කූඹියා සහ තණකොළපෙත්තා




















ගිම්හානයේ අපූරු දවසක තණකොළපෙත්තෙක් පිට්ටනියක තාලෙට පැන පැන හිටියා. බොහොම අමාරුවෙන් ධාන්‍ය වර්ගයක් උසුලගෙන ආ කූඹියෙක්, තණකොළපෙත්තට ආචාර කරමින් ඒ අසලින්ම කූඹි ගුලට යන්න ගියා.

තණකොළපෙත්තා කූඹියාට ආරාධනා කරා, එයත් එක්ක ඉඳගෙන කතා කරන්න එන්න කියලා. ඒ ත් කූඹියා ”මම සීත කාලයට ගන්න කෑම එකතු කරනවා.... ඇයි ඔයත් ඒ දේම නොකරන්නෙ....” කියා අසමින්, තණකොළපෙත්තගේ ආරාධනාව කරුණාවෙන් ප්‍රතික්ෂේප කරා.

” අයියෝ ! ඇයි සීත කාලය ගැන දැන් ඉඳලම ලතවෙන්නෙ? අපිට දැන් කෑම ඇතිවෙන්න තියෙනවනේ....” කියලා තණකොළපෙත්තා කූඹියාට කීවා. ඒ ත් කූඹියා නතර නොවී ධාන්‍ය බර උසුලගෙනම, එයාගෙ පාරෙ දිගටම යන්න ගියා.


















අන්තිමට සීත කාලය උදා වුණාම, තණකොළපෙත්තට බඩගින්නේ මැරෙන තරමටම අමාරු වුණා. එතකොට එයා දැක්කා කූඹි, එයාලගේ ගබඩාවෙ තැන්පත් කරපු ධාන්‍ය බෙදාහරින විදිහ. 

ඉතින් තණකොළපෙත්තා තේරුම් ගත්තා අවශ්‍යතාව දැනෙන දවස් වලට, පෙර සිටම සුදානමින් සිටීම නුවණට හුරුවග.



පරිවර්තනය: මුතු පබා 


කතන්දරය බූන්දිය හරහා කියවන්නට: කූඹියා සහ තණකොළපෙත්තා

වෙනස(ක්)



එතැන මෙතැන
දෙතැන
මෙදින
එදින තිබුණ
හිත්,
එක තැන.


2012.01.29

අනංසි සහ නුවණ


අනංසි කියන්නෙ ගුරුවරයෙක්. මේ ගුරුවරයා දවසක් කල්පනා කරා එයාට වඩා දක්ෂ කෙනෙක් මේ ලෝකෙ හිටියොත්, එයාට මොනවා වෙයිද කියලා. මොකද අනංසි කැමති වුණේ නෑ එයාට වඩා දක්ෂ කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා දකින්න. ඒකනිසා අනංසි හිතුවා, මුළු ලෝකෙම තියෙන නුවණ කොහොම හරි එයාගෙ අතට ගන්න ඕනැ කියලා.

ඉතින් ඔන්න අනංසි ලෝකෙ වටේම ගියා නුවණ හොයාගෙන. අනංසිට විවිධ පැති වලින් විශේෂ නුවණක් තියෙන ගොඩක් මිනිස්සු හම්බවුණා. ඒත් ඒ හැමෝම අනංසි ගේ නුවණට පරාද වුණා. අනංසි එයාට මුණගැහෙන මිනිස්සු එක්ක ගොඩක් හොඳින් සුහදව කතා කරලා, කොහොම හරි එයාලගේ නුවණ, එයා අතේ තිබුණ ලබු වර්ගයකින් හැදුව කූඩෙට දාලා වැහුවා.

ලෝකෙ වටේ ගිහින් ගෙදර ආව අනංසි ඊළගට හිතුවෙ, නුවණ පිරිල තියෙන මේ කූඩෙ හංඟන්න පුළුවන් තැනක් ගැන. අනංසිට කල්පනා වුණා, එයාගෙ ගෙදර ළඟම තියෙන කොට්ට පුළුං ගහේ කූඩෙ හැංඟුවොත් හොඳයි කියලා.

