගඳක් නෑ, ඉත්තෑකූරුත් නෑ, කවුරුත් ගොරවන්නෙත් නෑ, කිසිම එළියකුත් නෑ, මම විතරයි.... මම විතරයි මගේ ඇඳේ.... දැන්නම් මට හොඳට නිදා ගන්න පුළුවන්” කීව හා පැටියා රෙද්ද පොරවගෙන හොඳට නිදා ගත්තා.
 



කතාව: Carol Roth
සිතුවම්: Valeri Gorbachev
පරිවර්තනය: Muthu Paba


කතන්දරය බූන්දිය හරහා කියවන්නට: මට නිදාගන්න බෑ


සරදම


අරුම පුදුම පුංචි මුට්ටිය

























මව සමග ජීවත් වුණු දුප්පත් වුණත් කීකරු යහපත් පුංචි ගෑණු ළමයෙක් සිටියා. ඇයට සහ ඇගේ මවට කන්නට කිසිම දෙයක් තිබුණෙ නෑ. දවසක් මේ පුංචි ගෑණු ළමයා කැලෑවට ගිය මොහොතක, ඇයට වයසක ආච්චි කෙනෙක්ව මුණගැහුණා. පුංචි ගෑණු ළමයා දෙස සැලකිල්ලෙන් බලා සිටිය මේ ආච්ච්ට ඇගේ දුක තේරුණා. එ්ක නිසා ආච්චි ඇයට අරුම පුදුම මුට්ටියක් තෑගි කරා.

”හදන්න, පුංචි මුට්ටිය හදන්න” කීවම, මේ අරුම පුදුම මුට්ටිය තලප හදනවා.

”නවත්තන්න, පුංචි මුට්ටිය නවත්තන්න” කීවම, මුට්ටිය තලප සෑදීම නතර කරනවා.

පුංචි ගෑණු ළමයා මුට්ටිය අරගෙන ගෙදර ගියා. මුට්ට්ය නිසා ඇයටයි ඇගේ අම්මටයි ඉන්පසු කවමදාවත් බඩගින්නෙ ඉන්න සිද්ද වුණේ නෑ. එයාලා ගොඩක් වෙලාවට කෑවෙත් තලප.

දවසක් මේ පුංචි ගෑණු ළමයා ගෙදරින් පිට ගිය වෙලාවක, ඇගේ අම්මා ”හදන්න, පුංචි මුට්ටිය හදන්න” කියලා මුට්ටියට කීවා. මුට්ටියත් සුපුරුදු පරිදි තලප හැදුවට පස්සෙ, අම්මා එයාට ඇති වෙනකල් තලප කෑවා.


ඒත් තලප සෑදීම නතර කිරීමට කිවයුතු වචන මව දැන නොසිටිය නිසා, මුට්ටිය නොනවත්වා තලප හැදුවා. මුට්ටිය පිරිල ඉතිරිලා, කුස්සියත්, මුළු ගෙදරමත් පිරෙනකල් මුට්ටිය තලප හැදුවා. අසල් වැසියන්ගේ ගෙවලූත් පිරෙනකල් මුට්ටිය නොනවත්වා තලප හැදුවා. හරියට මුළු ලෝකයේම බඩගින්න නැති කරන්නට වගෙයි, මුට්ටිය තලප හැදුවෙ. අරුම පුදුම මුට්ටිය මුළු ගමටම හිරිහැරයක් වුණත්, මුට්ටිය තලප හදනවා නතර කරන්න කාටවත්ම බැරි වුණා.

අවසානයේ එකම එක ගෙයක් පමණක් තලප වලින් නොපිරී බේරී තියෙද්දි, පුංචි ගෑණු ළමයා ඇවිත් ”නවත්තන්න, පුංචි මුට්ටිය නවත්තන්න” කියලා මුට්ටියට කීවා විතරයි, මුට්ටිය තලප සෑදීම නතර කරා.

ඉතින් ඊට පස්සෙ කාට හරි නගරයට යන්න ඕනෑ වුණා නම්, පාරෙ පිරිලා තිබුණ තලප කාලා තමයි නගරයට යන්න සිද්ද වුණේ. 




