නොනිදන ගිම්හානය



ඔරලෝසුවේ හැටියට නම්
මේ දැන් මහ රෑය.

ඒත් හිරු තවම 
ඇලවී අහස මත.
ගැලවෙන්නට නොහැකිව;
ඇස් අයා බලා හිඳිනා
පුෂ්පයන්ගෙන්!

මුතු පබා
2013.07.15

සිහිනය



හිරු සඳුට හොර රහසෙ
අතක නුඹෙ එල්ලිලා
පබසරා දෙනෙත පොඩි
නුඹ වෙතට යොමු කරල
අනන්තය වෙත යන්න
නුඹෙ ළඟින් පා තබා
මැව්වාය සුපෙම්වත්
සිහිනයක් මං එදා

හිත මිතුරු පවන් රොද
අප ළඟින් දැවටෙද්දි
සුපිත වන මල් කැකුළු
සුළඟ හා නැලවෙද්දි
හරිත දම් ලපලු පොඩි
කැකුළු හා හිනැහෙද්දි
මැව්වාය සෙනෙහෙබර
සිහිනයක් මං එදා

ඟගමිණිත් බැබළෙනා
සසදරත් දිදුළනා
කැකුළු මල් කිසල් පොඩි
තවම ඔහෙ හිනැහෙනා
කුරුළු රෑන් පෙර ලෙසම
කිචි බිචිය දී ඉගිලෙනා
සිහිනය පමණක්ම
මුණිවත රකිනවා


මුතු පබා
2006.07.22