....















හොර වැඩක් කරන්නට 
හඳ බලන් ඉඳී 
වළාකුළු එනකල්
හැංඟෙන්න. 

එය දැනගත්තාම 

වාගේ, 
වළාකුළු ටැග් ගැහී; 
පා නොවී
එක තැනම.

සූරියකාන්තා

උයන් වතුවල රත්තරන් පාට සූරියකාන්තා මල් පිපෙන්නට ගොඩක් ඉස්සර කොළම කොළපාට රටක් පාලනය කරපු රජතුමෙක් හිටියා. ඉතින් මේ රජතුමාට හිටියෙ එකම එක දියණියයි. 

වසන්ත කාලයට පිපෙන ලස්සනම ලස්සන මලක් වගේ මේ කුමාරිකාවත් බොහෝම ලස්සනයි. ඒත් මේ කුමාරිකාව කවමදාවත් කා එක්කවත් විවාහ වෙන්නට අකමැති නිසා පියරජතුමා හිටියෙ ගොඩක් දුකෙන්. 

කුමාරිකාවට ගැලපෙන කුමාරයින් කොච්චර හිටියත් ඒ එක්කෙනෙක්ටවත් කැමති වුණෙ නෑ. ඒ විතරක් නෙමෙයි සුදු කළු දුප්පත් පොහොසත් වෙන කිසිම කෙනෙක්ට ඇය කැමති වුණෙ නෑ. පියරජතුමා ඇය එක්ක ඒ ගැන කතා කරන හැම වෙලේම ඇය කීවෙ, ”මම ආදරේ හිරුට විතරමයි” කියලා.

ඔන්න දවසක් පියරජතුමාට කුමාරිකාව එක්ක හොඳටම තරහ ගියා. තරහ ගිහින් කීවා, ”එහෙනම් ගිහින් හිරුත් එක්කම විවාහ වෙන්න. හැබැයි මින් පස්සෙ මට පේන්න එන්න එපා ” කියලා.

ඉතින් පියරජතුමාගේ කතාවට දුක හිතුණ කුමාරිකාව, හිරු හොයන්න යන්න පටන් ගත්තා. කුමාරිකාව හිරුව හොයාගෙන හැම වෙලේම ගියේ හිරු නැගෙන පැත්තටමයි. වනාන්තර කාන්තාර දියඇලි කඳු පහුකරගෙන කුමාරිකාව ඉදිරියටම ගියා.

ඉතින් ඔන්න මෙහෙම ගොඩක් දුර ආව කුමාරිකාව අන්තිමට, උස කන්දක් මුදුනෙ හදල තිබුණ හිරුගෙ මාලිගාවට ආවා. ඒත් ඒ වෙලාවෙ මාලිගාවේ හිටියෙ හිරුගෙ අම්මා විතරයි.

කුමාරිකාව දැක්ක හිරුගෙ අම්මා ඇගෙන් මෙහෙම ඇහුවා ”දුවේ ඔයා මොනවද මෙහෙ කරන්නෙ” කියලා.  

”මම හොයන්නෙ හිරුකුමාරයාව” කුමාරිකාව හෙමිහිට උත්තර දුන්නා.

”දුව එන්නෙ කොහෙ ඉඳලද” ආයෙමත් හිරුගෙ අම්මා කුමාරිකාවගෙන් ඇහුවා. 

එතකොටම දුකින් බිම බලාගත්ත කුමාරිකාව පියරජතුමා ඇයව මාලිගාවෙන් පිටමං කරපු හැටි විස්තර කළා. ඉතින් ඒ කතාව ඇහුව හිරුමවට කුමාරිකාව ගැන ගොඩක් දුක හිතිලා මෙහෙම කීවා.  

”දුවේ මම ඔයාට හිරුකුමාරයා එක්ක විවාහ වෙන්න අවසර දෙන්නම්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනි. හිරුකුමාරයා එක්ක සදහටම ජීවත් වෙන්න ඕනි නම් කවදාවත්ම හිරුකුමාරයා දිහා බලන්න එපා. එහෙම බැලූවොතින් දුවට නපුරක් වෙන්න ඉඩ තියෙනවා. ”


කුමාරිකාවත් හිරුගෙ අම්මා ට පොරොන්දු වුණා කවමදාවත් හිරු දිහා බලන්නෙ නෑ කියලා. 