ග්‍රිම් සොහොයුරන්ගේ කතාවක්
පරිවර්තනය: මුතු පබා 



කතන්දරය බූන්දිය හරහා කියවන්නට: අරුම පුදුම පුංචි මුට්ටිය

පෝලෝ සහ දඟකාර නැගණිය

සීතල නමුත් පැහැදිලි උදෑසනක වැලන්ටිනා තම අයියා පෝලෝව අවදි කළා.

‘ඇහෙනවද? ඇහෙනවද? පෝලෝ ඔයාට ඇහෙනවද කුරුල්ලෙක් සිංදු කියනවා....? මට ඒ කුරුල්ලව හොයන්න යන්න ඕනෑ..’


‘මොනවද ඔයා කියන්නේ වැලන්ටිනා? කුරුල්ලෙක්? කොහෙද?’ තවමත් නිදිමතෙන් හිටිය පෝලෝ ඇස් පොඩි කරමින් ඇහුවා.


‘වැලන්ටිනා.... ඒ පාර ඔයා කොහෙද යන්නෙ..?’
ගුහාවෙන් එළියට යන සිය නැගණිය දුටු පෝලෝ ඇසුවා.


‘ඇයි ඔයා ගුහාව ඇතුලෙ ඉන්නෙ නැත්තෙ? අම්මා ළඟ උණුසුමයි.. එන්න ඇතුළට’

‘ඔයත් එන්නකො එළියට..’ ගහක් උඩට නගින් ගමන් වැලන්ටිනා අයියාට කතා කළා.


‘බලාගෙන වැලන්ටිනා ඔය ගහට නගින්නේ..’ පෝලෝ කනස්සල්ලෙන් සිය නැගණියට අවවාද කළා.


ඒත් ඇහුම්කන් නොදුන් වැලන්ටිනා ගහෙන් බිමට වැටී, හිම බෝලයක් මෙන් කැරකි කැරකී පල්ලම පහළටම ඇදුණා.


පින්ග් සහ පින්ගා; පුංචි පෙන්ගුවින් දෙදෙනා වැලන්ටිනාට නැගිටින්නට උදව් කළා.


‘පෝලෝ.. අපිට උදව් කරන්නකෝ!’ පෙන්ගුවින් දෙදෙනා ඒ වෙනකොටත් එතැනට එමින් හිටිය පොලෝට කීවා.




‘ඔයා නම් හරිම නරක ළමයෙක් වැලන්ටිනා..’ පොලෝ නැගණියට දොස් පැවරුවා.


‘මට පෙන්ගුවින්ලා එක්ක සෙල්ලම් කරන්න ඕනෑ....’ වැලන්ටිනා තමාගේ ඇස් වලයි, නහය උඩයි, ඔළුවෙයි ගෑවිලා තියෙන හිම පිහදාන අයියාට කීවා.


‘ඔයා දන්නවාද පෙන්ගුවින්ලා අපිට වඩා වෙනස් කියලා..?’ වැලන්ටිනා පොලෝගෙන් ඇහුවා.. ‘එයාලා සීත කාලෙට නිදා ගන්නෙ නෑ..’




‘මම ඒක දන්නවා වැලන්ටිනා.. මම ඔයාගෙ ලොකු අයියනේ..’


‘මම යනවා මාළු අල්ලන්න..’ පින්ග් කීවා.. ‘වැලන්ටිනා ලෑස්ති නම් අපිට පුළුවන් අයිස් වල කෙළවරටම යන්න..’


‘ඔව්..ඔව්.. මමත් එනවා ඔයාලා එක්ක මාළු අල්ලන්න යන්න..’ යැයි කීව වැලන්ටිනා, අයිස් කෙළවරට ඉක්මණින් දුවන්න පටන් ගත්තා. වැලන්ටිනාට ඕනෑ වුණේ අනෙක් අයට පෙර අයිස් කෙළවරට යන්නයි.




‘වැලන්ටිනා.... මම එනකල් ඉන්න.... ඔයා කවදාවත් අයිස් උඩ ඉඳන් මාළු අල්ලලා නැහැ..’ පෝලෝ දුවගෙන යන නැගණියට කෑගැහුවා.