ඊටපස්සෙ ලණුවක ආධාරයෙන් කූඩෙ බෙල්ලෙ එල්ල ගත්ත අනංසි, ගහට නගින්න පටන් ගත්තා. ඒත් බෙල්ලෙ එල්ල ගත්ත කූඩෙ, ගහට නගින අතරවාරයේදී, අනංසිගෙ බඩ උඩ එහාට මෙහාට පැද්දෙන්න පටන් ගත්ත නිසා, අනංසිට ගහට නගින්න අපහසු වුණා. ඒකනිසා ගහේ මැද්දට ආව අනංසිව ඒ හැම වෙලේම ගහෙන් බිමට ලිස්සලා වැටුණා.


ඉතින් ගහේ මුලට වෙලා ගහ උඩටම නගින්න පුළුවන් විදිහක් ගැන, කල්පනා කරමින් හිටිය අනංසිට, එයාගේ සත්හැවිරිදි පුතා කතා කරලා මෙහෙම ඇහුවා....

”ඇයි තාත්තා ඔය කූඩෙ පිටේ එල්ල ගන්නෙ නැත්තෙ ? එහෙම එල්ල ගත්ත නම් තාත්තට විනාඩියෙන් ගහට නගින්න පුළුවන්නෙ ? ”

ඒ කතාව ඇහුණ අනංසි එයාගේ පුංචි පුතා දිහා පුදුමයෙන් බලලා මෙහෙම කීවා....


”මම මුළු ලෝකෙම වටේ ගියත් මගේ පුතාට මට වැඩිය මොළේ තියෙනවා.”

ඊටපස්සෙ අනංසි එයාගෙ බෙල්ලෙ එල්ලල තිබුණ නුවණින් පිරි කූඩෙ ගලවලා, තරහෙන් ඈතට විසික් කරා. බිමට වැටුණ කූඩෙ කෑලි වලට කැඩිලා ඒක ඇතුලෙ තිබුණ නුවණ ලෝකෙ වටේටම ඉගිලිලා ගියා.

දෙමව්පියන්ගෙ ගතිගුණ, හැකියාවන් වගේම නුවණත් දරුවන්ට පිහිටන බව අනංසිට අමතක වුණත්, ඔන්න පොඩිත්තනේ ඔයාලනම් ඒ බව අමතක කරන්න එපා. 



පරිවර්තනය: මුතු පබා

කතන්දරය බූන්දිය හරහා කියවන්නට: අනංසි සහ නුවණ 


දන්නවද..


එක ලපයා වාසනා

වසන්නතය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි, පුංචිම පුංචි හරිත දම් ලපළු අතු ඉති වලින් මතු වෙද්දි, සුදු පාට ලස්සන ඬේසි මල් තණකොළ අතරින් පතර පීදෙද්දි, පුංචිම පුංචි කුරුමිණියො අවදි වෙනවා. උන් කෑම හොයන්නට කොළ අතරින් පතර එහෙට මෙහෙට යනවා. එහෙමත් නැතිනම් සෙල්ලම් කරනවා. 

ඒත් එක කුරුමිණියෙක් විතරක් කොළයක් උඩට වී, හෙල්ලෙන්නෙවත් නැතුව නින්ද ගියා සේ ඉන්නවා. ඒත් ළං වෙලා හොඳ හැටි බැලුවොතින් නම් පෙනෙයි, පුංචි ඇස් ඇරිලා තියෙන ආකාරය. මිතුරු කුරුමිණියෝ සන්තෝසෙන් ඉපිලෙමින් හැංඟිමුත්තො කරනායුරු බලන් ඉන්නාකාරය.  