ඉතින් ඔන්න ටික කාලයක් කුමාරිකාව ගොඩක් සතුටින් හිරුත් එක්ක ජීවත් වුණා. හැබැයි කවමදාවත් හිරු දිහා බැලූවෙ නම් නෑ. ඒත් හිමීට හිමීට දවස් ගෙවෙනකොට කුමාරිකාවට එයා ගැනම දුක හිතුනා. 

කුමාරිකාවගේ මේ වෙනස තේරුම් ගත්ත හිරුගෙ අම්මටත් ඇය ගැන ගොඩක් දුක හිතිලා දවසක් මෙහෙම කීවා.
 

”මම දන්නවා දුව ඉන්නෙ ගොඩාක් දුකින් කියලා. දුවට හිරුව බලන්නම ඕනි නම් වතුර වීදුරුවක් හොරෙන් ඔහු ඉදිරියෙන් තියලා ඒක ඇතුළෙන් ඔහුව බලාගන්න. හැබැයි දුවේ වැඩි වෙලා බලන් ඉන්න ගියොත් ඒ බව මගේ පුතාට දැනේවි. ඊට පස්සෙ දුවට නපුරක් වෙන්න බැරි නෑ. ”

ඉතින් ඔන්න කුමාරිකාව හිරුගෙ අම්මා කීව විදිහට සියල්ල කරන්න සුදානම් වුණා. රෑ වෙලා ගෙදර ආව හිරු ඉදිරියෙන් වතුර වීදුරුවක් තිබ්බ කුමාරිකාව ඔහු දෙස හොරෙන් බැලූවා.  

හිරුගෙ ලස්සන මූණ දිහා බලන් හිටපු කුමාරිකාවට හිරුගෙ අම්ම දුන් අවවාදය අමතක වුණා. ඒ නිසා දිගින් දිගටම ඔහු දෙස බලාගෙනම හිටියා. තමන් දිහා කුමාරිකාව හොරෙන් බලන් ඉන්න විදිහ දුටු හිරුට හොඳටම කේන්ති ගියා. 

හිරුට කොච්චර කේන්ති ගියාද කියනවනම් එයා කුමාරිකාවට කෑ ගහල බැන්නා.

”ඔයාට කීකරු වෙන්න බැරිනම් මම තවත් ඔයාව මේ ගෙදර තියාගන්න කැමති නෑ. ”

එහෙම කියපු හිරු, කුමාරිකාව ගෙදරින් පිටමං කළා.

ඉතින් කුමාරිකාව ගොඩක් දුකින් හිරු මාලිගාවෙන් එන්න ආවා. ගස් ගල් පහු කරන් යන ඇගේ රෝසපාට කම්මුල් දිගේ කඳුළු පේළි ගලාගෙන ගියා. 

හැබැයි ඔන්න කුමාරිකාවට වැඩිය දුර යන්න ලැබුණෙ නෑ. හිරුටත් කුමාරිකාව ගැන දුක හිතුණා. ඊටපස්සෙ හිරු කුමාරිකාව, ඇය හිටිය තැනම උස ගහක පිපුණු ලොකු කහපාට මලක් බවට පත්කළා. 

ඉතින් එදා ඉඳල මේ ලොකු කහපාට මල හිරු පායනකොට ඔහු දිහා බලනවා. හිරු නිවෙනකොට ඇගේ මූණත් සඟව ගන්නවා. ඒක නිසා හැමෝම ඒ කහපාට මලට කීවෙ 'සූරියකාන්තා' කියලයි.


පරිවර්තනය: මුතු පබා 

කතන්දරය බූන්දිය හරහා කියවන්නට: සූරියකාන්තා

තාවකාලික සිහිනය(ක)ට එරෙහිව

හිම නැති සීතල



















සිසිරයට
සුදුවට
අසිරි පා
බැබළෙන්න,
ඉඩ නොදෙන
හේමන්ත
;
අඬයි වරින් වර
හිත හිතා
බොරුවට
.