‘අපි මෙතැන හිටගෙන ඉන්න එක නුවණට හුරු මදි..’ බිලීපිත්ත ලෑස්ති කරන ගමන් පින්ගා කීවා.  ‘මෙතැන අයිස් ශක්තිමත් මදි නිසා කොයිවෙලේ හරි කැඩෙන්න පුළුවන්..’




‘නෑ.. නෑ.. පින්ගා.. මට මෙතැන හොඳයි.. පාට පාට මාළු ගොඩක් මට පේනවා. කෝ ඉන්න ඒ මාළුවෝ මම ඔයාලට අල්ලලා දෙන්න..’ යැයි කියා, වතුරට පාත්වුණ වැලන්ටිනාගේ කකුල් ගාවින් අයිස් කැටේ කැඞී වෙන්වුණා. වෙන්වුණ අයිස් කෑල්ල දියරැලි නිසා වේගයෙන් ඈතට ගහගෙන ගියා.


‘අනේ....! මාව තනියෙන් යවන්න එපා..’ වැලන්ටිනා බයෙන් කෑගැහුවා.


හොඳ වෙලාවට සිද්ද වුණ හැමදේම දුටු මුහුදුසිංහයෝ රංචුවක් හනික ඇවිදින්, වැලන්ටිනා උන් අයිස් කෑල්ල අල්ලගත්තා.


‘අයියෝ....! මාව ගහගෙන යනවා.. මට පීනන්නත් බෑ..’ වැලන්ටිනා හොඳටම ඇඬුවා. ‘පෝලෝ... ඔයා මට උදව් කරනවා නේද?’




වතුරට පැන්න පෝලෝ ඉක්මණින් නැගණියට ළඟට පීනුවා. 


‘මට නම් තේරෙන්නෙ නෑ වැලන්ටිනා, ඔයා කොහොමද හැම වෙලේම අවුලකට කොටුවෙන්න දන්නෙ කියලා..’ ගොඩට පීනන ගමන් පෝලෝ කීවා. ‘නුසුදුසු තැන නුසුදුසු වෙලාවට ඔයා හැම වෙලේම ඉන්නවා.. ඔයා නම් හරිම දඟකාර නංගියෙක්..’

සීතල නිසාත් ගොඩක් බය වී සිටි නිසාත් වැලන්ටිනාට මෙදාපාර නම් කිසිම දෙයක් කියා ගන්නට බැරි වුණා.


‘ගොඩට ආව පෝලෝ නැගණියව තුරුල් කරගෙන අස්වැස්සුවා. පින්ග් වැලන්ටිනාව උණුසුම් කරන්න තැත් කළා.’


‘මම පොරොන්දු වෙනවා මීට පස්සෙ හොඳට ඇහුම්කන් දෙනව කියලා.. මෝඩ වැඩත් මම ටිකක් අඩුවෙන් කරන්නම්....’ වැලන්ටිනා හිමිහිට කීවා.




‘ඒක හොඳයි වැලන්ටිනා.. අපි එහෙනම් දැන් ගෙදර යමුද?’ පෝලෝ ඇසුවා. පෝලෝ සහ වැලන්ටිනා ඔවුන් වෙසෙන බිම් පෙදෙසට පැමිණි පසු, පෙන්ගුවින් දෙදෙනාගෙන් සමුගත්තා.


‘මම අම්මට කියනවා ඔයා මාව බේරගත්ත විදිහ..’ වැලන්ටිනා මිමිණුවා.


‘එපා.. අම්මට කිසිම දෙයක් කියන්න එපා.... අම්මා හොඳටම බයවෙයි.. අපි මේ සිදුවීම අපි දෙන්නා අතරෙ විතරක් තියාගමු.. එතකොට ඒක අපේ රහසක්..’ ගුහාවට ගිය පෝලෝ සද්ද කරන්න එපායි ඇඟිල්ලක් කටට තියා නංඟිට පෙන්නුවා.