"අයියෝ! මට එක ලපයක් තියෙන නිසා මෙයාලා විහිළු කරනවා...." කුරුමිණියෝ රංචුවක් එකතුවෙලා කණපිට හරවපු ඒ කුරුමිණියා, බොහොම අමාරුවෙන් කෙලින් වෙන ගමන් දුකෙන් කියන්නට වුණා. 

"එක ලපයා අවාසනා.. එක ලපයා අවාසනා
හා.. හා.... හී.. හී..... හූ.. හූ...."


කුරුමිණි රංචුව එක ලපයක් තියෙන කුරුමිණියාට ඇහෙන්න හයියෙන් කවට ගීත කියන්න පටන් ගත්තා. ළඟට එන ලප හයක් තියෙන කුරුමිණියෙක් එක ලපයාව වේගයෙන් තල්ලු කරන්නෙ, කකුල් උඩට විහිදෙන ලෙස බිමට වැටෙන්නයි.  
ආයෙමත් කෙලින් වෙන එක ලපයා පුංචි අත්තටු විහිදගෙන, විහිළු තහළු කරන කුරුමිණියන්ගෙන් ඈතට පියාඹනවා.

එක ලපයාට ඕනෑ වුණේ කුරුමිණි රජ්ජුරුවන් ගාවට යන්නයි. ගිහින් අනෙක් කුරුමිණියන්ට ලප කීපයක් තියෙද්දි, තමන්ට විතරක් එක ලපයක් තියෙන්නෙ ඇයි කියල අහන්නයි. අත්තටු තෙහෙට්ටුවට පත්වුණ නිසා එක ලපයා බිමට ඇවිත් වැහුවා. කුහුල් සිතින් අවට වට පිටාව නරඹන්නට වූ එක ලපයා දුටුවේ දිග ගැඩවිල් පණුවෙක්.  

"ඔයා දන්නවද එක ලපයක් තියෙන තවත් කවුරු හරි?" කුරුමිණියා පණුවගෙන් ඇහුවා.

"මට එක ලපයක්වත් නෑ..."යි කීව පණුවා, ලස්සනට ඇකිලුණා. "බොරුනම් බලන්නකෝ...."යි කීව ඌ, පස් ඇතුලේ අතුරුදහන් වෙන විදිහ එක ලපයා පුදුමයෙන් බලන් සිටියා.


ටිකෙන් ටික ඉදිරියට ඇදුණ කුරුමිණියා ඊළඟට දුටුවේ සුදුපාට බෝලයක් උස්සගෙන යන කූඹියෙක්ව.  

"අනේ! ඔය සුදු ලපය මට දෙනවද?" එක ලපයා කූඹියාගෙන් ඇහුවා.  

"අනේ.. පුංචි යාළුවේ, මේ කූඹි බිත්තරයක්නේ...."යි කියා සිනාසුණ කූඹියා, කඩිසරව ඉස්සරහට ගියා. 

නොනැවතී ඉදිරියට ඇදුණ එක ලපයාට රෝස සුවඳ දැනෙන්නට වුණා. 

‘ඔය සුවඳ එන්නෙ රෝස මාළිගාවෙන් වෙන්න ඕනෑ.... ’එක ලපයාට සිතුණා.  

ලස්සනම ලස්සන රතුරෝස මලක් උඩයි වයසක රජතුමා ජීවත් වුණේ.. ගොඩක් ලප තිබුණ මේ රජතුමා හොඳට දන්නවා, මල්පැල වලට සාත්තු සප්පායම් කරනායුරු. රජතුමාගේ සේවක කුරුමිණියෝ ඒ සඳහා රජතුමාට උදව් පදව් කරනවා.  

කොහොමහරි කටු වලින් පිරුණ ශක්තිමත් රෝසගහ ළඟට එක ලපයා සේන්දු වුණා. විශාල රෝසකටු අතරින් පරිස්සමට එක ලපයා ගහ මුදුණට නගින්නට වුණා. අතර මගදි තවත් කුරුමිණියො රාශියක් එක ලපයාට හමුවුණා. උන් එක ලපයා දිහා පුදුමයෙන් බැලුවා.  