පෙම් සුවඳ



දේදුන්නේ පාට අරන්
සමනළයින් හැඩවෙන සඳ
මගේ සුවඳ එව්වෙමි මම 
සමනළයෙක් අත නුඹ හට


2005

ෆ්ලැමින්ගෝ වගතුග


















ෆ්ලැමින්ගෝ (රණහංසයා) කියන්නේ ලස්සන, රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත කුරුලු විශේෂයක්. ෆ්ලැමින්ගෝ ජාති හයක් ඉන්නවා. *‘ග්‍රේටර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, යුරෝපය, ආසියාව), *‘ලෙසර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, ඉන්දියාව), *‘චිලියන් ෆ්ලැමින්ගෝ’ (දකුණු ඇමරිකාව), *‘ජේම්ස් ෆ්ලැමින්ගෝ’ (දකුණු ඇමරිකාව), *ඇන්ඩීන් ෆ්ලැමින්ගෝ’ (දකුණු ඇමරිකාව) සහ *‘ඇමරිකන් ෆ්ලැමින්ගෝ’(කැරබියානු දූපත්). 

මේ ලිපියෙන් වැඩිපුර කියැවෙන්නේ ‘ඇමරිකන් ෆ්ලැමින්ගෝ’ ගැනයි. Phoenicopterus ruber කියන්නේ මොවුන්ගේ විද්‍යාත්මක නාමයයි. මේ ෆ්ලැමින්ගෝ විශේෂය අඩි 3 - 5 ක් උස වන අතර බර රාත්තල් 5 - 6 ක් පමණ වෙනවා. පිරිමි ෆ්ලැමින්ගෝ මදක් ගෑණු ෆ්ලැමින්ගෝ ට වඩා විශාලයි. මොවුන්ගේ අත්තටු සාමාන්‍යයෙන් රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත වන අතර, කකුල් රෝස පාටින් යුක්ත වෙනවා. හොටේ ආරම්භය සුදු පාටින් ද, හොට මැද රෝස පාටින්ද, හොට අවසන කළු පාටින් ද ලස්සනට හැඩවෙලා තියෙනවා. 

උතුරු ඇමරිකාවේ වනගතව ජීවත්වෙන්නේ ‘ඇමරිකන් ෆ්ලැමින්ගෝ’ විශේෂය විතරයි. ඔවුන් කැරබියානු දූපත් වන *බහමාස්, *කියුබාව සහ *හිස්පැනිඕලා, *ගැලපගොස් දූපත් සහ *මෙක්සිකෝවේ සමහර ප‍්‍රදේශ වලත් ජීවත්වෙනවා. 

වගුරු බිම්, විල් හෝ මද වශයෙන් වතුර ගැවසෙන ප‍්‍රදේශ සිය වාසභූමිය කරගන්නා මේ කුරුල්ලන් සමහර විට ජීවත්වෙන්නේ 10,000 වැනි විශාල රංචු වශයෙන්. 

ෆ්ලැමින්ගෝ ගොඩක් වෙලාවට වතුරේ හෝ මඩේ ඉන්නා, කුඩා සත්වයින්, කබලු මත්ස්‍යයින් වැනි දේ ආහාරය කොට ගන්නවා. සිය රෝසපාට වර්ණකය මොවුන්ට ලැබෙන්නේත් ඒ හේතුවෙන්.

නිතරම ජලය ආශි‍්‍රත ප‍්‍රදේශයන්හි එරි එරී ඇවිද්දත් මොවුන්ට ගොඩක් හොඳින් පියාඹන්නත් පුළුවන්. රංචු වශයෙන් පියාසර කරන මොවුන්, පියාසර කරන්නට ප‍්‍රථම දිවගොස් සිය වේගය එක් රැස්කර ගන්නවා.