තවමත් නිදාගෙන උන් අම්මා ළඟට ගිය පෝලෝ සහ වැලන්ටිනා හිමින් සීරුවේ අම්මා ළඟින්ම වැතිරුණා.


‘හොඳට නිදාගන්න වැලන්ටිනා.. ඔයා නම් හරිම දඟකාර නංගියෙක්.... ඒ වුණත් මගේ නංගියා මට හොඳයි..’ පෝලෝ රහසින් වැලන්ටිනාට කීවා.



කතාව:  නෝරීස් කෙරන් සහ ජීන් බැප්ටයිස්ට් බැරෝනියන්
පරිවර්තනය: මුතු පබා


කතන්දරය බූන්දිය හරහා කියවන්නට: පෝලෝ සහ දඟකාර නැගණිය

නපුරු නරියා කරුණාවන්ත යි.

එකම එක යාළුවෙක්වත් නැති නිසා නපුරු නරියට ගොඩක් පාළුයි. ‘මං ගොඩක් ලොකුයි ඒ මදිවට මට තියෙන්නෙත් භයානක පෙනුමක්.. ඒක නිසා වෙන්නැති මට කිසිම යාළුවෙක් නැත්තෙ’ නරියා එයාටම කියා ගත්තා. ‘සමහරවිට ඒ මං නරක නිසා වෙන්නත් පුළුවන්.. ඔව්.. ගොඩක් නරක නිසා..... ’ නපුරු නරියා තනියම හිතුවා.

‘හරි මං දන්නවා.. මං නරක වැඩ අත්හරිනවා.. ඒකරලා කරුණාවන්ත නරියෙක් වෙනවා.. එතකොට මටත් ගොඩක් යාළුවෝ ලැබේවි.. ’ එහෙම හිතුව නපුරු නරියා ගමේ ටිකක් ඇවිදින්න පටන් ගත්තා.

"බුදු අම්මෝ.... මෙන්න නපුරු නරියා එනවෝ.." නරියව දැක්ක සුදු හංසිනී, හංස පැටව් හත්දෙනා එක්ක ගේ ඇතුළට දිව්වා.

"ඩාං...." ඊටපස්සෙ ඇහුණෙ හයියෙන් දොර වැහුණ සද්දෙ.

"හංසිනී.." නපුරු නරියා ආදරණීය කටහඬකින් කතා කළා. "දොර ටිකක් අරින්න පුළුවන්ද.. ? මම දැන් කරුණාවන්ත නරියෙක්.. මට පුළුවන්ද ඔයාගෙ ළමයි එක්ක සෙල්ලම් කරන්න.. ?"

ඒත් හංසිනී නෙමෙයි වැරදිලාවත් නම් දොර ඇරියෙ. 

 

 
















"යනව යන්න නපුරු නරියා.. යනව යන්න.. ආයෙමත් මෙහාට කවදාවත් එන්න එපා.." ගේ ඇතුළෙ ඉඳන් කෑ ගැහන්න ගත්ත හංස පැටව්, ජනේලය ළඟට ගිහින් නපුරු නරියට ඇස් වපර කරලා ඇද කරන්න පටන් ගත්තා.

නපුරු නරියා දැන් හොඳ නරියෙක් බව හංසයෝ අඳුන ගත්තෙ නැති නිසා නරියට දුක හිතුණා. 


‘හරි මං දන්නවා.. කරුණාවන්ත වෙලා විතරක් මදි.. මම උදව් කරන්න පටන් ගන්නත් ඕනෑ.. එතකොට මටත් හම්බවේවි යාළුවෝ. ’ එහෙම හිතුව නපුරු නරියා ආයෙමත් ඇවිදින්න යන්න පටන් ගත්තා.

කිකිළි හාමිනේ ගමනක් යන්න ලක ලෑස්ති වෙලා මග බලාගෙන ඉන්නවා.


"කීයට එයිද මන්ද මේ උදව්කාරයා.."

කුකුළු පැටව් බලාගන්න එනවයි කීව උදව්කාරයා තාමත් නැති නිසා කිකිළි හාමිනේගේ හිත ටිකක් කලබලයි.


කුකුළු කූඩුව ළඟට ගිය නපුරු නරියා උගුර පෑදුවා.