සෑහෙන වෙලාවකට පසු, සුවඳ හමන රතුරෝස මල ළඟට එක ලපයා පැමිණියා. 

රජතුමා ඉදිරියට පැමිණි එක ලපයා ගරු සරුව නැමී: "රජතුමනි.... ඔබතුමා දන්නවද මට විතරක් ඇයි එක ලපයක් තියෙන්නෙ කියලා..?" යි ඇසුවා.  

"එක ලපයක්? ඒක කොයි තරම් පුදුමයක්ද!?" රජතුමා සන්තෝසෙන් උදම් වැනුවා. "ඔයා විතරයි මුළු කුරුමිණි ලන්තයේම ඉන්න එක ලපයක් තියෙන කුරුමිණියා...." යි කීව රජතුමා, රෝස පඳුරේ සියලුම කුරුමිණියන්ට පෙනෙන්නට එක ලපයාව උඩට ඉස්සුවා.
  
එක ලපයාව දුටු කුරුමිණි සේවකයෝ තාලෙට ගයන්නට වුණා.  

"එක ලපයක් එක ලපයක්
හරිම හැඩයි හරි පුදුමයි
එක ලපයා වාසනා
එක ලපයා වාසනා" 


රජතුමා සහ එක ලපයා උන් තැනට කුරුමිණියෝ ඉක්මණින් පියාඹගෙනද, තවත් සමහරෙක් කඩිසරව ඇවිදගෙනද එන්න පටන් ගත්තා. එක ලපයා ඉදිරියේ බාගෙට නැමුණු ඒ කුරුමිණියෝ කකුලක් දී එක ලපයාට සුබ පතන්නට වූණා.  

"එක ලපයක් තියෙන රතු කුරුමිණියෙක්.... හරි පුදුමයි...."උන් එකිනෙකාට මුමුණන්නට වුණා.  

විහිළු තහළු කරමින් එක ලපයාව කොන් කරපු කුරුමිණි රංචුවටත් මේ පුවත ඉක්මණින් ආරංචි වුණා. රජතුමාගේ මාළිගාවේ සැඳෑ සාදයට ඒ කුරුමිණි රංචුවට ද ආරාධනා ලැබුණත්, ලැජ්ජාව නිසා උන් මාළිගාවට ගියේ නෑ. ලැජ්ජාව කොච්චරද කියනවනම් ඒ කුරුමිණි රංචුව මුළු දවස තිස්සෙම ඇවිද්දෙ රෝස කොළයක් යට හැංඟිලායි. 

මාළිගාවේ සියලුම කුරුමිණියෝ ගී ගය ගයා රවුමට නැටුවා. එක ලපයාත් ගොඩක් සන්තෝසෙන් සහ ආඩම්බරෙන් අනෙකුත් කුරුමිණියන් හා නටන්නට ගයන්නට වූණා. ඒ විතරක් නෙමෙයි එක ලපයාව රජතුමාගේ සේවක කුරුමිණි හවුලටත් බඳව ගත්තා. රජතුමාට සේවය කිරීම ගරු නම්බුවක් විදිහටයි, කුරුමිණි ලන්තයේ හැමෝම සැලකුවේ.  

එදා ඉඳන් රතුරෝස මාළිගාව තවත් දිලිසි දිලිසි සුවඳ හමන්නට රෝසපෙති සුද්ද පවිත‍්‍ර කරන අනෙක් සේවක කුරුමිණියන්ට, එක ලපයාත් උදව් කරනවා. 
 


කතාව: Evenlien van Dort | එවලින් ෆන් දොර්ත්
සිතුවම්: Gerda Westerink |ගෙර්දා වෙස්ටරින්ක් 
පරිවර්තනය: මුතු පබා

 
කතන්දරය බූන්දිය හරහා කියවන්නට: එක ලපයා වාසනා