ෆ්ලැමින්ගෝ එක කකුලකින් හිටගෙන ඉන්න හේතුව නම් විද්‍යාඥයින් පවා 100‍% ක්ම දන්නෙ නෑ. හැබැයි ඔවුන් අනුමාන කරන හේතු කීපයක් තියෙනවා. සමහර කියන්නේ එක කකුලක් උණුසුම්ව තියාගන්න ඕනැ නිසා කියලා. සිරුරට ආසන්නව එක කකුලක් තියාගෙන කකුල උණුසුම් කරන මේ ක‍්‍රමය, සීත කාලයට ගොඩක් ප‍්‍රයෝජනවත් වෙනවලු. තවත් අදහසක් තමා මාරුවෙන් මාරුවට හරි කකුල් වේලගන්න තියෙනවයි කියන උවමනාව. තම ගොදුරු පහසුවෙන් අල්ලගන්නත් පුළුවන්ලු එක කකුලකින් හිටගෙන හිටියාම. කකුල් දෙකෙන්ම හිටගෙන ඉන්නකොට වඩා එක කකුලකින් ඉන්නකොට, ඒ ඒක ගහක් වගේ පේන නිසා. එක කකුලකින් හිටගෙන ඉන්නා හේතුව කුමක් වුණත්, සැලකිය යුතු බරක් ඇති මේ කුරුල්ලන්, එක කකුලකින් සමබරව ඉන්නා අයුරු පුදුමයක් නෙමෙයිද? මොවුන් නිදාගන්නෙත් එක කකුලක් උඩට ඔසවාගෙන.

ෆ්ලැමින්ගෝ දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට අවුරුදු හයක් වැනි කාලයක් ආරක්ෂාව සපයනවා. අවුරුදු 40ක් පමණැති කාලයක් ජීවත්වෙන මේ කුරුලු විශේෂය බොහෝ කාලයක් ජීවත්වෙන කුරුල්ලන් අතරට අයිති වෙනවා. මඩෙහි සිය කූඩුව තනන මොවුන් වරකට බිහි කරන්නේ එක විශාල බිත්තරයක් පමණයි. එයට කුරුලු ජෝඩුවම වරින් වර උණුසුම සපයනවා. අපි‍්‍රකාවේ වෙසෙන ෆ්ලැමින්ගෝ විශේෂය ඇතැම් විට මිලියන එකක පමණ විශාල රංචුවකින් සමන්විතයි. ඒ තමයි ලෝකයේ විශාලතම කුරුලු රංචුව. ෆ්ලැමින්ගෝ හඬ පාත්තයන්ගේ හඬට සමානයි.




ෆ්ලැමින්ගෝ නර්තනයක යෙදෙන අයුරු


[අන්තර්ජාලය ඇසුරෙන්]

මුතු පබා


ලිපිය බූන්දිය හරහා කියවන්නට: ෆ්ලැමින්ගෝ වගතුග

*ග්‍රේටර් ෆ්ලැමින්ගෝ|Greater Flamingo, ලෙසර් ෆ්ලැමින්ගෝ| Lesser Flamingo, චිලියන් ෆ්ලැමින්ගෝ|Chilean Flamingo, ජේම්ස් ෆ්ලැමින්ගෝ|James's Flamingo, ඇන්ඩීන් ෆ්ලැමින්ගෝ|Andean Flamingo, ඇමරිකන් ෆ්ලැමින්ගෝ|American Flamingo.

*බහමාස්|Bahamas, කියුබාව|Cuba, ගැලපගොස් දූපත්|Galapagos Islands, හිස්පැනිඕලා|Hispaniola, මෙක්සිකෝ|Mexico

හිමට මිතුරු සුදු හිම මල



ඔන්න පොඩිත්තනේ, හැම දෙයකටම පාටක් තිබුනලූ හිම වලට ඇරෙන්න. පොළොව දුඹුරු පාටින් තිබුණා. තණකොළ කොළපාටින්, රෝස මල් රතුපාටින්, අහස නිල්පාටින් වගේම ඉරත් රත්තරන් පාටට හිටියලූ. ඉතිං හිම වලට විතරක් පාටක් තිබුණෙ නැති නිසා හිම හිතුවා පාටක් තියෙන හැමෝගෙන්ම පාට පොඞ්ඩ පොඞ්ඩ ඉල්ල ගන්න.