"කිකිළි හාමිනේ මට පුළුවන් ඔයාගේ ළමයි ටික හොඳින් බලාගන්න.."

"නපුරු නරියා ඇවිල්ලෝ.. ළමයිනේ.. දුවපල්ලා.. දුවපල්ලා.. විගහට දුවපල්ලා.." හැමෝම ඉක්මණට දුවල ගිහින් දොර වහගත්තා..
 
"කිකිළි හාමිනේ.. මම දැන් කරුණාවන්ත හැමෝටම උදව් කරන නරියෙක්.. කමක් නැද්ද මම අද කුකුළු පැටව් බලාගත්තට.. ?"

ඒත් කිකිළි හාමිනේ කීයටවත් දොර නම් අරින්න ගියේ නෑ.


"යනව යන්න නපුරු නරියා.. යනව යන්න.. ආයෙත් මේ පැත්ත පළාතටවත් එන්න එපා.." ගේ ඇතුළෙ ඉඳන් කෑ ගහන්න ගත්ත කුකුළු පැටව් ටිකත්, නරියට ඇද කරන්න පටන් ගත්තා.

නපුරු නරියා දැන් කරුණාවන්ත හැමෝටම උදව් කරන නරියෙක් බව කුකුළොත් තේරුම් ගත්තෙ නෑ. ඒ හින්ද නරියට ආයෙමත් ගොඩක් දුක හිතුණා.


ඉතින් නපුරු නරියා ආයෙමත් හිතන්න පටන් ගත්තා. 


‘හරි මං දන්නවා. උදව් කරන කරුණාවන්ත නරියෙක් වෙලා මදි.. මං මොනව හරි හොඳ යහපත් වැඩක් කරන්නත් ඕනෙ.. එතකොට නම් මට කොහාම හරි යාළුවො ලැබේවි.. ’ නරියා හිතුවා.

ඉතින් හොඳ යහපත් දෙයක් කරන අදහසින් නපුරු නරියා ආයෙමත් ගමේ ගොඬේ ඇවිදින්න යන්න පටන් ගත්තා.


තාර හාමිනේ තාර කූඩුව ළඟ ඉඳගෙන කෑ ගහනවා නපුරු නරියා දැක්කා.


"පස්වැනියා.. පස්වැනියා.. කෝ.. කොහෙද මේ පස්වැනියා.."


"ඇයුබෝවන්! තාරාවි.. මොකද්ද ප‍්‍රශ්නෙ.. කමක් නැද්ද මං උදව් කරාට.. ?"

නපුරු නරියව දැක්ක තාරාවිට හොඳටම තරහ ගියා.


"නපුරු නරි තඩියා.." තාරාවි කේන්තියෙන් පුපුරමින් කෑ ගැහුවා. 
"කොහොම හරි ඔහේ මගේ පස්වැනි තාර බබාව කෑවා නේද?" තාරාවි කූඩුව ඇතුළට ගිහින් හයියෙන් දොර වහගත්තා.

නපුරු නරියට තාරාවිගෙ වචන හිතාගන්නවත් බැරි වුණා. නරියා කූඩුවෙ දොරට තට්ටු කරන්න පටන් ගත්තා.


"තාරාවී.. මට ඇතුළට එන්න ඉඩදෙන්න.. මං කිසිම කෙනෙක්ව කෑවෙ නෑ.."

ඒත් තාරාවි එහෙම නෙමෙයි වැරදිලාවත් නම් දොර ඇරියෙ..


"යනව යන්න නපුරු නරියා.. ඈතටම යනව යන්න.. ආයෙත් කවදාවත් කොහෙට ගියත් මෙහාට නම් එන්න එපා.. " ඉතුරු තාර පැටව් හතරදෙනා කෑ ගහන ගමන් නපුරු නරියා දිහා කැත විදිහට බැලුවා.

"හා.. එහෙනම් මමයි පස්වැනියව කෑවෙ.. උගන්වන්නම්කො මං හොඳ පාඩමක්.. මීට කළින් මම නරකම නරක නරියෙක්." නපුරු නරියා තනියෙන් කියව කියව කැලෑවෙ එහාට මෙහාට ඇවිද්දා.

ටික වෙලාවකට පස්සෙ නරියට ඇහුණා කටහඬක්.


"ක්වෑක්.... ක්වෑක්.. අනේ! මට පාර වැරදිලා.." කටහඬ කියනවා ඇහුණා.

ගහක් පිටිපස්සෙ හිටිය නරියා එළියට මතු වුණා.


"මෙන්න නපුරු නරියා මාව කන්න යනවෝ.. අනේ මාව බේරගන්ඩෝ...." නරියව දැක්ක පස්වැනියා පුළුවන් තරම් හයියෙන් කෑගහන්න පටන් ගත්තා.

බයෙන් කෑ ගහන තාර පැටියා ගැන නපුරු නරියට දුක හිතුණා. කේන්ති යනව වෙනුවට හිත උණු වුණා. ඒත් ඒ බව නොපෙන්වා පස්වැනියට සැරෙන් කතා කළා.


"ඔය මෝඩ කෑගැහිල්ලයි ඇඬිල්ලයි නැවැත්තුවේ නැත්නම්, මම දැන් ඔයාව ඇත්තටම කනවා.. තේරුණාද.. ?"


පස්වැනියා නපුරු නරියා දිහා බැලුවා. ජිල්බෝල වගේ කඳුළු බෝල, තාරහොට දිගේ ගලන්න ගත්තා.

"මට අම්මා ළඟට යන්න ඕනෙ.. " පස්වැනියා අඬ අඬාම නරියට කීවා. 

 

 






















"හොඳයි.. දැන් එහෙනම් හොඳ තාර බබා වගේ නාඬා ඉන්නකෝ.. අපි දැන් යන්නෙ ඔයාගෙ අම්ම ළඟට තමයි.. "


නපුරු නරියා පස්වැනියව එයාගෙ ලොකු කලිසම් සාක්කුවේ දාගත්තා.

ආයෙමත් තාරාවිගේ කූඩුව ළඟට ගිය නරියා දොරට තට්ටු කළා.

"තාරාවී... තාරාවී... මේ බලන්නකෝ මට පස්වැනියව හම්බවුණා.. දැන්වත් ටිකක් දොර අරිනවද.... ?"
ආදරණීය කටහඬකින් නපුරු නරියා තාරාවිට කීවා.

තාර කූඩුවේ දොර හිමින් සීරුවේ ටිකක් ඇරුණා.

"ඔය ඇත්තමද.. ?"
දොරට මුවාවෙලා තාරාවී නපුරු නරියගෙන් ඇහුවා.

"සත්තම සත්තයි.. ඇත්තමයි මේ කියන්නේ.." නරියා උත්තර දුන්නා.

"එතකොට ඔයා එහෙනම් ඔයා පස්වැනියව කෑවෙ නෑ.. ! ?"
තාරාවී ආයෙමත් ඇහුවා.

"පුංචිම පුංචි කෑල්ලක්වත් කෑවෙ නෑ.."
නරියා උත්තර දුන්නා.

දොරෙන් එළියට අත දැම්ම තාරාවී ඉක්මණට පස්වැනියව ඇතුළට ඇදල ගත්තා.

"ඩාං....."
ඊටපස්සෙ ඇහුණෙ දොර වැහෙන සද්දෙ.

නපුරු නරියා දුකින් තාරාවිගෙ කූඩුව ළඟින් යන්න ගියා. නපුරු නරියා හොඳ කරුණාවන්ත කෙනෙක් වුණා. යහපත් වැඩකුත් කළා. ඒත් තවමත් කවුරුත් කැමති නෑ එයාගෙ යාළුවෙක් වෙන්න. නපුරු නරියට ඇඬුනා. ලොකු කඳුළු බිංඳු දිග නහය දිගේ ගලන්න පටන් ගත්තා.

"මේ ඒක නෙමෙයි නපුරු නරියෝ.."
කූඩුවේ දොර ඇරිය තාරාවි නපුරු නරියට කතා කළා.

තාරාවිගෙ කටහඬ ඇහුණ නරියා හිටිතැනම ගල් ගැහුණා.