ඉතිං හිම ඉස්සෙල්ලාම ගියේ පොළොව ලඟට. ගිහින් ඇහුවා ” මට ඔයාගෙ දුඹුරු පාටින් පොඞ්ඩක් දෙනවද ?”

ඒත් පොළොව නිදාගෙන හිටිය නිසා කිසිම උත්තරයක් දුන්නෙ නෑ.

ඊට පස්සෙ හිම ගියා තණකොළ ගාවට. ගිහින් ඇහුවා ” මට ඔයාගෙ කොළ පාටින් පොඞ්ඩක් දෙන්න පුළුවන්ද ?”

ඒත් තණකොළ ලෝබකමට කිසිම දෙයක් ඇහුනෙ නෑ වගේ හිටියා.

ඊට පස්සෙ හිම ගියා රෝසමලක් ගාවට. ” අනේ ඔයාවත් මට ඔයාගෙ රතු පාටින් පොඞ්ඩක් දෙනවද?” .

හිම රතු රෝස මල ලඟට ගිහින් බොහොම දුකෙන් ඉල්ලා හිටියා. ඒත් රෝසමල අහංකාරකමින් අහක බලා ගත්තා.

හිම ගොඩක් දුකින් කෑගහල අහසින් ඇහුවා ” මට ඔයාගෙ නිල් පාටින් පොඞ්ඩක් දෙනවද? ” ඒත් අහස ගොඩක් දුරින් හිටිය නිසා, හිම කියපු කිසිම දෙයක් අහසට ඇහුණෙ නෑ.

අනික් හැමෝගෙන්ම ඇහුවා වගේ ඉරෙනුත් ඇහුවා, ”හිරුකුමරි යේ මට ඔයාගෙ රත්තරං පාටින් පොඞ්ඩක් දෙන්න පුළුවන්ද ?”

ඒත් හිරුකුමාරි ගොඩක් වැඩ කර කර හිටිය නිසා, උත්තරයක් දෙන්න බැරි වුණා.

අන්තිමට හිම කැලෑවක් අයිනෙ හිටිය පුංචි සුදුපාට මලක් ලඟට ගිහින් ඇහුවා ”සුදුපාට මලේ ඔයාවත් මට ඔයාගෙ සුදු පාටින් පොඞ්ඩක් දෙනවද ?” කියලා.

”ඇත්තටම ඔව් . ඔයාට ඇති තරමක් ගන්න.” කියලා සුදුපාට මල කීවා.

හිම සුදුපාට මලෙන් සුදුපාට ටිකක් ගත්තා විතරයි හිමත් සුදුම සුදුපාට වුණා.

ඉතින් සුදුපාට මල කරපු ඒ උදව්ව නිසා, එදා ඉදන් හැමෝම ඒ සුදුපාට මලට කීවේ ”සුදුහිම මල” කියලයි. ඒ විතරක් නෙමෙයි ඒ දෙන්නා කොච්චර යාළුද කියනවානම් සීත කාලෙදී හිම වලට ඔරොත්තු දෙන එකම මලත් ”සුදු හිම මල” විතරයි.


පරිවර්තනය: මුතු පබා 


කතන්දරය බූන්දිය හරහා කියවන්නට: හිමට මිතුරු සුදු හිම මල

ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො!!!



දුර ඈත චීනයේ සහෝදරයින් දෙදෙනෙක් වාසය කළා. ඉන් බාලයාගේ නම චෑම්. පළමුවැන්නාගේ නම ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො! පළමුවැන්නාට පමණක් දිග නමක් දැමීම ඒ කාලයේ චීන ජනතාවගේ පුරුද්දක්. 

දවසක් මේ සහෝදරයින් දෙදෙනා ඔවුන්ගේ ගෙවත්තේ තිබුණ ළිඳ අසල සෙල්ලම් කරමින් සිටින අවස්ථාවක, 'චෑම්' ළිඳට වැටුණා. බයවුණ 'ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො'- කෑගසමින් අම්මා ළඟට දුවගෙන ගියා.  

අම්මේ.. අම්මේ.... ඉක්මන් ඉක්මන්.. චෑම් ළිඳට වැටුණා.. අපි මොනවද දැන් කරන්නේ.. ?"