"ඔයාට වෙලා තියෙනවනම් තේ එකක් බීලා යන්න ඉන්න පුළුවන්ද.."

"ඔව් පුළුවන්.. ඇත්තටම පුළුවන්.."
නපුරු නරියා උත්තර දුන්නා.

තාරාවිගෙ ගෙදර ගතකරපු මොහාත බෙහෙවින් සතුටුදායක මොහොතක් වුණා. නපුරු නරියා තේ කෝප්ප තුනක් බීවා. විස්කෝතු එකොළහක්ම කෑවා. තාර පැටව් එක්ක හිතේ හැටියට සෙල්ලම් කළා.

"ස්තූතියි! තාරාවී...."
ගෙදර යන්න වෙලාව ආවාම නපුරු නරියා හැමෝගෙන්ම සමුගත්තා.

"නෑ.. නෑ.. නපුරු නරියෝ මමයි ඔයාට ස්තූති කරන්න ඕනෑ.." තාරාවි කීවා. "ඔයා මට පස්වැනියව හොයල දුන්නා.. ඒ නිසා ඔයා වීරයෙක්.." 




"තාරාවී.." නපුරු නරියා ලැජ්ජාවෙන් තාරාවිට කතා කළා. "ඔයාට පුළුවන්ද අද ඉඳලා මට ආදරණීය නරියා කියලා කතා කරන්න.."

තාරාවි හිනා වුණා. "එහෙම දෙයක් කරන්න ඕනෙ නෑ නරියෝ.." තාරාවි නරියව ආදරෙන් බදාගත්තා.

"ඔයා හැමදාම හිටිය නපුරු නරියමයි. හැබැයි අපේ නපුරු නරියා හරි කරුණාවන්තයි.. !" 
 




කතාව:  සීමොන් පුට්ටොක් | Simon Puttock
සිතුවම් : ලීන් චැප්මෑන් | Lynne Chapman
පරිවර්තනය: මුතු පබා 


කතන්දරය බූන්දිය හරහා කියවන්නට: නපුරු නරියා කරුණාවන්ත යි.
 

මී දුවගෙ විවාහය

ගොඩක් පොහොසත්, එ් වුණාට ආදරයෙන්, එකමුතුව ජීවත් වුණ මී පවුලක් හිටියා. මේ පවුලෙ එකම මී දියණිය හොඳ ගති ගුණ වලින් ගොඩක් පොහොසත්. එ්ක නිසා මී අම්මයි, මී තාත්තයි එයාලගෙ එකම දියණිය ගැන ගොඩක් ආඩම්බර වෙනවා.

දවසක් මී තාත්තා, මී අම්මට කීවා, "අපිට ඕනේ අපේ දුව මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා එක්ක අතිනත ගන්නවා දකින්න නෙමෙයිද?" 



මී අම්මා උත්තර දුන්නා, "උසස්ම කෙනා හොඳම කෙනා එහෙනම් ඉර වෙන්න ඕනෑ. ඉර අහසෙ මුදුනෙ ඉඳන් මුළු ලෝකෙම එළිය කරනවා.."

ඉතින් දවසක් මී අම්මයි, මී තාත්තයි ඉර මුණගැහෙන්න ගියා.

"ඉර, අපි ආවෙ වැදගත් දෙයක් ඔයා එක්ක කතා කරන්න. ඔයාට පුළුවන්ද අපිට ටිකක් ඇහුම්කන් දෙන්න.. මේ ලෝකෙ ඉන්න උසස්ම පුද්ගලයා ඔයයි. ඔයා කැමතිද අපේ දුව එක්ක විවාහ වෙන්න. අපේ දුව ගුණ යහපත්කම් වලින් පිරිපුන් අවංක කෙනෙක්. අපිට ඕනෙ එයාට මේ ලෝකෙ ඉන්න උසස්ම මනමාලයාව හොයල දෙන්න.."

ඉර උත්තර දුන්නා. "හ්ම්..... මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා මම නෙමෙයි. එ් තමා වලාකුළ. මම කොච්චර මහන්සි වෙලා මුළු ලෝකෙම එළිය කරත් වැඩක් නෑ. වලාකුළක් ආව ගමන් මාව ඉබේටම හැංඟනවා.."