"මොනවා...! චෑම් ළිඳට වැටුණා" අම්මා අඬමින් ඇසුවා. "යන්න යන්න.. දුවල ගිහින් තාත්තට කියන්න.."


අඬ අඬා තාත්තා ළඟට දුවගිය අම්මයි පුතයි, ලහි ලහියේ ඔහුට විස්තරේ කියන්නට වුණා.

"ඉක්මන් කරන්න.. චෑම් ළිඳට වැටිලා.. අපි දැන් මොකද කරන්නෙ..?"


"මොනවා චෑම් ළිඳට වැටුණා..?" තාත්තත් අඬමින් ඇසුවා. 


"දුවල ගිහින් මේ බව උයන්පල්ලාට කියන්න.."

 

ඊටපස්සෙ තුන්දෙනාම කෑගසමින් උයන්පල්ලා ළඟට දුවගෙන ගියා. 

"ඉක්මන් කරන්ඩෝ, ඉක්මන් කරන්ඩෝ.. චෑම් ළිඳට වැටිලෝ.. අපි දැන් මොකද කරන්නේ.. ?"

"මොනවා දෙයියනේ! චෑම් ළිඳට වැටුණා.. ?" අඬමින් අසන ගමන්, දිග ඉණිමගක් සොයාගත් උයන්පල්ලා එය රැගෙන ගොස්, වතුරෙන් තෙමී සීතලෙන් වෙව්ල වෙව්ලා, බයෙන් ගැහී ගැහී වුණත් තවමත් ජීවත් වීම පිළිබඳ සන්තෝසෙන් සිටි චෑම්ට ගොඩට එන්නට ඉණිමග ළිඳ ඇතුළට දැමුවා. 


ඉන් ටික කලකට පසු මේ සහෝදරයින් දෙදෙනා නැවතත් ගෙවත්තේ ළිඳ අසල සෙල්ලම් කරමින් සිටින අවස්තාවක, 'ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො' ළිඳට වැටුණා. බය වුණු චෑම් කෑගසාගෙන අම්මා ළඟට දිව්වා.

"අම්මේ.. ඉක්මන් කරනවදෝ.... ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳට වැටුණෝ.. අපි දැන් මොනවද කරන්නේ.. ?"


"මොනවා.. ?" අම්මා ඇඬුවා.. ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳට වැටුණා..? යන්න යන්න, දුවලා ගිහින් තාත්තට කියන්න.."

"හති දමමින් දිව්ව අම්මයි පුතයි තාත්තට විස්තරේ කීවා." 


"ඉක්මන් ඉක්මන්.. ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳ ඇතුළට වැටිලා. අපි දැන් මොකද කරන්නේ.. ? 
 

 

"ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳට වැටුණා?" තාත්තාත් ඇඬුවා. "යන්න යන්න, ඉක්මණින් දුවල ගිහින් මේ බව උයන්පල්ලාට කියන්න.." 

ඊටපස්සෙ තුන්දෙනාම කෑ ගසාගෙන උයන්පල්ලා ළඟට වේගයෙන් දිව්වා.

"ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න.. ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳට වැටිලා.. අපි දැන් මොනවද කරන්නෙ.. ?"


"මොනවා.. ! ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකෝ ළිඳට වැටුණා.. ?

උයන්පල්ලා අඬන ගමන් සූදානම් කරගත් ඉණිමගක්, ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකෝට ගොඩට එන්නට ළිඳ ඇතුළට දැම්මා. 


නමුත් ගොඩක් වෙලා ළිඳ තුළ සිටි නිසා, ඒ වෙනකොටත් දියේ ගිලී සිටි ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකෝට ළිඳෙන් ගොඩට එන්නට හැකි වුණේ නෑ.

එදා ඉඳලා චීන මිනිසුන් ඔවුනොවුන්ට ලැබෙන ප‍්‍රථම දරුවට දැමුවෙත් කෙටි නමක්....!!!



[චීන ජනකථාවක් ඇසුරෙන්.]   

පරිවර්තනය: මුතු පබා 


කතන්දරය බූන්දිය හරහා කියවන්නට:  
ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො!!!