ඉරගෙන් වෙන්වුණ මී අම්මයි, මී තාත්තයි වලාකුළ හම්බෙන්න යන්න පිටත් වුණා.



"වලාකුළ, අපිට දැනගන්න ලැබුණා මේ ලෝකෙ ඉන්න උසස්ම පුද්ගලයා ඔයා කියලා.. එ්කයි අපි ආවෙ ඔයාගෙන් අහන්න, අපේ එකම දුවව මනමාලියක් විදිහට බාරගන්න කැමතිද කියලා.."


"අනේ නෑ.. ! මම නෙමෙයි මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා.." වලාකුළ උත්තර දුන්නා. "මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා තමා සුළඟ.. මට පුළුවන් මුළු අහසම වසාගෙන පැතිරෙන්න. එ්ත් පුංචි හරි හුළඟක් හැමුවොත් මගෙ සලකුණක්වත් ඉතුරු නොවී මාව ඈතටම ගහගෙන යනවා.."

වලාකුළෙන් සමුගත්ත මී අම්මයි, මී තාත්තයි ඊළඟට ගියා සුළඟ හම්බවෙන්න.

"සුළඟ. අපිට ආරංචි වුණා මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා ඔයා කියලා. ඔයා කැමතිද අපේ එකම දියණියගෙ අත ගන්න.. ?" 



"බොහොම ස්තූතියි, ඔයාලගේ කාරුණික ඉල්ලීමට.." සුළඟ උත්තර දුන්නා. "එත් මට වඩා උසස් කෙනෙක් මේ ලෝකෙ ඉන්නවනෙ.."

"කවුද එ්?" මී අම්මයි, මී තාත්තයි ඇහුවා.

"එ් තමයි බිත්තිය. මම කොච්චර වේගෙන් හැමුවත් මට බෑනෙ එයාව විනාශ කරන්න.."

මී අම්මයි, මී තාත්තයි බිත්තිය හම්බවෙන්න ගියා.


"බිත්තිය කරුණාකරලා අපේ දියණිය ඔයාගෙ මනමාලි විදිහට බාරගන්න.. අපිට ඕනෙ අපේ එකම දියණිය මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා එක්ක විවාහ වෙලා සන්තෝසෙන් ඉන්නවා දකින්න.."

"අනේ! අනේ! මී අම්මෙ.. මී තාත්තෙ.. ඔය දෙන්නට ගොඩක් වැරදිලා.." බිත්තිය උත්තර දුන්නා. "මේ බලන්න මං දිහා.. ඔයාලා එකමුතුවෙලා කරන වැඩ නිසා මාව හිල් වලින් පිරිලා.. මේ ලෝකෙ ඉන්න උසස්ම අය මීයො වෙන්න ඕනෙ"

"ඇත්තටම ඔය දේ මීට කලින් අපිට හිතුනෙ නෑනේ.." 


බිත්තියෙන් සමුගත්ත මී අම්මයි, මී තාත්තයි යන්න ගියෙ සිනාසෙමින්.

"බලන් යද්දි මේ ලෝකෙ උසස්ම අය අපිනෙ. අපි අපේ දුවව එහා ගෙදර මී පුතාට යෝජනා කරමු.. දෙන්නට දෙන්න කැමති වුණොත් එයාලා ජීවිත කාලෙටම සන්තෝසෙන් ඉඳීවි.."


ටික දවසකට පස්සෙ මී මනමාලියි, මී මනමාලයයි විවාහ වුණා. දවස් තුනක් තිබ්බ විවාහ උත්සවයෙන් පස්සෙ අලුත් ජෝඩුව අලුත් ගෙදරකට ගිහිල්ලා ගොඩක් සන්තෝසෙන් කල් ගෙව්වා.


[ජපන් ජන කතාවක් ඇසුරිනි.]

පරිවර්තනය: මුතු පබා

කතන්දරය බූන්දිය හරහා කියවන්නට: මී දුවගෙ විවාහය